May 02, 2024

ශ්‍රී ලංකාවට කඩුලු 08 ක ජයක් 

November 05, 2015

කුසල් පෙරේරා හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සබඳතාව හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (04) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 225ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 02 ක් පමණක් දැවී තරගයේ 36.3 වැනි පන්දු වාරයේ දී එම ඉලක්කය පසුකරයාමට සමත් වූහ.

කුසල් පෙරේරා හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට ලකුණු 156 ක සබඳතාවක් ගොඩනගා ගත්හ. මෙම සබඳතාව දෙරට අතර ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සබඳතාව වේ. මීට පෙර කුමාර් සංගක්කාර හා මාවන් අතපත්තු (138/2005 වසරේ දඹුල්ලේ දී) මෙම කඩුල්ලේ ඉහළම සබඳතාව ගොඩනගා තිබිණ.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වූ කුසල් පෙරේරා ලකුණු 99 ක් රැස්කරගෙන සිටිය දී, අවාසනාවන්ත ලෙස ජයග්‍රහණය පෙනෙන මානයේ දී දෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 196දී දැවී ගියේ ය. කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 99දී දැවී ගිය සිවුවැනි පිතිකරුවා ය. මීට පෙර රොමේෂ් කළුවිතාරණ (01) හා සනත් ජයසූරිය (02) මෙවැනි දැවීයාමකට ලක් ව ඇත.

කුසල්ට අමතරව ළහිරු තිරිමාන්න ලකුණු නොදැවී ලකුණු 81ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 15ක් රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 40 දී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 17කට දැවී ගියේ ය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර පන්දුවාර 37.4 ක් අවසානයේ දී සියල්ලන් දැවී ලකුණු 214 ක් රැස් කිරීමට සමත් විය. කොදෙව් ඉනිමේ පන්දුවාර 26.4 ක් (4/149) අවසානයේ දී තරගයට වාර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් තරගය පැවැත්වීමට නොහැකි විය. කෙසේ නමුත් තරගය පන්දුවාර 38කට සීමාකර නැවත ආරම්භ කිරීමට තරග තීරකවරයා කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ යටත් නොවූ ආරම්භක පිතිකරු ජොන්සන් චාර්ලස් පන්දු 70 කදී ලකුණු 83ක් හා මාලන් සැමුවෙල්ස් පන්දු 61ක දී ලකුණු 63ක් රැස් කරමින් කොදෙව් ඉනිම ඔසවා තැබූහ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හා ලසිත් මාලිංග කඩුලු දෙක බැගින් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. මෙම තරගයේ කොදෙව් කණ්ඩායම මාලන් සැමුවෙල්ස් විසින් මෙහෙයවනු ලැබී ය. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී නියමිත පන්දුවාර සංඛ්‍යාව මන්දගාමීව යැවීම හේතුවෙන් තරග තහනමකට ලක් වූ කොදෙව් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ ජේසන් හෝල්ඩර් මෙම තරගයට ක්‍රීඩා නොකළේ ය.

තරගයේ වීරයා ලෙස කුසල් පෙරේරා සම්මාන දිනාගත්තේ ය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය එළැඹෙන 07 වැනි දා පල්ලෙකැලේ දී පැවැත් වේ.

 

Rate this item
(0 votes)