April 28, 2024

කරළියෙන් එහා: මහින්ද මෛත්‍රීව මඟහරී! සජිත් - රවී රහස් සාකච්ඡාවක  

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ පක්ෂ විපක්ෂ සියලු දෙනා බලා සිටි ආකාරයටම ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි පළමු අවස්ථාවේදීම එය විසුරුවා හැරීමයි. පසුගිය සතිය ආරම්භයේදීම එජාපයේ දෙදරාම සිදුවී ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගයේ කලඑලි බැසීමත් සමඟය. ඒ අනුව පසුගිය මාර්තු 02දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. ඒ සඳහා ජනාධිපතිවරයාට සුබ නැකැත් තුනක් ලැබී තිබුණි. මාර්තු 02, මාර්තු 03 හා මාර්තු 06 යන දින තුනේ එම නැකැත් යෙදී තිබුණත් ඡන්දය තැබීම පහසු වන ආකාරයට 02දා මැතිසබය විසුරුවන්නට තීන්දු කෙරිණි. ඊට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් කරනු ලැබුවේ 02දා දහවල් 12.06 ටය.

ඉන් පසුව එදින රාත්‍රියේ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයාධිපතිනිය වෙත යොමු කෙරිණි. අප්‍රේල් මස 25දා මහමැතිවරණය පවත්වන්නටත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු පත් කෙරෙන 9 වැනි පාර්ලිමේන්තුව 2020 මැයි 14දා රැස් කරන්නටත් එමගින් දින නියම කර තිබිණි.

මැතිසබය විසුරුවා හැරීමට කටයුතු සූදානම් වන විටත් ප්‍රධාන පක්ෂ ගණනාවක් ඡන්ද සටනට සියල්ල සූදානමින් සිටියේය. ඇතැම් මැති ඇමැතිවරු මෙන්ම අලුත් මුහුණු රැසක්ද තම දේශපාලන ප්‍රචාරක වැඩ ආරම්භ කර තිබුණේ මීට මාසයකට පෙර සිටමය. පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා අවශ්‍ය මූලික සංවිධාන කටයුතු අවසන් කරමින් සිටියේය. පක්ෂ නියෝජිතයන් පුහුණු කිරීම පවා පසුගිය සති කිහිපය තුළ නෙළුම් මාවත කාර්යාලයේ දී සිදුකළ බව වාර්තා විය.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය දක්වාම මුහුණ දී සිටියේ විශාල බල අරගලයකටය. පක්ෂයේ නායක රනිල් හිතවාදීන් හා නියෝජ්‍ය නායක සජිත් හිතවාදීන් අතර මෙම අර්බුදකාරී තත්ත්වය පැවතුණේ මහ මැතිවරණයට මුහුණදෙන අලුත් සන්ධානය සම්බන්ධයෙනි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛව රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරින් ප්‍රනාන්දු, අශෝක අබේසිංහ, අජිත් පී. පෙරේරා ආදී මැති ඇමැතින් සෑහෙන පිරිසක් පසුගිය කාලය පුරාම නව සන්ධානය වෙනුවෙන් දැඩි වෙහෙයක් ගෙන තිබිණි.  එහෙත් පක්ෂය තරග කරන ලකුණ, නාමයෝජනා ආදිය ගැන දෙපක්ෂය තුළම කඹ ඇදීම් සිදුවිය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්, පක්ෂ නායක රැස්වීම් ගණනක් තබා අවසානයේ බැරිම තැන ගියා. ඉදිරි රාත්‍රී 7.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට සිරිකොත මැඳුරට කෘත්‍යාධිකාරිය කැඳවනු ලැබීය. ඒ සඳහා රනිල් - සජිත් දෙදෙනා මෙන්ම සෙසු සාමාජිකයෝ 60 ක් පමණ රැස්ව සිටියහ.

