May 05, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165 කින් ජයගනී

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 05 කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (26) පැවැති අවසන් තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165 ක ජයක් ලැබී ය. 

ශ‍්‍රී ලංකාව අවසන් තරගය ජය ලැබුව ද පාකිස්තානය 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේ ය. 

ලකුණු 369 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු කණ්ඩායම ඕවර 37.2 ක දී ලකුණු 203 කට සීමා විය. මෙම තරගාවලියේ පළමු වරට අවස්ථාව ලැබූ සචිත‍්‍ර සේනානායක ලකුණු 39 කට කඩුලු 03 ක් දවා ගත්තේ ය.     

අසාර් අලී (35), මොහොමඩ් හෆීෂ් (37), සෆ්රාස් අහමඩ් (27) සහ ෂොයිබ් මලික් (11) දැවී යෑමෙන් ලකුණු 140 කට කඩුලු 5 ක් බවට පත් ව පාකිස්තානු ඉනිම කඩා වැටුණි. 

පාකිස්තානු පළමු කඩුල්ල ලෙස අහමඩ් ශෙෂාඩ් (18) සචිත‍්‍ර සේනානායකගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසු ව දැවී ගියේ ය. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 368 ශ‍්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක දී ශ‍්‍රී ලංකාවේ දී රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. 1996 ලෝක කුසලාන තරගාවලියේ දී මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංණයේ දී කෙන්යාවට එරෙහි ව රැස් කළ ලකුණු 398 ශ‍්‍රී ලංකාවේ දී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.

මෙම ලකුණු 368 සූරියවැව ක‍්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට පෙර දකුණු අප‍්‍රිකාව ලකුණු 339 ක් රැස්කර තිබිණ. නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 70) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 52) පස්වැනි කඩුල්ලට පන්දු 55 ක දී ලකුණු 114 නොබිදුණු වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 368 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. 

ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 ක දී හතරේ පහර 05 ක් සහ හයේ පහර 02 ක් සමගින් සිය 27 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේ ය. මැතිව්ස් පන්දු 40 කදී නොදැවී ලකුණු 70 ක් එක් කළේ ය. 

මිලින්ද සිරිවර්ධන එක්දින පිලේ ස්ථානය තහවුරු කර ගනිමින් පන්දු 26ක දී හතරේ පහර 04 ක් සහ හයේ පහර 03 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස් කරමින් සිය පළමු එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළේ ය. 

දිනේෂ් චන්දිමාල් පන්දු 25 ක දී හතරේ පහර 03 ක් සහ 06 පහරක් සමගින් ලකුණු 29 ක් රැස් කරමින් දැවී යාමත් සමග ලකුණු 254 කට කඩුලු 04 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් විය. 

ළහිරු තිරිමාන්න පන්දු 30 කදී හතරේ පහර 02 ක් සමගින් ලකුණු 30 ක් රැස්කර සිටිය දී තෙවැනි කඩුල්ල බවට පත් විය. 

කුසල් පෙරේරා අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109ක දී 04 පහර 09 ක් සහ හයේ පහර 04 ක් සමගින් ලකුණු 116 ක් ලබා සිටිය දී දෙවැනි කඩුල්ල ලෙස දුවනවිට දැවී ගියේ ය. මෙය කුසල්ගේ දෙවැනි එක්දින ශතකයයි. 

කුසල් පන්දු 41 ක දී හතරේ පහර 07 ක් සහ හයේ පහරක් සමගින් අර්ධ ශතක සම්පූර්ණ කළ අතර 24 හැවිරිදි කුසල් මේ වනවිට එක්දින තරග 48 කදී ලකුණු 1,096 ක් රැස්කිරීමට සමත් ව සිටියි. 

කුසල් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කින් ලකුණු 164 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයට ඒමට අඩිතාලම දැමූහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 70 කදී හතරේ පහර 06 ක් සමගින් ලකුණු 62 ක් රැස්කර සිටිය දී දුවනවිට දැවී යාමෙන් පාකිස්තානයට කඩුල්ල ලබාදීමට සිදු විය.

කුසල්ගේ ප‍්‍රහාරය හමුවේ පාකිස්තානු නායකයා 18 වැනි ඕවරය වනවිට සිය ප‍්‍රධාන පන්දු යවන්නන් 06 දෙනකුගේ සේවය ලබාගෙන තිබුණි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ශ‍්‍රී ලංකා පිලේ වෙනස්කම් 03 ක් කරමින් තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක සහ ළහිරු ගමගේ මෙම තරගයට ක‍්‍රීඩා කළහ. ලසිත් මාලිංග, සචිත් පතිරණ සහ නුවන් ප‍්‍රදීප් කණ්ඩායමෙන් ඉවත් කර තිබිණ.

වේග පන්දු යවන ලසිත් මාලිංගට පළමු වරට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් බවට පත් විය. මාලිංගගේ ස්ථානයට ළහිරු ගමගේ කැඳවා තිබිණ. පාකිස්තානය සිවුවැනි තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම වෙනසකින් තොර ව ක‍්‍රීඩා කළේ ය.  

 

Rate this item
(0 votes)