May 04, 2024

කරළියෙන් එහා: ජනපති ගෝඨාගෙන් මෛත්‍රීට කැපිල්ලක්? ගෝඨා - මහින්ද එක වේදිකාවට නොඑයි

මහින්දාන්නද මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ගැන මේවන විට පරීක්ෂණ අවසන් වී තිබේ. මහ මැතිවරණය ලං වීමත් සමඟ දේශපාලන කරළිය උණුසුම් වෙමින් විවිධ සිද්ධි ගැන විවිධ මැති ඇමැතිවරු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් පවතී. මේ අතර සමගි ජන බලවේගයේද අභ්‍යන්තර අර්බුද නිර්මාණය වෙමින් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ මෙහෙයුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී ආරම්භ විය. ඒ පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමුවූයේ ජනාධිපති කාර්යාලයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය හේතුවෙනි. එහි සඳහන් කර තිබුණේ මැතිවරණ ප්‍රචාරණයේදී කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසය. නමුත් අනුරාධපුරයේදී පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජනාධිපතිවරයා මෙවර අනුරාධපුරයෙන් තරග කරන පොහොට්ටුවේ සියලු අපේක්ෂකයින්  මැතිවරණ රැස්වීම් සඳහා සහභාගී වූ අතර ඒ සඳහා ප්‍රචාරක කටයුතුද සිදු කර තිබෙනු දක්නට ලැබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (3) ආරම්භ කෙරුණි. එහි පළමු වැඩසටහන පැවැත්වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. මෙම වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවඳින අනුරාධපුර දිස්ත්‍රික්යේ සියලු අපේක්ෂකයින් මුණගැසීමට සැලසුම් කර තිබූ අතර ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා මුණගැසුණි. ඒ තලාව ඊරියගම වැව අසල තම්මැන්නාව නිදහස් උයනේදියි. එම ස්ථානයට රැස්ව සිටි ජනතාවගේ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේය. මෙහිදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව විසින් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපතිවරයා වෙත මුල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළේය.

ජනපතිත් මැතිවරණ සටනට

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව  ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග කතා බහක නිරත විය.  නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. එස්.සී. මුතුකුමාරණ මහතා හොරොව්පොතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා විදුහල්පතිවරුන්ගෙන් විමසීය. හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා කැබිතිගොල්ලෑව, නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිවරයා එක් විය. කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාදවී ඇතැයි ගම්වාසීහු පෙන්වා දී තිබිණි.

අලි මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිවරයා වෙත යොමු කළහ. එච්. නන්දසේන මහතා මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාව මේ බව පෙන්වා දුන්හ. අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වන හානිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. සරත් කුමාරසිරි මහතා අනුරාධපුර බස්නාහිර, තොලුවිල, පුරාවිද්‍යා රක්ෂිතය අසළ සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය.

ජනපතිගෙන් රොෂාන්ට වැඩි තැනක්

මේ අතර ජනාධිපතිවරයා හෙට (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් පොළොන්නරුවට යයි. මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි. වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීම් 11කට සහභාගී වන අතර ඉන් රැස්වීම් වැඩි සංඛ්‍යාවක් රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාගේ රැස්වීම් වේ. ඒ අනුව ජනාධිපතිවරයා සහභාගී වන රැස්වීම් වලින් 04ක්ම රොෂාන් රණසිංහගේ රැස්වීම්ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා සහභාගී වන්නේ එක් රැස්වීමකට පමණි. ඒ හෙට පස්වරු 12.30ට පොලොන්නරුව දීප උයනේ පැවැත්වෙන රැස්වීමටය.

තරඟ පාවාදුන් කතාවට තිත

මේ අතර පසුගියදා හිටපු අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන සිදු කල පරීක්ෂණ ප්‍රථිපල මේවන විට ප්‍රකාශයට පත්වී තිබේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුදලට පවා දුන්නා යැයි යන චෝදනාව සම්බන්ධයන් ක්‍රීඩා වැරදි පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ මේ වන විට ලබාගෙන ඇති සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නොමැති බවයි. මේ අතර ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශනය නොකර අදාළ පැමිණිල්ල පිළිබද වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කරන බවයි. ක්‍රීඩා වැරදි පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ඔහු සදහන් කළේය.