එජාපය ආණ්ඩුව සමඟ ඩීල්

රනිල් හිතවාදීන් බහුතරයකගෙන් සමන්විත කෘත්‍යාධිකාරියේ දී මහමැතිවරණය තරග කරන පක්ෂය හා ලාංඡන ගැටලුව විසඳා ගන්නට නම් අලියා ලකුණින් තරග කළ යුතු බව මුලින්ම යෝජනා කළේ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාය. එය රනිල් ද අනුමත කළ අතර විවාදය හටගත්තේ ඒ මොහොතේ සිටය. ප්‍රබල සජිත් හිතවාදීන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ ආදීන් රනිල්ට කීවේ අලියා ලකුණින් තරග කරන්නේ නම් එම ලාංඡනය නව සන්ධානයට ලබා දිය යුතුය කියාය. නමුත් පක්ෂ නායක රනිල් එය තරයේම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ මතය වූයේ එ.ජා.ප. ලාංඡනය වන අලියා ලකුණින් සහ එ.ජා.පයෙන් නාමයෝජනා සකස් කරමින් සමගි ජන බලවේගයෙන් තරග කළ හැකි බවය. සන්ධානයක් සැකසීමේ දී එහි හවුල්කාර පක්ෂයක ලාංඡනයක් ඡන්දයට භාවිත කිරීමට ලැබෙන ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් මෙම කාර්යය කළ හැකි යැයි රනිල්ගේ මතය විය. එහෙත් සජිත් පිල මෙම යෝජනාව පිළිනොගෙන පක්ෂයේ සමහරුන් ආණ්ඩුව සමඟ ඩීල් දමාගෙන ඇතැයි කියමින් ආවේගශීලීව අදහස් දක්වන්නට වූහ. ප්‍රබල රනිල් හිතවාදියකු වන වෘත්තීය සංගම් නායක සුනිල් ද සිල්වා නැමැත්තා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයාට “තමුසේ කට වහගන්නවා..” ආදී වචනවලින් සංග්‍රහ කරද්දී සජිත් පිලේ ප්‍රබලයන් සුනිල් සිල්වාට බැණ වැදුණේ මන්ත්‍රීවරුන් හෑල්ලු නොකරන්න යැයි කියමිනි.

කෘත්‍යාධිකාරියේ ප්‍රබලයකු වන මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙම අර්බුදයේ දී සිටිනුයේ මැද තැනකය. ඔහු රනිල් සමඟ මාතර ගොස් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ‘එඩිතර මාතරකම’ යනුවෙන් මාතර දී ආරම්භ කොට ඉන් දින දෙකකට පසු කොළඹ කෘත්‍යාධිකාරී රැස්වීමට පැමිණ පක්ෂ සමගිය ගැන අදහස් දැක්වීය. රාජපක්ෂ ආණ්ඩුවෙන් විවිධාකාර වරදාන ලබාගත් අය, ඩීල් දැමූ අය පක්ෂ සමගිය විනාශ කරන්නේ යැයි මංගල චෝදනා නැගීය.

මාස ගණනක් තිස්සේ සුළු සුළු හේතුන් ඉදිරිපත් කරමින් සන්ධානය ගොඩනැගීම කල් දැමූ බවට මංගල ව්‍යංගයෙන් රනිල් පිලට චෝදනා කළේය. “පාර්ලිමේන්තුව විසුරුවන්නට පැය කිහිපයක් තිබියදීත් අපි මෙතන සන්ධානය ගැන රණ්ඩු වෙනවා..” මංගල කනගාටුවෙන් කීය. මංගල සමරවීරගේ කතාවට උත්තර දෙන්නට නැගී සිටිමින් වජිර අබේවර්ධන කතා කරන්නට තැත් කළ විට “ඔයත් ඔය කුමන්ත්‍රණයේ කෙනෙක් තමයි” කියා මංගල සැර පිළිතුරක් දුනි. මංගල අවවාදාත්මක ලෙස කළ කතාවෙන් පසුව ද කෘත්‍යාධිකාරියේ ලකුණ ගැන ගැටුම උත්සන්න වෙද්දී ඔහු “මෙහෙම ගියොත් එජාපයටත් ශ්‍රීලනිපයට අත්වූ ඉරණම අත්වේ” යැයි කියා වහා සමගි වන්නයි නැවත කියමින් කේන්තියෙන් කෘත්‍යාධිකාරියෙන් නැගිට ගියේය.

