April 26, 2024

ඇමති බැසිල්ට ජනපති උපදෙස් දීලා

ප්‍රජා සංවිධාන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හෙවත් ගැමි දිරිය තවදුරටත් සංවර්ධනය කිරීමට රජය කඩිනමින් පියවර ගන්නා බවත් රජය විසින් ග්‍රාමීය සංවිධාන දුර්වල කිරීම සඳහා රජය කටයුතු කරන බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගැමි දිරිය ව්‍යාපෘතියේ ග්‍රාමීය සංවිධානවල දිස්ත්‍රික්ක නියෝජිතයන් වෙනුවෙන් බත්තරමුල්ල අපේ ගම සංකීර්ණයේ දී පසුගියදා පැවති සුහද හමුවක් අමතමිනි. 

මෙම හමුවට කුරුණෑගල, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ගැමි දිරිය නියෝජිතයන් 2,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. “ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මටත් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත්, දෙන ලද උපදෙස් අනුව මෙම හමුව පැවැත්වෙනවා. ජනාධිපතිතුමා වගේ ම මමත් දන්නවා ඔ‍බේ සංවිධානවල ඉන්න නිලධාරින්ට තිබෙන විවිධ ගැට‍ලු. ඒ වගේම ඒවා ප්‍රකාශ කරන්න අවස්ථාවක් අවශ්‍යයි. එම නිසා මෙම හමුව ඒ සඳහා අවස්ථාවක් කර ගනිමු. මේ සාර්ථකව ගෙන යන වැඩපිළිවෙළ අඩපණ කරන්න, ජනාධිපතිතුමා වගේ ම රජය අපහසුතාවට පත් කරන්න උත්සාහ කරන කඩාකප්පල්කාරී පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි ඔබ ව කැදෙව්වේ ඒ පිළිබඳ රජයේ ස්ථාවරය පැහැදිලි කරන්නයි.“ 

“ඔබ අතර මොනවා හරි කුතුහලයක් තිබෙනවා නම් ඔබේ මේ ග්‍රාමීය සංවිධාන විසුරුවා හරිනවා. නැත්නම් වෙන එකකට අනුයුක්ත කරනවා. නැත්නම් අඩපණ කරනවා කියලා හරි, අපි පැහැදිලි ව කියනවා. ඔබේ ග්‍රාමීය සංවිධාන මොන ආකාරයකින්වත් විසුරුවන්නේ නෑ. අඩපණ කරන්නෙත් නෑ අනිත් ඔබේ සංවිධාන සියල්ලක් ම මේ ආකාරයකට ම පවත්වාගෙන යනවා වගේ ම තවදුරටත් වඩාත් ශක්තිමත් කරනවා කියලා. ගැමි දිරිය සංවිධානය හැදුවේ අපි මේ වැඩපිළිවෙළ හඳුන්වලා දීලා ග්‍රාමීය සංවිධාන හදලා, මුදල් දීලා ලෝක බැංකුවෙන් ණයක් අරගෙන, ඒකත් ආපසු මෙය ආරම්භ කරපු විදිහට නෙමෙයි අප මෙහි ව්‍යුහය වෙනස් කළා. හැම දිස්ත්‍රික්කයකට ම මෙය පැතිරුවා. ප්‍රජාවල බලය දෙන ව්‍යුහය සකස් කළේ ‍වෙන කවුරුවත් නෙමෙයි  ජනාධිපතිතුමාගේ අදහස් අනුව මම පෞද්ගලිකව මැදිහත් වෙලා ඔබව ශක්තිමත් කරන්න හදාපු සංවිධානයක්. මෙම ගැමි දිරිය සංවිධාන අපි විසුරුවන්නේ නෑ අඩපණ වෙන්න දෙන්නේ නෑ. තව තවත් ග්‍රාමීය ජනතාවට සේවය කරන ශක්තිමත් සංවිධානයක් හැටියට ඔසවලා තබන බවට නැවත රජය තහවුරු කරනවා.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේය. 

 

Rate this item
(0 votes)