May 06, 2024

කරූ නායකත්වයට ගේනවාට මලික්ගෙන් විරෝධය - හංසයාට තනතුරු පොරයක්

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පත් කිරීමට සමඟී ජන බලවේගය එකඟ වූවද, ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම විරෝධය පළකර තිබේ.

ඒ අනුව මලික් සමරවික්‍රම හිටපු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ  නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම යෝග්‍ය බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දෙපාර්ශ්වය අතර අස්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද එකඟත්වය පළ කර ඇති බවත්, මෙම යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා පක්ෂ නායකවරයාට ඉදිරිපත් කර තිබේ.

සමඟි ජන බලවේගයට හංසයා ලකුණ ලබාදෙන්නේ නම් තමන්ට එම සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුර ලැබිය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක ද ඉල්ලීමක් කර ඇති අතර හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය ද තමන්ට සමඟී ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරය ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාවේ තනතුරු පිළිබඳ අර්බුදයක් මතු නොකොට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර ප්‍රකාශ කර ඇති බවත්, කෙසේවෙතත් සමඟි ජන බලවේගය දුරකතනය ලකුණ යටතේ තරග කරන බව ප‍්‍රකාශ කර තිබුණ ද යෝජිත මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළහොත් ඡන්ද ලකුණ ලෙස හංසයා ලකුණ යොදා ගැනෙණු ඇතැයි වාර්තා වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුව ද මහලේකම් ධූරයේ වෙනසක් නොව මෙම අවස්ථාවේ අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් බව සමඟි බලවේගයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජනබලවේගය එක් කිරීමට මැදිහත්කරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පත් කිරීමට ද ඉකුත් දා තීරණය කර ඇති අතර එයද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සිදුකර ඇති බව එම ප්‍රකාශකයා කියා සිටියේය.

මහ මැතිවරණය පැවැත්වන දිනය ප‍්‍රකාශයට පත් කළද, සමඟි ජන බලවේගයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙතක් අවසන් වී නැත.

Rate this item
(0 votes)