May 04, 2024

කරළියෙන් එහා: මහින්දානන්දගේ දේශපාලන බෝම්බයෙන් පොහොට්ටුව කැළඹෙයි

කොරෝනා අවදානම ටිකෙන් ටික පහව යද්දී මැතිවරණයට දින නියම වීමත් සමඟ මැතිවරණ උණුසුම් එන්න එන්නම ඉහල යමින් පවතී. මහ මැතිවරණය අගෝස්තු මස 05 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම කඩිමුඩියේ සූදානම් වෙමින් සිටී. ඒ සඳහා මැතිවරණ කොමිසම පෙරහුරු ඡන්ද කිහිපයක්ද පැවැත්වූයේ කොරෝනා අවදානමට පෙර සුදානම කොයි දේටත් වඩා හොඳ යැයි සිතාය. ප්‍රධාන දේශපාලන ධාරාවන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන ජාතික සමගි බලවේගය සිය මැතිවරණ ව්‍යාපාරය අරඹමින් සිය කුඩා මැතිවරණ රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද හෙට සිට සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට සුදානම්ය. එහෙත් අනෙකුත් දේශපාලන පක්ෂ තවමත් මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ආරම්භ කර නැත. කොරෝනා ව්‍යාප්තිය සහ සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති තහංචි හේතුවෙන් අපේක්ෂකයෝ තම තමන්ගේ ඡන්ද ව්‍යාපාර ආරම්භ කිරීමට මැලිකමක් දක්වන බවට වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වන හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 ලෝක ක‍්‍රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා යැයි ඊයේ කළ ප්‍රකාශයත් සමඟ පොහොට්ටුව පමණක් නොව දේශපාලනය සහ ක්‍රීඩා කේෂ්ත්‍ර යේද කැලඹීමට ලක්ව තිබේ. එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ මෙම අනාවරණය මේ වනවිට දැඩි මතභේදයකට තුඩු දී තිබේ.

මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම කෙරෙහි පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසම පෙරහුරු ඡන්ද විමසීම් 15 ක් පැවැත්වීමට තීරණය කර තිබිණි. එහෙත් මැතිවරණ කොමිසම අලුතින්ම තීන්දු කර ඇත්තේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පෙරහුරු ඡන්ද විමසීම් සංවිධානය කිරීමටය. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඡන්ද විමසීම පිළිබඳව පුහුණු සැසි සංවිධානය කරන අතර ඊට සමගාමීව පෙරහුරු ඡන්ද විමසීම්ද පැවැත්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි. ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේම රාත්‍රියේ ඡන්දය ගණන් නොකිරීම ගැනද ඇතැම් පාර්ශ්ව දැඩි කතාබහට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉකුත්දා පිළිතුරක් දුන්නේය.

‘‘ඡන්ද විමසීම තියන්නේ මැතිවරණ කොමිසම ඡන්දය අයිති ජනතාවට. මැතිවරණ කොමිසම. ගැන විශ්වාසයක් තිබීම අවශ්‍යයි. විශ්වාසයක් නැතිව මේක කරන්න බැහැ’’ යැයිද දේශප්‍රිය කියන්නේය. ‘‘අපි ඡන්ද පෙට්ටි සීල් කරනවා.

ඡන්දපොළ නිලධාරීන්ගේ අත්සන් ලේඛනයක් ගන්නවා. ඒ අත්සන් ලේඛනයත් ඡන්ද පෙට්ටිවල අලවනවා. පෙට්ටි කාමරයක දමලා සීල් කරලා තබනවා. අපි පොලිස්පතිතුමා සමග සාකච්ඡා කළා. දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ ඡන්ද පෙට්ටි ආරක්ෂා වෙනවා. කාටවත් ඒවායේ සීල් කඩන්න බැහැ.’’ යැයිද මහින්ද දේශප්‍රිය පවසන්නේය.

ඡන්ද රැස්වීම්වලට එන අයගේ නම් PHI ඉල්ලයි

මේ අතර ඡන්ද රැස්වීම්වලට පැමිණෙන පුද්ගලයන්ගේ නාම ලේඛනයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දෙන්නැයි සෞඛ්‍ය අංශ මගින් කර ඇති නියමය පිළිබඳවද ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් බිය සැක පළ කිරීම නිසාය. ‘‘විපක්ෂයේ ඡන්ද රැස්වීම්වලට එන අයගේ නම් ගම් ගත්තම ඒ අය හඳුනා ගැනීමකට ලක්වෙනවා. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන රැස්වීම්වලට එන්නේ කවුද ඒවා සංවිධානය කරන්නේ කවුද කියලා හඳුනා ගැනෙනවා.’’ යැයි ඇතැම් දේශපාලනඥයන් චෝදනා කරන්නේය. එහෙත් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එවැන්නක් කරන්නේ දැඩි ආරක්ෂාවට බවය.

