May 04, 2024

පන්දහසක නෝට්ටුවක් සමඟ අගමැති මහින්දට ලිපියක් එවලා

රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පෙරේදා (10) තැපෑලෙන් ලැබී තිබේ.

එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබී ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය ආරක්ෂක නිලධාරීන් විසින් අගමැතිවරයාට ලබා දීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ පදිංචි අසූහය හැවිරිදි එස්.බී. හේවාහැට නම් පුද්ගලයකු විසින් එවා ඇති බවයි.

හිටපු ගම් සභා නියෝජිතකයකු වන එස්.බී. හේවාහැට මහතා සිය ලිපියෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ මෙම රුපියල් පන්දහස කොවිඩ් 19 අරමුදලට බැර කරන ලෙසයි.

ඔහු එම ඉල්ලීම කර ඇත්තේ මෙසේයි.

‘‘දැනට අසූහය වැනි වියේ පසු වන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ දී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් ​​කොරෝනා අරමුදලට මේ මස රුපියල් පන්දහස බැර කර මාද ඒ පිංකමට සහභාගි කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.’’

මෙම ලිපිය කියැවීමෙන් අනතුරුව සිය ලේකම් ගාමිණී සෙනරත් කැඳවූ අගමැතිවරයා එම මුදල ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඉදිරියේ දී යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනයේ දී අදාළ මුදල එස්.බී. හේවාහැටගේ අතින්ම ජනාධිපතිවරයාට පිරිනමා කොවිඩ් 19 අරමුදලට බැර කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)