හංසයා දෙන්න රවීගෙන් කොන්දේසි

පක්ෂ ලාංඡනය ගැන නොවිසඳුණු විවාදයේ දී හංසයා ලකුණ හිමි රවි කරුණානායක මන්ත්‍රීවරයා නැගී සිටිමින් තම පක්ෂයේ ලාංඡනය සමගි ජාතික බලවේගයට ලබා දෙන්නට නම් තමන් ඉදිරිපත් කරන කොන්දේසියට එකඟවන ලෙස දැන්වීය. ඒ අනුව රවි ඉල්ලා සිටියේ සන්ධාන මහලේකම් ධුරය හංසයා පක්ෂයේ ලේකම් ශමිලා පෙරේරාට හෝ තමන්ට ලබාදෙන හැටියටය. එහෙත් සජිත් පිල ඊට දැඩි ලෙස එරෙහි විය. “අපි සන්ධානයක් හදල ලේකම්කම කාටවත් පූජා කරන්න බැහැ..” දෙතුන් දෙනෙක්ම එක හඬින් කීහ. එවිට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රවි මෙම හමුවේදී කොන්දේසි ඉදිරිපත් කරන්නට යන වග තමන්ට දැනී තිබුණු බවය. කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මෙන්ම රන්ජිත් මද්දුමබණ්ඩාර ද මෙහිදී සැර කතා දෙකක් කර තිබිණි. රන්ජිත් කීවේ රනිල් වික්‍රමසිංහ නායකතුමා පක්ෂ නායකයා වුවත් ගම ඉල්ලා සිටින්නේ ඔහු නොව සජිත් බවය. ඒ නිසා දැන්වත් පක්ෂයේ සහාය සන්ධානයට දෙන්නැයි රන්ජිත් කීය. සජිත් කීවේ තමන් සන්ධානයක් හැදූ පසු එහි නායකත්වය, නාමයෝජනා මණ්ඩල සභාපතිත්වය හා ලේකම් පත් කිරීමේ බලය තමන්ට ලබා දී ඒ තීරණ නැවතත් කෘත්‍යාධිකාරියේ බලයට යටත් කිරීම පිළිගත නොහැකි බවය. ඒ නිසා පක්ෂ නායකතුමා අගමැති අපේක්ෂකත්වය ගන්නේ නම් තමන් ඒ ගැන අසතුටක් නැතැයි ද කීය. තමන් මෙලෙස කරන බාධාවන් තවදුරටත් ඉවසන්නේ නැතැයි ද සජිත් ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ආවේගශීලී අදහස් උදහස්වලින් පිරුණු කෘත්‍යාධිකාරියේ රැස්වීම පැය තුනකින් පමණ හමාර විය. එයින් පසුව මාධ්‍ය යුද්ධය ඇරැඹිණි. රනිල් මාධ්‍ය හමුවක් තබා කීවේ පක්ෂ කෘත්‍යාධිකාරියේ අට දෙනෙක් හැරෙන්නට අන් සියලු දෙනා අලියා ලකුණින් තරග කරන්නට පූර්ණ අනුමැතිය දුන් වගය. එය ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ එකඟතාවකින් තොරව රුස්වීම හමාර වූ අතර ඊට පසුදින යොදාගත් පරිදි තමන්ගේ නව සන්ධානය ස්ථාපිත කරන බවය. ඒ අනුව ගිය සඳුදා උදෑසන සුබ මොහොතින් සෑහෙන ජන සහභාගීත්වයක් ඇතිව සජිත් සහ ඔහුගේ හිතවාදීන් නව සන්ධානය ස්ථාපිත කිරීම නෙළුම් පොකුණ රඟහලේ දී සිදුකෙරිණි. සන්ධාන ව්‍යවස්ථාව සම්බන්ධ එකඟත්වයක් නැති බව කියමින් එ.ජා.ප. නායක රනිල්, පක්ෂ මහලේකම් අකිල ඇතුළු කිසිවෙක් මෙම රැස්වීමට පැමිණියේ නැත. එහෙත් ඊට පසුදා අකිල විරාජ්ලා නිවේදනය කළේ එ.ජා.පයේ අවසරය නැතිව වෙනත් සන්ධානයක රැස්වීමකට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 200කට පමණ විනය පියවර ගන්නා වගය. එසේම එ.ජා.පයේ තරුණ, කාන්තා, වතු ඇතුළු වෘත්තීය සංගම්වල නායකත්වය දැරූ හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරාළ, චන්ද්‍රිකා බණ්ඩාර, වඩිවේල් සුරේෂ් ආදීන්ගේ තනතුරු වෙනස් කර වෙනත් අය එම තනතුරුවලට පත් කරන වග ද ප්‍රකාශ කළේය.