රහස් පොලීසිය රනිල් සොයා යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබිණි. ඒ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය. පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් පිටත්ව ගොස් ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 18 වන දා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි. එසේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ, එස්.පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

සජිත් පිල අර්බුදයක

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාරදුන් මංගල සමරවීර සහ අම්බලන්ගොඩ එජාප ආසන සංවිධායක මෙවර තරගයෙන් ඉවත් වූ නිසා සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇතැම් අපේක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මංගල සමරවීරගේ ප්‍රකාශ නිසා තවදුරටත් සමගි ජනබලවේගය පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට අවාසියක් සිදුවන බවය. එහෙත් තවත් පිරිසක් පෙන්වාදී ඇත්තේ ඔහු තරගයෙන් ඉවත් වූ නිසා ඔහුගේ ප්‍රකාශ සමගි ජනබලවේගයට ගැටලුවක් නොවන බවය. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුව කිසියම් අපේක්ෂකයකුට නාමයෝජනා බාරදුන් පසුව නිල වශයෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැත. ‘‘මංගල සමරවීර සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාරදී තිබෙනවා. ඔහුගේ නම බැලට් පේපර් එකේ තිබෙනවා. සමහර විට මනාප වැටෙන්නත් පුළුවන්. නාමයෝජනා දීලා මම තරග කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඔහු තවදුරටත් අපේක්ෂකයෙක් ලෙස තමයි මැතිවරණ කොමිසම පිළිගන්නේ. යම් හෙයකින් ඔහුට මනාප වැටිලා තිබ්බොත් අපි ඒ මනාප සංඛ්‍යාවත් නිල වශයෙන් ප්‍රකාශ කරනවා’’ යැයි මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේය.

කැනපි හට් සොයා මැ.කොගෙන් මෙහෙයුමක්

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජූලි මස 01 වැනි දින සිට කොමිෂන් සභාව මැතිවරණ ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් ආරම්භ කළ බවය. මැතිවරණ ප්‍රචාරණයේදී තරග කරන අපේක්ෂකයන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනය තහනම් කිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ කොමිසමට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබේ. ඇතැම් අපේක්ෂකයෝ සෘජුවම මැතිවරණ කොමිසමට ඇඟිල්ල දිගුකරමින් සිටිති. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ගත් තීන්දුව වෙනස් කිරීමේ අදහසක් නැතැයි කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මැතිවරණ කොමිසමට මුලින් ගණන් බලා තිබූ මුදලට වඩා වැඩි මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇති බවද පැවසේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණයට රුපියල් කෝටි 1000කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය. ‘‘අපි මුලින් හිතන් හිටියේ රුපියල් කෝටි 700ක් පමණ වියදමක් දැරීමට සිදුවන බවයි. ඒත් හිතුවට වඩා වැඩි මුදලක් වැය වෙනවා. රුපියල් කෝටි 1000 පනීවි. අපි වියදම අඩුකර ගන්න බලනවා. මුව ආවරණ ලක්ෂ තුනහමාරකට වඩා වැඩියෙන් ගෙන්වන්න වෙනවා. අත්සෝදන දියරවලටත් මුදල් වැය වෙනවා යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේය. මැතිවරණ නීති උල්ලංඝණය වෙනවා නම් ඒ ගැන අපි බලනවා.’’ මැතිවරණ කාලයේදී එවැනි නීති කඩ කරන්නන්ට එරෙහිව ‘‘මැතිවරණයෙන් පස්සෙත් පියවර ගන්නවා. යම් අපේක්ෂකයෙක් මැතිවරණ නීති උල්ලංඝණය කළ බව අධිකරණයේදී ඔප්පු වුවහොත් ඔහු ජයග්‍රහණය කර තිබුණත් ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රෝදය කැරකැවෙන්නේ සෙමින්. ඒත් එය කුඩු කළ යුතු සියල්ල කුඩු කරනවා.’’ සියල්ල කුඩු වෙනතුරු කැරකැවෙනවා යැයි දේශප්‍රිය කියන්නේය.

මෙවර දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාම අවම මට්ටමක තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. සැබැවින්ම මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති අතර පොලිසිය සඳහන් කරන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සාමාන්‍යයෙන් ලබා දෙන්නේ සති පහක කාලයකි. එසේත් නැතිනම් දින 35කි. ජූලි මස 01 වැනි දින සිට අගෝස්තු මස 03 වැනි දින දක්වා තරග කරන අපේක්ෂකයන්ට ප්‍රචාරණ කටයුතුවල නිරත විය හැකිය. රටපුරා ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 14,000කි. දේශපාලන පක්ෂයකට සෑම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද කාර්යාලයක් ස්ථාපිත කළ හැකිය. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන දේශපාලන පක්ෂයකට ඡන්ද කාර්යාල 14,000ක් ස්ථාපිත කළ හැකිය. එම ඡන්ද කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ පක්ෂයේ නම හා පක්ෂ ලාංඡනය පමණි.

