May 04, 2024

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

ඡන්ද විමසීමක් පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නියෝග ඇතුළත් ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පෙරේදා (17) රාත්‍රියේ නිකුත් කරනු ලැබුවාය.

ඒ අනුව ඡන්ද රැස්වීමක් සඳහා සහභාගී වන සංඛ්‍යාව 300 නොඉක්මවිය යුතු බවත්, දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගීවන රැස්වීමක් නම් ඊට 500ක් සහභාගි කරවිය හැකි බවත් ගැසට් පත්‍රයේ සඳහන්ය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 වන සහ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නියෝග ඇතුලත් ගැසට් පත්‍රය පෙරේදා රාත්‍රියේ නිකුත් කරනු ලැබුවේය.

එම නියෝග "2020 අංක 01 දරන 2019 කොරෝනා රෝගය (කොවිඩ්19) ( ඡන්ද විමසීම්)" නියෝග යනුවෙන් හඳුන්වා දී තිබේ.

එම නියෝගවලට අනුව ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධාන කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙක්ම එම රැස්වීම ආරම්භයට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ලබාදිය යුතු වේ.

එම ලිඛිත දැන්වීම භාරදෙන සංවිධායකවරයා එම රැස්වීම සඳහා සහභාගෙී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්මවීමට වගබලාගත යුතු බවද ගැසට් නිවේදනයේ නියෝගවල සඳහන්ය.

එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් සහභාගී වන පිරිස 500ක් දක්වා ඉහළ නැංවීමට ගැසට් පත්‍රයේ සඳහන් නියෝගවලින් අවස්ථාව සලසා දී තිබේ.

සංවිධායකවරයා විසින් රැස්වීමක් සඳහා පැමිණෙන සෑම අයෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගැනීම සිදුකළ යුතු අතර පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජ නාශක දියර යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැළසිය යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම කථිකයා ඇතුළු රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වගබලා ගත යුතු අතර රැස්වීමට පැමිණෙන සෑම අයෙකුම සෑම විටකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

එසේම යම් තැනැත්තෙකු විසින් මයික්‍රෆෝනය ඇතුළු උපකරණ භාවිත කිරීමෙන් පසු එම උපකරණ විෂබීජහරණය කිරීම ද ගැසට් නිවේදනයෙන් නියෝගයක් ලෙස නිවේදනය කර තිබේ.

එසේම අත් පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඡන්දහිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන කණ්ඩායමක් 05 දෙනෙකු නොඉක්මවිය යුතු බවද නියෝග මාලාවේ සඳහන් වේ.

ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර අපේක්ෂකයෙකුගේ කාර්යාලයට සහ එම පරිශ්‍රයට කිසිඳු මද්‍යසාරයක් රැගෙන නොඑන බවට හෝ එහිදී මද්‍යසාර පරිභෝජනය නොකරන බවට වග බලා ගත යුතු බවද එහි නියෝගයක් ලෙස සඳහන්ව තිබේ.

එමෙන්ම අපේක්ෂකයෙකුගේ කාර්යාලයේ හෝ එම පරිශ්‍රය තුළ සූදු ක්‍රීඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ ක්‍රීඩාවේ නොයෙදෙන බවට වගබලා ගත යුතු යැයිද ගැසට් නිවේදනයේ දැක්වේ.

එසේම ඡන්දපොළක සහ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම එම පරිශ්‍රවලට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් විෂබීජහරණය කළ යුතු අතර සෑම අවස්ථාවකදීම මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගනිමින් මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු වේ.

මෙම ගැසට් නිවේදනයේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව යන්නෙන් අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනයේ සිට එම ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරනු ලබන කාල සීමාවෙන් අවසන් වන කාල සීමාව අදහස් වන බව ද ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Rate this item
(0 votes)