රනිල් පිල සජිත් එක්ක රහස් ගනුදෙනු

පාර්ලිමේන්තුව විසුරුවා නාම යෝජනා කැදවීමට දින නියම වී තිබුණ ද එ.ජා.ප අර්බුදයට විසදුමක් ලැබී නැත. එහෙත් විපක්ෂ නායක සජිත් පසුගිය සදුදා නෙළුම් පොකුණේ දි සිය සන්ධානය උත්කර්ෂවත් ලෙස ජනගත කළේය. ඉන් අනතුරුවද දෙපාර්ෂවය අතර සමගිය තහවරු කිරිමේ සාකච්ඡා වට ගණනාවක්ම දියත් විය. සජිත්ගේ උත්සවයට පෙරවරුවේ ගිය ඇතැම් මන්ත්‍රීවරු සවස එ.ජා.ප නායකයා හමුවීමට පැමිණියහ. ජේ.සි අලවතුවල, ගයන්ත කරුණාතිලක, සුජිත් පෙරේරා, මුජුබර් රහුමාන් ඇතුළු පිරිස් ඒ අතර වූ බවද වාර්තා වේ. තවත් අය නායකයාට දුරකතන ඇමතුම් ලබාදුන් බවද වාර්තා වේ. එසේම රනිල් පිළේ ඇතැමුන් ප්‍රතිපාර්ශවය සමගද රහසේ ගණුදෙනු කරන බවටද ආරංචි තිබේ. දෙපිරිස එකතු කොට නාම යෝජනා ලබාදීම රනිල් පාර්ශවයේ මූලික ඉලක්කය බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. බදාදා සවස කැදවා තිබු කෘත්‍යාධිකාරිය ඉතා තීරණාත්මක විය. “එ.ජා.ප මහලේකම්කමේ මම සිටිම අර්බුද විසදන්න බාධාවක් නම් මම බිලි වෙන්න කැමතියි” රැස්විම ආරම්භයට පෙරම අකිල විරාජ් රටට ප්‍රකාශ කළේය. එහෙත් එම තීරණාත්මක රැස්වීම සජිත් පිල වර්ජනය කළේය. සිදුවන දේ වාර්තා කිරිමට දෝ මලික් සමරවික්‍රම පමණක් ඊට එක්ව සිටියේය. සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත කිරිම හා ඡන්ද ලකුණේ තීන්දුව ගැනීම මෙන්ම නව එ.ජා.ප මහා ලේකම්වරයෙකු පත් කර ගැනීම අරමුණ වුවද ඇති වූ වර්ජනය හේතුවෙන් එම රැස්වීම ද ප්‍රතිඵලයකින් තොර විය. එහෙත් එ.ජා.ප නාම යෝජනා මණ්ඩලයක් පක්ෂයේ නායකයා හා විපක්ෂ නායක ඇතුළු ප්‍රබලයන්ගෙන් සමන්විතව පත් කරනු ලැබිනි. “අපේ ජාතික පෙරමුණේ ටෙලිෆෝනයෙන් තරඟ කරනවා නම් සියළු දෙනා ඒ පක්ෂයේ සාමාජිකයන් වෙන්න ඕනේ. කාටවත් පක්ෂ දෙකක සාමාජිකත්වය දරන්න බැහැ. මැතිවරණ කොමිසම කියලා තිබුණා ඒ පක්ෂයේ වගන්තිය සංශෝධනය කරන්න කියලා” මලික් කීවේ එවැන්නකි. එහෙත්  රනිල් පාර්ශවයෙන් ප්‍රකාශ වූවේ කොමිසමේ ස්ථාවරය අනුව එම පක්ෂයේ වගන්ති සංශෝධනය කළ නොහැකි බවය. නමුත් මීට පෙර රංජිත් මද්දුම බණ්ඩාර කියා තිබුණේද අවශ්‍ය  නම් වගන්ති වෙනස් කළ හැකි බවය. “කොමිසමේ ස්ථාවරය ගැන අපි අතර මත දෙකක් තියෙනවා. නාම යෝජනා දෙනකොට මේවා පුපුරලා ගිහින් කැන්සල් වෙන්නත් බැරි නැහැ.” එ.ජා.ප නායකයා කී විට එහි සිටි ජනාධිපති නීතිඥවරුද එම මතය තහවුරු කළහ. එසේම සන්ධානය හා එ.ජා.ප ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ තීන්දුවට ද කෘත්‍යාධිකාරි එළැබින. එදින රැස්වීමේදි කරුණු 6 ට අදාළ එකඟතා ඇති විය. දෙපාර්ශවය අතර එකඟතාවයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම එහි වඩාත්ම අත්‍යාවශ්‍ය තීන්දුව ලෙස ප්‍රකාශ විය.