සෞඛ්‍ය කොන්දේසි අනුව මහ මැතිවරණය පැවැත්වීමට සිදුවීම නිසා ඡන්දපොළ මධ්‍යස්ථානවල පිටත පරිශ්‍රද රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගෙන තිබේ. කැනපි හට් ගසා තාවකාලික මඩුවල නිලධාරීන් රැඳවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබේ. එහෙත් කැනපි හට් සියල්ලම රතුපාට කොළපාට හා නිල්පාටවලින් යුත් නිසා මැතිවරණ කොමිසම බලවත් අපහසුතාවකට පත්ව තිබේ. සුදුරෙදි  හෝ වෙනත් පාටකින් යුත් කැනපි හට් තොගයක් සොයා ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල මැතිවරණ කොමිසම ආරම්භ කර තිබේ. ‘‘අපට දුඹුරුපාට රෙදි තියෙන කැනපි හට් හමු වුණා. ඒත් ඒක කුරහන් පාටට සමානයි. අපි ඒකත් අත්හැරියා’’ යැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු මහ මැතිවරණ පනතට අනුව ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය පෙරවරු 7 සිට පස්වරු 4  දක්වාය. එහෙත් මෙවර ඡන්ද විමසීම පැවත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමට අවශ්‍යවී තිබේ. ඒ සඳහා තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා පැවැත්වීමට කොමිසම තීන්දුවක් ගෙන තිබිණි. එහෙත් මහාචාර්ය රත්නජීවන් හූල් එදින කොළඹට පැමිණියේ නැත. යාපනයේ සිට දුරකතනයෙන් ඔහු ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ එදිනට නියමිතව තිබූ රැස්වීම කල් දැමීමට සිදුවිය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ඇමැති දිනේෂ්ට ඇමතුමක්

මහ මැතිවරණ වේදිකාවේ මේ දිනවල තවත් කතාවක් ඇහෙන්නට පටන්ගෙන තිබේ. ඒ ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙනි. ආණ්ඩුවේම දේශපාලනඥයෝ ඇමරිකාවටත්, ගිවිසුමටත් තදින් දොස් නගන්නට පටන්ගෙන සිටිති. මේ පසුබිම යටතේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉකුත් සඳුදා පස්වරුවේ දුරකතනයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට කතා කළේය. සඳුදා පස්වරු 6.30ට පමණ ආරම්භ කෙරුණු එම දුරකතන ඇමතුම විනාඩි විස්සක පමණ කාලයක් පුරා පැවතියේය. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙවත් විදේශ කටයුතු ඇමැතිවරයා එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත්තේ සුළු වේලාවක් පමණි. විදේශ ඇමැතිවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවේදී වැඩිදුර අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකාවට යැවීමේ ගැටලු හා ගතයුතු ක්‍රියාමාර්ගයද එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවත් සමඟ එකඟතාවකට පත්ව කටයුතු කිරීමේ සූදානමක් ඇති බවට උතුරේ වෙනත් දේශපාලන පක්ෂ චෝදනා එල්ල කරමින් තිබේ. ඔවුන් සඳහන් කරන්නේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවත් සමග ඩීල් එකකට සූදානමින් සිටින බවය. ‘‘විපක්ෂයේ දේශපාලන පක්ෂයක් හැටියට අපට දිගින් දිගටම ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න බැහැ. ආණ්ඩුවේ යම් යම් දේවල් සමග අපි එකඟ වෙනවා. ඒක අවස්ථාවට අනුව කළ යුත්තක්’’ යැයි දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර තිබේ.

ජනපති - අගමැති එක වේදිකාවට එන්නේ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් තිබේ. එම පක්ෂය මෙවර අලුත් ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ද නියමිතය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවකට නොයෑමට තීන්දුවක් ගෙන තිබේ. ‘‘ජනාධිපතිතුමා විශාල රැස්වීම් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ලොකු රැස්වීම් මාලාව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා. ජනාධිපතිතුමා වෙනත් ආකාරයකින් ජනතාව ආමන්ත්‍රණය කරනවා. හරියට සමාන්තර රේඛා දෙකක් වගේ. දෙන්නා වෙන වෙනම කැම්පේන් කරනවා’’ යැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

PM

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 July 2020 19:25