May 07, 2024

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශය

“අගෝස්තු 05 වැනිදා  මහ මැතිවරණය මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සටහන් කළ කඩඉමක්. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 2/3ක  ඓතිහාසික ජනවරමක් සමග ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට රජයට හැකි වුණා. එකී ජනවරම දුන් දේශප්‍රේමී ජනතාවට මගේ කෘතඥතාව පුද කර සිටිනවා. රජය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු වන පරිදි අඛණ්ඩව ජනතාවට සේවය කිරීම රජයේ එකම අභිලාෂයයි”.

“ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක වකවානුවකි.  කඩා වැටී තිබූ ආර්ථිකයක් භාරගත් රජයට මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ් 19 වසංගතයට මුහුණදෙන්නට සිදු විය. වසංගතය පැතිරයාම වැළැක්වීමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ලොව සියලු රටවල ප්‍රසාදයට ලක් විය. විවිධ බාධක හමුවේ මාස 09ක කාල පරාසය තුළ රට පාලනය කළ ආකාරය ගැන ජනතාව පැහැදීමෙන් සිටි බව ලැබූ අතිවිශාල ජනවරමෙන් සනාථ විය“.

“උත්තරීතර ව්‍යවස්ථාවට අනුව සිය ධූර කාලය තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවට පොරොන්දු වී ඇතැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ගැනීමට නායක බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන් සමන්විත උපදේශක සභාවක් ස්ථාපනය කරනවා“. 

“පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමටත්, බෞද්ධ උරුමය රැක ගැනීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාව අවබෝධ කරගෙන සිටී“.

“2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටී තිබූ ජාතික  ආරක්ෂාව යළි සුරක්ෂිත කර, නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් යළි උදාකර තිබේ. එලෙසම තමා පොරොන්දු වූ ආකාරයටම පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන් ජනතාව මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීමත්, ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වුණා“.

“රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් කිරීමට රජය ක්‍රියාකරමින් සිටී. එහි එක් පියවරක් ලෙස රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී පැවති සාම්ප්‍රදාය වෙනස්කරමින් විද්වත් මණ්ඩලයක නිර්දේශයට අනුව පත්වීම් සිදු කෙරිණ“.

“එලෙසම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට පියවර ගෙන තිබේ. රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලැබිණ. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ආනයනයසීමා කළා“.

“ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගේ මූලික වගකීම ජනතාසේවය බව  අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා  සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බවත් එය මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට සංවේදී විය යුතුයි“. 

“නිදහසින් වසර 72කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවන්ට විසඳුම් ලැබී නැති බව මැතිවරණ කාලසීමාවේදී  රට පුරා කළ චාරිකාවේදීතමන් අවබෝධ විනැයි රාජපක්ෂ මැතිතුමා කීය.වසර ගණනක් තමන් ජීවත්වූ ඉඩම්වල නිසි අයිතිය, පානීය ජල ගැටළුව, අලි මිනිස් ගැටුම, සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන දැනුම සහ ග්‍රාමීය රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹනවා“.

“රැකියා වියුක්තිය නැති කිරීමට දිගු සහ කෙටි කාලීන විසඳුම් දෙන අතර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ අපනයන ආදායම වැඩි කිරීම රජයේ මූලික ඉලක්කයයි. කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට ද  අපේක්ෂා කෙරේ“.

“කාර්යක්ෂම සහ කඩිනම් රාජ්‍ය සේවාවක් ස්ථාපනය කිරීම පියවර ගැනේ. සියලු අමාත්‍යාංශවල හා ආයතනවල නාස්තිය සහ දුෂණ සම්පූර්ණයෙන් නතර කිරීමට ක්‍රියා කරනු ඇත” ජනාධිපතිතුමා කියා සිටියේය. නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේයැයි ද ජනාධිපතිතුමා පැවසීය. යම්කිසි අමාත්‍යාංශයක් ඉලක්ක සපුරා ගැනීමට අසමත් වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට  කිසිවිටෙකත් පැකිළෙන්නේ නැහැ“. 

“අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටළු හඳුනාගෙනඒවාට විසඳුම් දීමට ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා“.

“ව්‍යවස්ථා වෙනසක් සඳහා රජය ඉල්ලූ ජනවරම ජනතාව දී තිබේ. ඒ නිසා පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදිම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බව ජනාධිපතිතුමා පැවසීය. “එක රටක් - එක නීතියක්” යන සංකල්පයට ප්‍රමුඛත්වය දෙමින් සියලුදෙනා සමග එක්ව රටට  යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා“.

“මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තියෙනවා. අපේ අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජිවත්වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම”යැයි සඳහන් කළ ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා තමා සමග එකතුවන ලෙස සියලුදෙනාට ආරාධනා කරමි“.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:58