එජාප අවුල ලිහන්න කරූ ආරාධනා

අකිල මහාලේකම් ධූරයෙන් ඉවත්වූවේ නම් දෙපාර්ශවයටම පිළිගත හැකි ලක්ෂ්මන් කිරිඇල්ල වැන්නෙකු පත්වීමට ඉඩ තිබු බවටද ආරංචි පැතිර ගියේය. තවද පාර්ශව දෙකේම පිරිස් කරු ජයසූරිය හමුවී ප්‍රශ්නය සමතයකට පත් කිරිමට මැදිහත් වන ලෙස ආරාධනා කළේය. “මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි” කරු ගේ ස්ථාවරය එය විය. කෘත්‍යාධිකාරිය නිම කළ එ.ජා.ප නායකයා ගියේ රවි කරුණානායකගේ ගෙදරටය. රවි ඇතුළු පිරිසකට රට යාම තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබදව ආරංචිය සැලවීම ඊට හේතුව විය. නීතිඥයන් කණ්ඩායමක් ද රවි සමග විය. “අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආවාරණයක් ලබාගන්න අපි උත්සාහන කරනවා.” රවි මෙන්ම නීතිඥයින්ද කීවේ එවැන්නකි. “බැදුම්කර සිද්ධියට ගණනය කිරිම් රාශියක් තියෙනවා. හරි මොකක්ද කියලා කව්රුවත් දන්නේ නැහැ. ඒ නිසා බැදුම්කර ප්‍රශ්නය උසාවියට ගෙනියන්න අමාරුයි. නමුත් රවි ගේ පිට පැටලැවිලා තියෙන්නේ බැදුම්කරයට අදාළ නැති වෙන දෙයක්. ඇත්තටම බැදුම්කරවලට සම්බන්ධ ගිය ආණ්ඩුවල හා අපේ ආණ්ඩුවල අය නිදැල්ලේ සිටිද්දි වෙන කොනක් අල්ලගෙන රවීව පීඩනයට ලක්කිරීම මහ ඡන්දය ලග ජනතාව නොමග යවන ක්‍රියාවලියක්.” මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ස්ථාවරය එය විය. බදාදා රාත්‍රියේ එ.ජා.ප නායකයා ඩුබායි බලා පිටත්ව ගියේ ගෝලිය අර්බුද නිම වීමේ සමුළුව සදහා කලින් ලැබුණු ආරාධනාවකට ය. සමාරම්භක උත්සවයේ දේශනය ද එ.ජා.ප නායකයා සතුවිය. එහෙත් එම රාජකාරිය නිමවා පැය කිහිපයකින් යළිත් සිය රට පැමිණිමට අවශ්‍ය ගුවන් යානා ඔහු සුදානම් කර ගත්තේය. “රැකියා ලක්ෂයක් දෙනවා කියලා ඉල්ලුම්පත් බෙදුවා. උපාධිධාරීන් 45,000 ට පත්විම් ලිපි යැව්වා. මැකෝ ඒවා තහනම් කළා. මේවා ඔක්කොම මිනිස්සු රවටන ඡන්ද මගඩි. අද අපේ මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල් මිල රුපියල් 50 ට වඩා අඩුවෙන්න ඕනෑ.” චම්පිකා ප්‍රේමදාසගේ මතය සිරිකොතේ සිටි සියළු එ.ජා.ප ප්‍රබලයන් අනුමත කළහ.

