May 07, 2024

හිටපු මන්තී‍්‍රවරු 70කට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි

මෙවර මහ මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 70 කට වැඩි සංඛ්‍යාවක් ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

ඉකුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ මන්තී‍්‍රවරුන් 23 කට වැඩි සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග, අජිත් මාන්නප්පෙරුම, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම, ඒ එච් එම් ෆවුසි, චතුර සේනාරත්න, විජිත් විජේමුණි, එඞ්වඞ් ගුණසේකර, විජේපාල හෙට්ටිආරච්චි, පියසේන ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, පාලිත රංගේ බණ්ඩාර, ලක්‍ෂ්මන් විජේමාන්න සහ විජයකලා මහේෂ්වරන් යන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් මෙවර පරාජයට පත්ව තිබේ.

එමෙන්ම ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් 10 කට වැඩි සංඛ්‍යාවකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. 

තිලංග සුමතිපාල, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ටී බී ඒකනායක, එස් බී නාවින්න, තාරානාත් බස්නායක, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරණායක, නිරෝෂන් පේ‍්‍රමරත්න සහ දුලිප් විජේසේකර යන ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරුන්ද මෙවර මන්තී‍්‍ර ආසන දිනා ගැනීමට සමත් වී නැහැ. 

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ සුනිල් හදුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නිහාල් ගලප්පත්ති යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා සහ පී. සරවනභවන් ද මෙවර සිය මන්තී‍්‍ර ආසන දිනා ගැනීමට අසමත් විය.

මෙවර මහ මැතිවරණයෙන් මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කළේය. ඒ ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 17 ක් ද සමගයි. 

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 54 ක් දිනාගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍ර ආසන 07 ක් හිමි විය. මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ආසනයක් සමගින් මන්තී‍්‍ර ආසන 03 ක් දිනා ගැනීමට සමත්විය. ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් සමගින් මන්තී‍්‍ර ආසන 10 ක් දිනා ගැනීමට සමත් විය.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් පමණයි. මෙවර මහ මැතිවරණයේදී අහිල ඉංකෙයි තමිල් කොංග‍්‍රසයට ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් ද සමග මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රධූර 02 ක් හිමිව තිබේ. කොඩිය ලකුණින් මෙවර මහ මැතිවරණයට පළමුවරට ඉදිරිපත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නායකත්වය දරණ අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් හිමිව තිබීම විශේෂත්වයක්. 

තමිල් මක්කල් විදුතෙලෙයි පුලිකල්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කුට්ටානි, සමස්ථ ලංකා මක්කල් කොංග‍්‍රසය, ජාතික කොංග‍්‍රසය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට එක් මන්තී‍්‍ර අසුනක් බැගින් හිමිව තිබේ.  ඊපීඞීපී පක්ෂයට මෙවර මන්තී‍්‍ර ආසන 02 ක් හිමි විය. 

මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් තරග වැදුනු අතර ඒ අතරින් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් හෝ දිනාගනිමින් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට හැකිවී ඇත්තේ දේශපාලන පක්ෂ 15 කට පමණයි. 

Rate this item
(0 votes)