May 04, 2024

රට ඉදිරියට ගෙන යන ආර්ථීක සැලැස්ම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ජනතාව හමුවේ තැබිය යුතු බව මිලින්ද යෝජනා කරයි

ප්‍රචාරය හා පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය මහ ඉහළින් කරගෙන යන නමුත් පශ්චාත් කොවිඩ් අභියෝග පරාජයකර මෙරට ආර්ථීකය නගා සිටුවීම අරමුණෙන් දර්ශනයක් සහිත වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ අසමත්වීම අවාසනාවක් බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

බිල් ක්ලින්ටන් ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේ දී ඔහු ගේ දේශපාලන උපාය සකස්කළ ජේම්ස් කාවිල් මහතා ආර්ථීක වැඩපිලිවෙල හැර අනෙක්ක කිසිම දෙයක් ගැන අවධානය යොමු කිරීම පලක් නැති බව දක්වන ලද අතර එම අදහස අදටත් වලංගු බව මොරගොඩ මහතා අවධාරණය කරයි.

සීමිත සම්පත් ප්‍රමාණයක් සහිත කුඩා වෙළද පොලක් වන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හුදෙකලාවී පැවැතිය නොහැකිය. තනි ගමනක් නැත. පක්ෂ දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවේ දී පලක් නැති වැඩපිලිවෙල ගැන කරුණු දක්වන අතර ආර්ථීකය ගැන අවබෝධයක් හා හැගීමක් රහිතව රට හුදෙකලා කරන යෝජනා ඉදිරිපත් කරමින් සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.

ලෝකයේ සෑම රටක්ම මෙම සියවසේ විශාලම ආර්ථීක අර්බුදය අභිමුවෙහි සිටින බව අමතක කළ යුතු නැත. කොවිඩ්-19 වසංගතය පාලනය කරගැනීමට ජනාධිපතිවරයා සාර්ථකව නායකත්වය දී තිබේ. නිශ්චිත ප්‍රතිකාර සොයා ගන්නා තෙක් අවදානම තුරන් නොවන අතර රට විවෘත වන සෑම අවස්ථාවකම තත්ත්වය වෙනස් විය හැකි බව ද මොරගොඩ මහතා දක්වයි. වසංගතය පාලනය කරගත හැකි තත්ත්වයක් තුළ දෙවැනි රැල්ලකට ඉඩ නොතබා, ආර්ථීකය ප්‍රතිව්‍යුහගත කර ලෝකයේ අනෙක් රටවලට ඉදිරියෙන් සිටිය හැකි තැනට පත් කිරීම විශාල අභියෝගයක් බව දක්වන මිලින්ද මොරගොඩ මහතා අපේක්ෂකයන් හා ප්‍රධාන දේශපාලන පක්ෂ රට ඉදිරියට ගෙන යන ආර්ථීක සැලැස්ම ජනතාව හමුවේ තැබිය යුතු බව ද කියා සිටී. පක්ෂ ඉදිරිපත් කරන සාර්ථක වැඩ පිලිවෙල අනුව ජනතාව ඡන්දය පාවිච්චි කරනු ඇති අතර එය පවතින අනතුරුදායක ආර්ථීක ව්‍යුහය සාර්ථකව යහපත් පැත්තට හරවන්නට හේතුවනු ඇති බව ද හෙතෙම මෙම නිවේදනයෙහි දක්වයි.

Rate this item
(1 Vote)