 මෛත්‍රීට පොහොට්ටුවෙන් දැඩි විරෝධයක්

පසුගියදා පොහොට්ටුව සමඟ සන්ධානගතවූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පොහොට්ටුවේ සමහර ප්‍රධානීහු දැඩි විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කරති. ගම්පහ ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ. ෂෙහාන් සේමසිංහ, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ ආදීහු මෙහිදී කැපී පෙනෙති. මේ අය හිටපු ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් කරන ආවේගශීලී ප්‍රකාශ මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවට ගියේ එහි මන්ත්‍රී රොෂාන් රණසිංහගේ උත්සවයකට සහභාගි වන්නටය. එය පොළොන්නරුවේ අනාගත පස් අවුරුදු සැලසුම ජනගත කිරීමේ උළෙල විය. මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකයා නිසා මෙම රැස්වීමට රොෂාන් රණසිංහ පළාතේ සෙසු ශ්‍රීලනිප පොහොට්ටුව සාමාජිකයන්ට ඇරියුම් කළත් පොහොට්ටු සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට ඇරියුම් කළේ නැත. ඒ ගැන මෛත්‍රී සිටියේ කනස්සල්ලෙනි. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට පණිවුඩයක් එවමින් කියා තිබුණේ රොෂාන්ගේ රැස්වීම හමාරකොට තමන්ගේ ශ්‍රීලනිප කාර්යාලයට ද ගොඩවැදී යන ලෙසය. තමන් ඔහු බලාපොරොත්තු වන බව මෛත්‍රී මහින්දට එවූ පණිවුඩයේ සඳහන් විය. පොළොන්නරුවේ තිබෙන පොහොට්ටු - ශ්‍රීලනිප නයි - මුගටි වෛරය නිසි ලෙස සමනය නොකර මෛත්‍රීගේ කාර්යාලයට යෑම අසීරැ නිසාත් මහින්දගේ උත්සවය හමාර වන විට ඔහුට හදිසි කටයුත්තක් නිසා කොළඹට පැමිණීමට සිදුව තිබූ නිසාත් අගමැතිවරයා මෛත්‍රී මුණනොගැසී කොළඹ පැමිණියේය. ඒ ගැන මෛත්‍රී දැඩි කනස්සල්ලට පත්වූ බව වාර්තාවල කියැවිණි.

ඔහුගේ සුප්‍රකට ‘උකුසු කතාව’ කීවේ එදින සවසය. තමන්ට ඇතැමුන් වේදිකාවලදී පහරදෙන නමුත් තමන් නිසි වෙලාව බලා ‘උකුසු ප්‍රහාරයක්’ එල්ල කරන බව මෛත්‍රී මෙහිදී කීවේ රොෂාන් රණසිංහට ද මහින්දට ද වෙනත් කාටවත්දැයි පැහැදිලි නැත. එහෙත් මෛත්‍රීගේ කතාවෙන් පසු පොහොට්ටුවේ රැඩිකල් ප්‍රහාරකයන්ට කදිම මාතෘකාවක් ලැබුණි. විමල් වීරවංශ ඇතුළු බොහෝ දෙනෙක් මෛත්‍රීගේ උකුසු ප්‍රහාරය ගැන දැඩි ලෙස විවේචන එල්ල කරන්නට වූහ. මෙම කතාවෙන් පසු මෛත්‍රී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද දුරකතනයෙන් සංවාදයක යෙදුණි. ඒ සංවාදය ඉතා සුහදශීලී එකක් විය. එහෙත් එහිදී පොළොන්නරුවේ දේශපාලන ප්‍රශ්න ගැන ඔහු අදහස් දැක්වූයේ නැත. නමුත් ඇතැම් මෛත්‍රී හිතවාදීන් ඔහුට යෝජනා කළේ සජිත්ලාගේ සන්ධානය මෙයට වඩා නරක ද කියාය. එසේ වුවද හොඳ දේශපාලන ඉවක් තිබෙන මෛත්‍රී එම යෝජනා පසෙක දැමීය.

