May 03, 2024

හැටන් හිටපු නගරාධිපතිට චෝදනා 

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නගරාධිපති අලගුමුත්තු නන්ද කුමාර් මහතා සභාපති ධුරය දරන හැටන් පාපන්දු ලීග තරග 31 ක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා පුරා මාස 03 කට හැටන් දික්ඔය නගර සභාවේ වැඩ බලන ලේකම්වරිය විසින් නොමිලේ වෙන්කර දී ඇති බවට හැටන් ප්‍රදේශයේ සෙසු පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් චෝදනා කරයි.

එක් පාපන්දු තරගයක් පැවැත්වීම සඳහා නගර සභාව මගින් රැපියල් 5000 ක මුදලක් අය කරන අතර ප්‍රදේශයේ වෙනත් කිසිදු පාපන්දු ක්‍රීඩා සමාජයකට තරගයක් පැවැත්විම සඳහා නොමිලේ ලබා නොදෙන බවට ද පාපන්දු ක්‍රීඩකයින් චෝදනා කරයි.

මෙම තරගාවලිය හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවට රැපියල් 150,000 ක පාඩුවක් සිදුවන බව හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් ද චෝදනා කරයි.

මේ වනවිටත් එම තරගාවලියෙන් තරග 04 ක් පවත්වා ඇති අතර, මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය හිටපු නගරාධිපති සහ හැටන් පාපන්දු ලීග සභාපති අලගුමුත්තු නන්ද කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 10 වැනි දා පැවැත් විය.

මේ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ වැඩ බලන ලේකම් එස්. ප්‍රියදර්ශනි මහත්මියගෙන් විමසූවිට  ඇය පවසා සිටියේ හිටපු නගරාධිපතිවරයා සභාපති ධුරය දරන පාපන්දු ලීගය මගින් තරගාවලිය පැවැත්වීම සඳහා නොමිලේ ක්‍රීඩාංගණය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ය.

එම ලිපිය අනුමැතිය සඳහා පළාත් පාලන කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බවත් එම අනුමැතිය ලැබෙන තුරු තරගාවලිය පැවැත්වීම සඳහා මෙම ක්‍රීඩාංගණය ලබා දුන් බවත්, තරගාවලිය සඳහා මුදල් අයකර ගැනීමට අවශ්‍ය නම් තරගාවලිය පැවැත්වෙන අතරතුර එම පාපන්දු ලීගයෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් වැඩ බලන ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය. 

මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වි සිටින සෑම ක්‍රීඩා සමාජයකින්ම පාපන්දු ලීගය මගින් රුපියල් 2000 ක මුදලක් අය කරගෙන ඇති බවට ද වාර්තා වේ.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2015 08:59