May 05, 2024

හෙට තරගෙට සංගා මහේල නෑ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් 2000 වසරෙන් පසු ව පළමු වතාවට මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර නොමැතිව හෙට (03 දා) ටෙස්ට් තරගයකට එක්වීමට නියමිතයි. 

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා පල්ලේකැලේ පිටියේ දී හෙට ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගයට කුමාර් සංගක්කාර ක්‍රීඩා නොකරන අතර, මහේල ජයවර්ධනද පසුගිය වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගිය බැවින් ඔහු ද සහභාගී නොවේ.

2000 ජූලි මාසයෙන් පසුව ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ පසුපස සංගා හා මහේලගේ දායකත්වය පැවැති අතර හෙට පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් දෙදෙනා නොමැති ව තරග කරයි. 

පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර, හෙට ආරම්භවන තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවෙයි. 

සංගා වෙනුවට කණ්ඩායමට උපුල් තරංග කැඳවා තිබේ.  ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් පිතිකරුවෙක්වත් ටෙස්ට් තරග 20 ට වැඩියෙන් ක්‍රීඩා කර නොමැත. ඒ අනුව හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය පිළිබඳ සුබවාදී පැතිකඩක් නිර්මාණයවන තරගයක් වේ.

 

Rate this item
(0 votes)