ඡන්ද රැස්වීමකට එන අය කවුද කියන තොරතුරු ළඟ තබාගත්තම ඉතාම පහසුවෙන් හදිසියකදී රෝගීන් හඳුනා ගන්න පුළුවන්. ඡන්ද රැස්වීමකට වයිරසය ආසාදිතයෙක් ආවොත් අනෙක් අයගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්න වෙනවා’’ යැයිද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මෙවර තැපැල් ඡන්දය සඳහා දින 6 ක් වෙන් කර තිබීම විශේෂයකි. වෙනත් මැතිවරණවලදී තැපැල් ඡන්දයට වෙන් කරනුයේ දින තුනක් හෝ හතරක් පමණි. එහෙත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන් දහ පහළොස් දහසක් එකවරම තැපැල් ඡන්ද දායකයන් වීම නිසා ඒ සඳහා දින හයක්ම වෙන් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී තිබේ.

රාජ්‍ය ආයතනවල මාධ්‍ය ඒකකවල තිබෙන සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට මෙවර ඉඩ නොතබන බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වාහන, සම්පත් හා සේවකයන් ඡන්ද ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන බවද මැතිවරණ කොමිසම කියයි. විශේෂයෙන් ආණ්‍ඩුකාරවරුන් මාර්ගයෙන්ද මැතිවරණ කොමිසම සෘජුවමද ඒ සම්බන්ධයෙන් සොයා බලන බවද එම කොමිසම අවධාරණය කරයි.

මැ.කො ජනපති හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීහු ඉකුත් බදාදා ජනාධිපතිවරයා හමුවූහ. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම හමුවේදී ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලු කීපයක් ගැන සාකච්ඡා කර තිබූ අතර ඡන්ද මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම හා සෞඛ්‍ය අංශ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවූ බවද වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම පැවැත්වීමට උචිත වාතාවරණය සකස්කර දීම හා එය තහවුරු කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. ඒ අනුව ඡන්ද විමසීම නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය සහාය ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට ලබාදිය යුතුය. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාමත් ලේකම්වරයාත් සහභාගි වූහ.

සමගි ජනබලවේගය රටපුරා ඡන්ද රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ රටපුරා ඡන්ද රැස්වීම් දහසක් අමතන බවය. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි සංවිධානය කරන එම රැස්වීම් ඇමතීම කථිකයන් සීමිත පිරිසකට සීමා කරන බවද සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග කියයි.

මහින්දානන්දගෙන් දේශපාලන බෝම්බයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කළේ සිරස රූපවාහිනි නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම් පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව ද ඔහු එහිදී අවධාරණය කළේය. තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ඒ සදහා ක‍්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශවයන් මීට සම්බන්ධ වී කටයුතු කල බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ දේශපාලනය සහ ක්‍රීඩාව උඩු යටිකුරු කරමිනි.

ඊට පිළිතුරු දීමට මුලින්ම එලියට බැස්සේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ය. ඒ අතර මහේල ජයවර්ධන ඊට පිළිතුරු දෙමින් මහින්දානන්ද හිටපු ඇමැතිවරයාට අභියෝග කර සිටියේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත්ය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබිණි.

මේ අතර එවකට හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාරද මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාට දැඩි ලෙස පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ 2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ විරෝධී ඒකකයට ලබා දිය යුතු බවයි. එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බවද ඔහු සදහන් කරයි. සංගක්කාර සිය ගිණුම ඔස්සේ මේ බව සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය නිසා දේශාපලනය උණුසුම් වී ගියේය. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතුවලටද මේ හේතුවෙන් දැඩි හානියක් වූ බවට ප්‍රකාශ කරමින් පොහොට්ටුවේ අපේක්ෂකයින්ගෙන් චෝදනා එල්ල කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඊට දැඩි අවදානය යොමු කර මේ පිළිබඳ සොයා බැලීමට ලක් කර තිබෙන අතර දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ගෙන් මහින්දානන්ද අලුත්ගමගේට දැඩිව කතා කර ඇති බවයි.

මෙය ඉන්දු ලංකා මිත්‍රත්වයට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද හානියක් විය හැකි බවට මේවන විට මතයක් පලවෙමින් පවතින අතර මේ හේතුවෙන් මහින්දානන්ද අලුත්ගමගේට හතර වටින් දැඩි විවේචන එල්ල වී තිබේ.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා ද අද සිය ට්විටර් ගිණුමේ අදාළ ප්‍රකාශය පිළිබඳව සටහන් කර තිබුණි. ඔහු පැවසුවේ, සනාථ නොකළ අභූත චෝදනා නගමින් සිටිනවාට වඩා මහින්දානන්ද අමාත්‍යවරයා කළ යුත්තේ තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටි සමයේ කළ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවය.