එසේ වුවද ශ්‍රී.ල.නි.පය සහ පොහොට්ටුවේ සාමාජිකයන් සුහදව මනාප ටික බෙදා හදාගෙන තරග කරන්නට යන දිස්ත්‍රික්කවල පොහොට්ටු මතධාරීන් කෝපයට පත් කළ මෛත්‍රීගේ කතාව නිසා ප්‍රාදේශීය දේශපාලනය ද සසල වී තිබේ. ශ්‍රී.ල.නි.පයෙන් ඡන්දය ඉල්ලන මහින්ද අමරවීර, නිමල් සිරිපාල, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, දයාසිරි ජයසේකර, රන්ජිත් සියඹලාපිටිය ආදීන්ට මධ්‍යස්ථ පොහොට්ටු මතධාරීන්ගෙන් ලැබෙන්නට තිබූ මනාප ටික මේ කතාවෙන් අහිමි වූ බවට මතයක් පැතිර ගියේය. මේ ගැන යට කී හිටපු මන්ත්‍රීන් ද තැන් තැන්වල අදහස් පළ කර තිබිණි. එයින් පෙනී ගියේ මෛත්‍රීගේ උකුසු ප්‍රහාරයට ව්‍යංගයෙන් ලක්වූයේ මනාප සටනේ සිටින ශ්‍රී.ල.නි.පයේ පසුපෙළ මන්ත්‍රීන් බවය.

කරූ නිල නිවස හැර යයි

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ වැඩි බලය සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා මහන්සි වන බව ප්‍රකාශ කර තිබේ. මේ බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ද එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ද මැතිසබය විසුරැවා හරින්නටත් පෙර සිටම කියා තිබිණි. එ.ජා.පයේ පවත්නා අර්බුද නිසා ගෝඨාභයලාට මහත් වාසියක් සැලසී ඇතැයි සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය හමුවේදී අනුර දිසානායක කියූ බව වාර්තා විය. එබැවින් ආණ්ඩුවට 2/3 ක බලයක් ලැබුණොත් අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නට ඉඩ ඇතැයි ද කියා තිබුණි. ඒ අතර ජ.වි.පෙ. මන්ත්‍රී බිමල් රත්නායක ඇතුළු කිහිප දෙනෙක් සඳහන් කර තිබුණේ සමහර වැදගත් රාජ්‍ය ආයතනවලට මෙන්ම රථවාහන හැසිරවීමටත් හමුදාවේ නිලධාරීන් පත් කිරීම සාධාරණ නොවන බවය. එය රට මිලිටරීකරණයකට යොමු කිරීමක්දැයි විමසිල්ලෙන් පසුවන බවත් ඔහු කීය.

මැතිසබය විසුරුවා හැරීමත් සමඟ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පමණි. සෙසු දේශපාලන තනතුරු අහෝසි විය. කතානායක කරු ජයසූරිය මහතා මැතිසබය විසුරුවීමේ ගැසට්ටුව තමන් වෙත ලැබුණු වහාම කතානායක නිල නිවෙසින් තමන්ගේ පෞද්ගලික නිවෙසට පදිංචියට යාමට අවශ්‍ය කටයුතු යෙදීය. කොළඹ අමරසේකර මාවතේ කරුගේ පෞද්ගලික නිවෙස අලුත්වැඩියා කරවා තිබුණේ ද ඒ සඳහාය. ඒ සමඟ ඔහු මෙතෙක් භාවිත කළ නිල රථය හා පරිවාර රථ 4 වහාම පාර්ලිමේන්තු ලේකම් වෙත බාරදුනි. ඒ නිසා තමන්ගේ පරිහරණයට වාහන නොමැති බැවින් ඔහු පෞද්ගලික ආයතනයකින් වාහන 4 ක් මාසික කුලී පදනම මත ලබාගත්තේය. කරු ජයසූරිය මහතා කතානායක පදවියෙන් ඉවත් වූ පසු රවි කරුණානායක සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් පැමිණ ඔහුට පක්ෂ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය බාරගන්නැයි කීවද කරු ඔවුන්ට කියා තිබුණේ පක්ෂය සමගි වන්නේ නැතිනම් තමන් කිසිවක් බාර නොගන්නා බවය. බෙදුණු පක්ෂයකට නායකත්වය දීමට බැරි බවද ඔහු කීය.

