May 05, 2024

විශේෂ ඔලිම්පික් උළෙලට යන දරුවන්ට රවීගෙන් අනුග්‍රහය 

ජුලි මස 25 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන විශේෂ ඔලිම්පික් උළෙලට සහභාගී වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මුදල් අමාත්‍යවරයා අනුග්‍රහය දැක්වීම ඊයේ (12) පෙරවරුවේ සිදු විය. 

ඒ කොළඹ සී.සී.සී පිටියේ පැවැති උත්සවයක දීය. දරුවන් 7 දෙනෙකු මෙවර විශේෂ ඔලිම්පික් උළෙල නියෝජනය කරන අතර යාපනයේ දරුවන් දෙනෙකු ඒ අතර වීම විශේෂත්වයක්. 

දරුවන් සමග අමෙරිකාව බලා යන කණ්ඩායම 12ක් වන අතර ඔවුන්ගේ ගමන් වියදම් සඳහා රුපියල් ලක්ෂ 26ක මුදල් අවශ්‍යව තිබිණි. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මෙම අනුග්‍රහය දැක්වීමත් සමග ඔවුන්ට සාර්ථකව සිය සංචාරයේ නිරත විය හැකි බව විශේෂ ඔලිම්පික් ශ්‍රී ලංකා සභාපති ආචාර්ය නිමල් කාරියවසම් මහතා පැවසී ය. 

මීට පෙර අවස්ථා සියල්ලේ දීම ආර්ථික ගැටලු හේතුවෙන් එම උළෙලට සුදුසුකම් ඇති දරුවන් සහභාගී කරවීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය. 

එම අවස්ථාවට එක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ මෙවැනි දරුවන්ට සමාජයෙන් කොන් වීමට ඉඩ නොතබා ඔවුන්ගේ හැකියාවන්ට අවස්ථාව දීම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි. 

ලංකා බැංකුවේ අනුග්‍රහය යටතේ මෙහි දී රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දීම සිදු කෙරිණි.

 

Rate this item
(0 votes)