මෙවන් පසුබිමක මහින්දානන්ද මහතාගේ අනාවරණය පිළිබඳව විමර්ශනයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා වෙත උපදෙස් දී ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එම අවසන් මහා තරඟය ඉන්දියාව කඩුලු 6කින් ජය ගන්නා ලදී.

ජනපතිගෙන් මහ බැංකු ලොක්කන්ට දොස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හා වාණිජ බැංකුවල ඉහළ නිලධාරීන් පිළිබඳව දැඩි විවේචනාත්මකව කතා කළේය. ජනාධිපතිවරයා කීවේ කොරෝනා ව්‍යසනයෙන් අගාධයට පත් ව්‍යාපාර නැංවීමට මහ බැංකුව කිසිදු වැඩපිළිවෙළක් දියත් නොකළ බවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ටත් රජයේ වාණිජ බැංකුවලටත් ඉතා තදින් දොස් නැගූ ජනාධිපතිවරයා තමාට ඉතා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවී සිටියේ නැත.

කෙසේ වෙතත් මහ බැංකුවේ නිලධාරීන්ට කරුණු කියන්නට අවස්ථාවක් නොදීම ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයාගේ හමුවෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‍ඩලයේ හදිසි රැස්වීමක්ද පැවැත්විණි. එහිදී රට තුළට වැඩි වැඩියෙන් මුදල් සංසරණය කරවීම සඳහා වැදගත් තීන්දු තීරණ කීපයක්ම ගෙන තිබිණ. ‘‘ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පසුව මුදල් මණ්‍ඩලය රැස්වුණා. එදා රාත්‍රියේම සාකච්ඡා වට කීපයක්ම තිබුණා. නිලධාරීන් රෑ තිස්සේ සාකච්ඡා කරලා වැඩ පටන් ගත්තා’’ යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙක් පැවසීය. ‘‘සංවර්ධන ණය දෙන්න බැංකු ටිකක් අදිමදි කරනවා. මේ ණය අනවශ්‍ය පුද්ගලයන් අතට යාවිද. රටේ උද්ධමනයට බලපෑම් එල්ලවේවිද. අක්‍රීය ණය ප්‍රමාණය වැඩිවේවිද යන අවධානම් කරුණූ ගැනත් බැංකු නිලධාරීන් සැලකිය යුතුයි’’ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

සජිත්ගෙන් තරුණ ප‍්‍රතිපත්තියට ප්‍රසන්නගෙන් දොස්

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි.

කටුනායක සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ” එදා සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති. පක්ෂයේ නියෝජ්‍ය නායකයා. ඔහු කළේ උස අයට සිකියුරිටි කම්, මිටි අයට කම්කරු රස්සා දෙන්න කටයුතු කරපු එකයි. මුහුදු වෙරළක කොට කලිසමකුත් ගහගෙන සජිත් තරුණ ප්‍රඥප්තිය හදන විධිහ ඔය අන්තර්ජාලයේ තවමත් තියෙනවා. උස අයට සිකියුරිටි රස්සාවයි, මිටි අයට කම්කරු රස්සාවයි දෙන්න කතා කරපු මනුස්සයා මේ රටේ තරුණ ප්‍රඥප්තියක් ගැන කතා කරන එක විහිළුවක් . එයාගේ තාත්තා තමයි 88-89 මේ රටේ තරුණයන්ව මැරුවේ. ඒ තරුණයන්ගේ දෙමාපියන්ට, පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න කතා නොකරන සජිත් මේ කරන්නේ තරුණයන් රැවටීමක්. තරුණ ප්‍රඥප්තියක් හදන්න ඉස්සසෙල්ලා 88-89 තමන්ගේ තාත්තා කරවපු තරුණ ඝාතන ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. සජිත් දන්නවා එතුමාට ජීවිතේට අගමැති කමවත්, ආණ්ඩුවක්වත් ගන්න බැරි බව. එහෙම වුණාම ඕන තරම් බොරු පොරොන්දු දෙන්න පුළුවන්, ආකර්ෂණීය පොරොන්දු දෙන්න පුළුවන්. සජිත් ජනාධිපතිවරණයට කියපු දේවල් මිනිස්සුන්ට අමතක නෑ . මම නම් කියන්නේ නියත පරාජය හමුවී සජිත්ලා මරු කියවන බවයි.

