May 12, 2024

හිටපු ජනපතිගේ රන් වජ්‍රය "සඳහිරු සෑයේ" තැන්පත් කරලා

February 05, 2015

ශ්‍රී ලංකාද්වීපයෙහි දශක තුනකට අධික කාලයක් මුල් බැස පැවැති එල්.ටී.ටී.ඊ. කුරිරු ත්‍රස්තවාදය වර්ෂ 2009ක්වූ මැයි මස 18 වැනි දින සහමුලින් තුරන් කොට රට එක්සේසත් කර ලැබූ විජයග්‍රහණය සනිටුහන් කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උදාර සංකල්පයකට අනුව මෙම සඳහිරු සෑය අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දක්‍ෂිණ දිසා භාගයෙහි වූ භූමියෙහි ඉදිකිරීමේ කටයුතු 2010ක් වූ නොවැම්බර් මස 22 වැනි දින ආරම්භ කෙරිණි.

සඳහිරු සෑය ඉදිකිරීම රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් කරන ලද අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ, දේශීය හා විදේශීය දානපතියන්ගේ දායකත්වය මත පේසා වළලු තුනෙහි ඉදිකිරීම් අවසන් කර ගර්භයෙහි ධාතු කුටිය සුබ මොහොතින් පන්දහසකට අධික දෙස් විදෙස් පරම පූජනීය මහා සංඝයා පෙරටු කර ගෙන හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කෙරිණි.

සඳහිරු සෑය නිර්මාණය කිරීමේදී ඉන් අදහස් කළ තොරතුරු පිළිබඳ මැදගොඩ අභයතිස්ස හිමි පවසන්නේ සඳෙන් සෞම්‍ය ගුණයත්, ඉරෙන් තේජසත් නිරූපණය වන්නා සේම ශ්‍රී ලාංකේය ජනවර්ගයේ ප්‍රෞඪත්වය ඉරෙනුත්, බුදු දහමේ මානව දයාව හඳෙනුත් නිරූපණය වන හෙයින් මෙම "සඳහිරු" නාමය අතිශයින්ම වැදගත් වන බවයි. 2010 නොවැම්බර් 23 වැනි දින පැවැති ධාතු නිධානෝත්සවයට දෙස් විදෙස් සංඝරත්නය හයදාහක් පමණ සහභාගි වූහ.

මෙම සඳහිරු සෑයේ ධාතු නිධානයේ සුවිශේෂිතම බව නම් දුටුගැමුණු රජු තම ජයකොන්තය තැන්පත් කොට මිරිසවැටිය ස්තූපය කරවූවා සේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද ජයග්‍රහණය දක්වා තම අත තබා උන් රනින් කළ වජ්‍රය තැන්පත් කිරීමට පූජා කිරීමය.

තිස්වසරක බිහිසුණ යුද්ධයෙන් මියගිය සතුරු මිතුරු සියල්ලන්ටම නිවන් සම්පත් ප්‍රාර්ථනා කිරීමත් සම්බුද්ධ ශාසනය මේ කප පවතිනතාක් මෙම ශ්‍රී ලංකා ධරණී තලයේ චිරස්ථායි වීමත් ශ්‍රී ලංකාද්වීපයෙහි මෙවන් බිහිසුණු යුද්ධයක් මතු ඇතිනොවීමත් සියලු දෙනාගේ ප්‍රාර්ථනාව බව මැදගොඩ අභයතිස්ස හිමි පැවසූහ. 

Rate this item
(0 votes)