May 02, 2024

ශ්‍රී ලංකාව - පාකිස්තානය අතර 'අළුබඳුන' ක්‍රිකට් තරගාවලියක් 

December 02, 2015

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඔස්ට්‍රේලියව හා එංගලන්තය අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන 'අළු බඳුන' ක්‍රිකට් තරගාවලියට සමාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයා යෝජනා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

පාකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් (Syed Shakeel Hussain) මහතා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී හුසේන් මහතා මෙම යෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ බව එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් දියුණු කිරීම සඳහා සහාය ලබාදීමටද පාකිස්තානු රජය මෙහිදී එකඟ වී ඇති අතර, ඒ අනුව ස්කොෂ්, මේසපන්දු, බිලියට් හා ස්නූකර් යන ක්‍රීඩා සඳහා අවශ්‍ය පුහුණුව හා උපදේශනය ලබාදීමට එකඟවී ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය මොහොමඩ් හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන අය සහභාගි වූහ.

 

Rate this item
(0 votes)