May 03, 2024

විවෘත තුන්ප්‍රයාම තරගාවලිය නොවැම්බර් 01 වැනි දා

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන 2015 විවෘත තුන් ප්‍රයාම තරගාවලිය නොවැම්බර් මස 01 වැනි දින උදෑසන 06.30ට දික්ඕවිට ධීවර වරාය හා උස්වැටකෙයියාව ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

මෙම තරගයේ දී පිහිනුම් ඉසව්වන් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රය තුළ ද, පාපැදි හා දිවීමේ ඉසව්වන් දික්ඕවිට සිට මීගමුව මාර්ගය ඔස්සේ ද පැවැත් වේ.

පිරිමි අංශයේ පිහිනුම් ඉසව්ව මීටර් 750ක්වන අතර, කාන්තා අංශයේ පිහිනුම් ඉසව්ව මීටර් 250කි. පාපැදි ධාවන තරගයේ දී පිරිමි අංශයට කිලෝමීටර් 20ක දුරක් හා කාන්තා අංශයට කිලෝමීටර් 10ක දුරක් ලැබෙන අතර දිවීමේ ඉසව්වේ දී පිරිමි හා කාන්තා අංශයන්ට පිළිවෙලින් කිලෝමීටර් 05ක හා 03ක දුර ප්‍රමාණයක් ලැබෙයි. 

තරගයේ පළමු, දෙවැනි හා තෙවන ස්ථානයන් හිමි කර ගන්නා පිරිමි අංශයේ ජයග්‍රාහකයින් හට කුසලාන ද සමගින් පිළි‍වෙලින් රුපියල් ලක්ෂය, 75,000 සහ 50,000 බැගින් වූ ත්‍යාගයන් පිරිනැමෙන අතර, කාන්තා අංශය සඳහා පිළිවෙලින් ජයග්‍රාහි කුසලාන ද සමග රුපියල් 50,000, 25,000 සහ 15,000 බැගින් ත්‍යාග පිරිනැ‍මීමට නියමිතයි. 

ඊට අමතරව සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ජයග්‍රහණ හිමිකරගන්නා ක්‍රීඩකයින් හට, රුපියල් දසදහස බැගින් හා ක්‍රීඩිකාවන් හට රුපියල් පන්දහස බැගින් මූල්‍යමය ත්‍යාගයන් ද පිරිනැමෙනු ඇත. 

මෙම තරගාවලිය සංවිධානය කිරීම තුළින්, ශ්‍රී ලංකාව තුළ තුන්ප්‍රයාම ක්‍රීඩා ඉසව්ව ජාතික මට්ටමින් ප්‍රචලිත කිරීමටත්, දක්ෂතා සහිත ක්‍රීඩකයින් හට ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නංවා ගැනීම සඳහා අවස්ථාව සැලසීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව බලාපොරොත්තු වේ. 

මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට කැමති සියලු ක්‍රීඩකයින් ඔක්තොම්බර් මස 25 වැනි දිනට ප්‍රථම අයදුම් කළ යුතු අතර, ඒ පිළිබඳ වැඩිදුර විස්තර දුරකතන අංක 0718458786/ 0718037473 හෝ 0711997169 ඇමතීමෙන් හෝ www.navy.lk නාවික හමුදා නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය.

Rate this item
(0 votes)