ඇමෙරිකානු තානාපතිනිය මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ඉකුත් සඳුදා මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග වටමේස සාකච්ඡාවක් පැවැත්වූවාය. කොවිඩි වසංගතය හේතුවෙන් රැස්වීමට නොහැකි නිසා තානාපතිනිය කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිට එම වටමේස සාකච්ඡාව පැවැත්වූයේ අන්තර්ජාලය ඔස්සේය. තෝරාගත් මාධ්‍යවේදීහු කිහිප දෙනා තම තමන්ගේ කාර්යාලවල සිට අන්තර්ජාලය ඔස්සේ එම සාකච්ඡාවට එක්වූහ. එහිදී අමෙරිකානු තානාපතිනිය සඳහන් කළේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ආණ්‍ඩුව සමග සාකච්ඡා කරන බවය. බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවද තානාපතිනිය පැවසුවාය.

පොහොට්ටු මන්ත්‍රීනියගෙන් රෝසිට පැමිණිල්ලක්

කොළඹ මහ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියකට ඉකුත්දා අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.  කොරෝනා වසංගතය හේතුවෙන් අසරණ වූ පවුල් වෙත රුපියල් 5000 දීමනාව බෙදා දෙන ස්ථානයකට මන්ත්‍රීවරිය තවත් නාගරික මන්ත්‍රීරයකු සමග ගියාය. එහිදී ඉහළ රාජ්‍ය නිලධාරියෙක් උස් හඬින් මන්ත්‍රීවරියට බැණ වැදුනේය. මන්ත්‍රිනියගේ මුදල් ජනතාවට බෙදන්නේ නැතැයිද මේ සල්ලි රජයේ සල්ලි බවද එම නිලධාරියා කීවේය. මන්ත්‍රීවරිය සිය ඡන්දදායකයන් ඉදිරියේ ලජ්ජාවට පත්වූවාය. ඉකුත්දා කොළඹ මහ නගර සභා රැස්වීමේදී මේ පිළිබඳව පොහොට්ටු මන්ත්‍රිනිය නගරාධිපතිනී රෝසි සේනානායකට පැමිණීලි කළාය. තමාට එම නිලධාරියා පහත් අයුරින් බැණ වැදුණු බවද මන්ත්‍රීවරියගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මහ සභා රැස්වීමේදී රෝසි සේනානායක කියා සිටියේ මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම්දී පරීක්ෂණයක් සිදුකරන බවය.

රංජිත් මාධ්‍යවේදීන්ට රහසක් හෙළි කරයි

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්‍ඩාර ඉකුත්දා ජනමාධ්‍යවේදීන් පිරිසකට රහසක් හෙළි කළේය. ‘‘මම ජාතික ලැයිස්තුවට ආවේ ඇයි කියලා මගෙන් හැමෝම ප්‍රශ්න කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයෙන් මට තරග කරන එක සුළු දෙයක්. මට ඡන්දය දිනන්න පුළුවන්. ඒත් අපේම දිස්ත්‍රික්කයේ ආනන්ද කුමාරසිරිට තැනක් දෙන්න අපට අවශ්‍ය වුණා. ආනන්ද කුමාරසිරි තරග කරනවා. මම ඔහුට සහාය පළ කළා. හරීන්ටත් වුණේ ඒ වගේ දෙයක්. සමගි ජනබලවේගය පක්ෂයේ ජනමාධ්‍ය වැඩ කොටස හරීන් ප්‍රනාන්දුට පැවරුවා. එයාට ලොකු වැඩ කොටසක් තිබෙනවා. ඒ නිසා හරීන්ටත් ජාතික ලැයිස්තුවෙන් තරග කරන්නට සිදුවුණා.’’ යැයි රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

මංගල සමරවීර මන්ත්‍රී සටනින් ඉවත් වීමට හේතුවද අනාවරණය වුණේය. ‘‘මංගලට අවශ්‍ය වුණා නිදහස් අදහස් ප්‍රකාශ කරන්න. හාමුදුරුවන්ගේ ප්‍රශ්න’’ එයා දරන වෙනත් මතවාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස නායක තුමාට කිව්වා. ඒත් සජිත් ඊට ඉඩ නොතබා මගහැර හිටියා. ඒ නිසා මංගල තරමක අමනාපයකින් තමයි හිටියේ. දැන් එතුමා සමාජ මාධ්‍ය ඔස්සේ එක එක අදහස් පළ කරනවා. ඒක එතුමාගේ අයිතියක්. හැබැයි දේශපාලනයේදී ඒ දෙය කරන්න අමාරුයි. සටනින් ඉවත් වෙච්ච එක එතුමාට වගේම සමගි ජන බලවේගය පක්ෂයටත් හොඳයි’ යැයි සජිත් පිලේ දේශපාලනඥයෙක් කීවේය.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 June 2020 00:26