May 12, 2024

මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් හැදීමට ජනපති - අගමැති එකඟ වෙති!

February 02, 2015

එළඹෙන මහා මැතිවරණයෙන් පසුව වසර දෙකක කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් ඇති කරගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත අනාවරණය කරයි. 

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ දියත් වනු ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇත.  එමෙන්ම මැතිවරණයට පෙර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රිලනිපයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත් කිරීමටද නියමිතය. 

මේ අතර ජාතික හෙළ උරුමය සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ස්වාධීනව එළඹෙන මහ මැතිවරණයට තරග කොට එයින් අනතුරුව ජාතික ආණ්ඩුවට එකතු වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයෙන් පසු ඇමතිධූර හෝ රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට දැනටම තීරණය කොට ඇතැයිද එම පක්ෂයේ ඉහල පෙලේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවේය. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා මහනුවරදී එජාප පාක්ෂිකයන් පිරිසක් අමතමින් ප්‍රකාශ කළේ ඉදිරි මහ මතිවරණයෙන් පසුවත් බිහිවන්නේ ජාතික ආණ්ඩුවක් බවයි. එම ජාතික ආණ්ඩුව තුළ ශ්‍රිලනිපයේ මන්ත්‍රී පිරිසකටද ඇමතිධුර හිමිවන බව වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය. එමෙන්ම පසුගිය සෙනසුරාදා රූපවාහිනි නාලිකාවල විකාශය වූ සිය ප්‍රථම විද්‍යුත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවේදී ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තහවුරු කළේ එලඹෙන මහා මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කෙරෙන බවයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 February 2015 09:03