May 13, 2024

“රාජපක්‍ෂලා වැරදි කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා“ - ඉඩම් ඇමති 

February 08, 2015

සියලුම දෙනාට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අතර මේ රටේ නීති දෙකක්‌ නොමැති බවත් රාජපක්‍ෂලා වැරදි කර ඇත්නම් ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඉඩම් අමාත්‍ය එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා පවසයි. 

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ බෞද්ධ විහාරස්‌ථාන සතුව පැවැති ඉඩම් අක්‌කර 1000කට අධික ප්‍රමාණයක්‌ පසුගිය ආණ්‌ඩුවේ දේශපාලනඥයන් විසින් භික්‍ෂූන් වහන්සේලාට තර්ජනය කොට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා තමන්ගේ හිතවතුන් වෙත ලබාදී ඇතැයි ද හෙතෙම පැවසීය. 

භික්‍ෂූන් වහන්සේලාට ආයුධ පෙන්වා තර්ජනය කරලා විහාරස්‌ථාන සතු ඉඩම්වල පදිංචිව සිටි ජනතාවගේ නිවාස ගිනි තියලා තමයි මෙම ඉඩම් අක්‌කර දාහකට අධික ප්‍රමාණය රාජපක්‍ෂ රජය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ පිළිබඳව පානම සහ මුල්ලිගොඩ ප්‍රදේශයේ විහාරස්‌ථානවල හිමිවරුන් ඉඩම් අමාත්‍යාංශය වෙත පැමිණිලි කරලා තිබෙනවා. පසුගිය කාලේ මේ රටේ නීතියක්‌ ක්‍රියාත්මක වුණේ නැති හින්දා මේ සියල්ලම යට ගියා. බලෙන් අත්පත් කර ගත් බෞද්ධ විහාරස්‌ථාන සතු ඉඩම්වල මේ වනවිට නිවාඩු නිකේතන විසි දෙකක්‌ ඉදිකරලා තිබෙනවා.“ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මේ පිළිබඳව අපි විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා මෙම ඉඩම් නැවත රජයට පවරා ගන්නවා. ඒ වගේම බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටින සියලුම දෙනාට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මේ රටේ නීති දෙකක්‌ නැහැ. රාජපක්‍ෂලා වැරදි කරලා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරනවා“ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 February 2015 16:12