සජිත් රවීගේ ගෙදර රහස් සාකච්ඡාවක

රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිට දන්වා තිබිණි. ඒ අනුව පොලීසිය ක්‍රියාත්මක වෙද්දී පසුගිය අඟහරැවාදා රාත්‍රියේ රවිගේ ගෙදරට එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් සහ පක්ෂ හිතවත්හු පැමිණියහ. මේ අය අතර විශේෂම චරිතය වූයේ එදින රාත්‍රී 11.00ට පමණ රවිගේ නිවෙසට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාය. සජිත් රවිගේ දේශපාලන පසමිතුරෙකි. එහෙත් සජිත් පැමිණ රවි සමඟ නිවෙසේ ඇතුළු කුටියකට වැදී පැයක් පමණ කතා කොට මෙම ප්‍රශ්නයේ දී සහයෝගය පළ කළේය.

මෛත්‍රි - රොෂාන් ගැන මහින්ද කතා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි. ජනාධිපතිවරයා සමඟ ඒ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ද එක් විය. රටේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් ගැන ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. මේ රජයේ පළමු දින 100 ගැන තමන් අවංකවම සෑහීමට පත් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී කීය. ස්වාධීන කොමිෂන් සභා ද දේශපාලනය සමඟ මුසුව ඇතැයි කී ජනාධිපතිවරයා ඡන්ද කොමිසමේ සාමාජිකයෙක් මැතිවරණ කාලයේ මාධ්‍ය ඉදිරියේ දේශපාලනය කතා කළ බවද පැවසීය. උපාධිධාරීන්ට රැකියා දීම තමන්ගේ ඡන්ද පොරොන්දුවක් යැයි පැවසූ ජනාධිපතිවරයා එය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇති බව පවසමින් ඒ ගැන සාකච්ඡා කරන්නේ යැයි සඳහන් කළේය. තම රජය ලබාදුන් ආර්ථික සහන ගැන ද ඔහු කරුණු දැක්වීය. ඇතැම් අය ජනතාවට මෙමගින් සහන නොලැබුණු බවට චෝදනා නැගුවත් මේ රටේ බොහෝ දෙනා ඉන් සහන ලත් වග පැවසීය. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර බේරාගත්තේ ද තම බදු ප්‍රතිපත්තිය විසින් යැයි ඔහු කීය. ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තමන්ට විධායක ජනාධිපති ධූරයේ රාජකාරි නිසි ලෙස කරගත නොහැකි බැවින් එය වෙනස් කරන්නට ඉදිරි මහ ඡන්දයේ දී ජනවරමක් අපේක්ෂා කරනවා යැයි ද හෙතෙම අවධාරණය කළේය.

පිවිතුරු හෙළ උරැමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 2015 ජනවාරි 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (06) පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘවරුන්, විශේෂාංග කර්තෘවරුන්, ඡායාරූප කර්තෘවරුන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රොෂාන් රණසිංහ මහතා අතර ඇත්තේ මනාප සටනක් බවය. මනාප මැතිවරණ ක්‍රමය යටතේ තාත්තා පුතාවත් පුතා තාත්තාවත් කපාගෙන යන ක්‍රමයක් බිහිවෙන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කීය. කෙසේ වෙතත් මේ ගැටුම සම්බන්ධයෙන් මනාප ලබාදුන් පසුව දෙදෙනා කැඳවා දැනුවත් කරන බව හෙතෙම සඳහන් කළේය.

එසේම අග්‍රාමාත්‍යවරයා උපාධිධාරීන්ට රැකියා ලබාදී ඇතත් පුහුණුව ලබාදීමට මැතිවරණ කොමිසම විරුද්ධ වීම සම්බන්ධයෙන් තමා පුදුම වන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කොට ඊට විසඳුමක් ලබාගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 07 March 2020 21:16