May 05, 2024

දෙවන තරඟයේ දී කණ්ඩායමේ වෙනසක් - මැතිව්ස් පවසයි

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පන්දු යවන්නන් බ්‍රහස්පතින්දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේදී වෙනස් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ආබාධයකට ලක් වී සිටින දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇති බව පවසන කණ්ඩායමේ නායකයා, වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද්ගේ සහභාගිත්වය ද අවිනිශ්චිත බව පැවසීය.

කොළඹ පී සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, දෙවන ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය සම කිරීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

ගාල්ලේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූයේ පිතිකරුවන් එක්දින තරඟයක් ලෙසින් ක්‍රීඩා කළ නිසා නොවේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ සිය කණ්ඩායමේ නවක පිතිකරුවන් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන තරම් පරිණත වී නැති බවයි.

පළමු තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරුවන් පිරිස දෙවැනි ටෙස්ට් තරගයටද ක්‍රීඩා කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර තුන් වැනි තරගයට ක්‍රීඩා කරන්නේ දැයි තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

- BBC

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 June 2015 07:48