May 11, 2024

'අගමැති අපේක්ෂකයා තේරීමට අපිට අයිතියක් නෑ' - තිස්ස විතාරණ 

February 06, 2015

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධායෙන් තරග කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවමත් හොඳ සම්බන්ධතාවයකින් කටයුතු කරන බවත් ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ශ්‍රීලංනිපය සමඟ එකට එක්ව සන්ධානයේ පක්ෂයක් ලෙස කටයුතු කරන අතර මහ මැතිවරණයේදී වෙනම පක්ෂයකින් තරග නොකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග වෙනත් පක්ෂයක් ගොඩනගන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් ඔහු සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය ඇතුළු වමේ පක්ෂ 4ක් එක්ව ගොඩනගා ඇති සමාජවාදී ජනතා පෙරමුණ ද ක්‍රියාකාරීව පවත්වාගෙන යන බවත් තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.

මහ මැතිවරණයේදී ශ්‍රීලංනිපය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට එහි පක්ෂ කිහිපයක් ගෙන ඇති තීරණය පිළිබඳ තිස්ස විතාරණ මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ යුතු බවත් සන්ධානයේ හවුල්කාර පක්ෂවලට අගමැති අපේක්ෂකයා තීරණය කළ නොහැකි බවත්ය. 

(ප්‍රභාත් මාතරගේ)

Rate this item
(0 votes)
Last modified on Friday, 06 February 2015 16:03