May 11, 2024

සිරිමාවෝ 'චන්ද්‍රිකා' එක්ක හිටියේ අමනාපයෙන්

බන්ධුල අබේසේකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු ආහාර කළමනාකාරවයෙකි. 1970 වර්ෂයේදී සාමාන්‍ය සේවකයකු ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර සේවයට පැමිණි අබේසේකර මහතා එතෙක්‌ මෙතෙක්‌ කාලය පුරාවට රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් දහසකට වැඩි සංඛ්‍යාවකට රස අහරෙන් බඩ කට පිර වූ රසවතෙකි. දැන් ඔහු පාර්ලිමේන්තු භෝජනාගාර සේවයට සමු දී ජනාධිපති බෞද්ධ කටයුතු සම්බන්ධීකාර නිලධාරියකු ලෙස සේවය කරන්නේය. ඔහුගේ වසර හතළිස්‌ දෙකක භෝජනාගාර වෘත්තීය මතක හරිම රසවත්ය. මේ, අබේසේකර මහතා  දිවයින පුවත්පත සමග කරන ලද සාකච්චාවකි.
 
'අබේසේකර මැතිනියගේ සල්ලි හොරකම් කරලා...' ඔන්න දැන් ගින්න පාර්ලිමේන්තුව පුරා ඇවිළිලා යනවා. ඕක දැන ගත්ත මාවත් ගිනි පත්තු වුණා. මම කෙලින්ම රොස්‌මිඩ්වලට වාෂ්ප වෙලා අනුර මහත්තයව මුණගැහිල 'සර්... මගේ වැඩ නවත්වන්න යන්නේ. මාව බේරගන්න සර්' කියලා සිද්ධිය අනුර මහත්තයට පැහැදිලි කරලා දුන්නා.
 
'අබේසේකර ඕකට බය වෙන්න එපා. ඔහොම ඉන්නකො...' කියලා උඩ තට්‌ටුවේ කොරිඩෝවේ ඉඳගෙනම පහළ මහලේ හිටපු මැතිනියට කතා කරලා 'අම්මි මේ මොකක්‌ද කරන්න යන්නේ. අම්මි ලියපු රුපියල් 50 සීය කළේ මමයි. ඒකට සෑම් වැඩ තහනම් කරන්නයි යන්නේ අබේසේකරගේ....'
 
'ඔය ළමයට මෙහෙට එන්න කියන්නකො...' කියලා මැතිනිය බංගලාව ඇතුළට ගිහින් මම පහළට බහිනකොටම මැතිනිය  ජූස්‌ එකකුත් අරගෙන ඇවිත් මගෙ අතට දීලා 'මොකක්‌ද ළමයෝ වෙලා තියෙන්නෙ...' බොහෝම සැහැල්ලුවෙන් අහනවා. වෙච්ච සිද්ධිය මුල ඉඳල මම මැතිනියට පැහැදිලි කර දුන්නා. වචනයක්‌වත් කතා නොකර මැතිනිය මොහොතක්‌ මගෙ දිහා බලාගෙන ඉඳලා සෑම් මහත්තයට කෝල් එකක්‌ ගත්තා. මම එතැන ඉන්න විත්තියක්‌ අඟවන්නේ නැතිව කියනවා 'සෑම් මම ලියපු ගාණ වැඩි කරලා තියෙන්නේ ඔයාගේ ගෝලයා නෙමෙයි අපේ අනුර තමයි කරලා තියෙන්නේ ඒ ළමයට හානියක්‌ කරන්නෙ එහෙම නැහැ...'
 
සිද්ධිය එතැනින් ඉවරයි. ඒත් පස්‌සේ දවසක සෑම් විඡේසිංහ මහත්තයා මාව කාමරයට කැඳවලා සිද්ධිය සම්බන්ධයෙන් ගොඩක්‌ අවවාද කළා. රජවරුත් එක්‌ක වැඩ කරනකොට මීට වඩා පරිස්‌සම් වෙන්න ඕනා... නැවත ඔය වගේ ප්‍රශ්න එහෙම ඇති කරගෙන එන්න එපා...' සෑම් මහත්තයා තදින් මට අවවාද කළා. එදයින් එදා නැවත ඒ වගේ වැඩක්‌ නම් කළේ නැහැ.
 
ඒ සිද්ධියෙන් පස්‌සේ මැතිනිය මාව පෙරටත් වඩා විශ්වාස කළා. මම එදා අනුර මහත්තයත් එක්‌ක එකතු වෙලා එහෙම දෙයක්‌ කළේ එතුමියගේ කිතුගොස නැති වන නිසා බව එතුමිය තේරුම් ගත්තා. පස්‌සේ මැතිනි පාරක යනකොට මාව දැක්‌කත් වාහනය ස්‌ලෝ කරලා 'මොකද අබේසේකර කරන්නේ' කියලා අහන තත්ත්වයට ලෙන්ගතුකම වැඩ වුණා. ඒ වගේම එතුමියගේ ජීවිතේ ගොඩක්‌ දේවල් මට කියලා තියෙනවා. මැතිනිය සමහර දවස්‌වලට දරුවෝ තුන් දෙනාවත් පාර්ලිමේන්තුවට එක්‌කරගෙන එනවා. එහෙම ආපු හැම වේලාවකම මට කතා කරලා 'අබේසේකර අද මගේ දරුවොත් ආවා පරිස්‌සමට බලා ගන්න ඕනා...' 'එහෙමයි මැතිනිය' කියලා මගේ මේ ඇස්‌ දෙක වගේ මම ඒ තුන් දෙනාව බලා ගත්තා. එතකොට අනුර මහත්තයා පුංචියි. දඟකාරයි. චන්ද්‍රිකා නෝනත් එහෙමයි. දෙන්නා බොහෝම එකතුයි. ඉතිං මම ඒ තුන් දෙනාගේ බඩගිනි නිව්වා විතරක්‌ නෙමෙයි මට විවේක තියෙන හැම වෙලාවකම පාර්ලිමේන්තුව පුරා එක්‌කරගෙන ගිහින් හැම දෙයක්‌ම පෙන්නුවා. පුංචි කාලේ ඉඳලම දැන හැඳින ගත් නිසා චන්ද්‍රිකා නෝනයි අනුර මහත්තයයි මට බොහෝම හිතවත්. මගේ කාර්යමණ්‌ඩල සභිකයන් වන ඡේ. කේ. ජයතිලක සහ දයාතිලකත් පුංචි කාලේ ඉඳල අනුර මහත්තයට පුදුම ආදරයක්‌ තිබුණේ. ඒ නිසාම පසු කාලීනවත් ඒ අය අනුර මහත්තයාගේ බොහෝම සමීප හිතවතුන් වුණා...
 
දවසක්‌ මම මැතිනියගේ නිල කාර්යාලයට තේ අරගෙන යනකොට මහර මන්ත්‍රී එස්‌. කේ. කේ. සූරියආරච්චි මහත්තයයි හපුතලේ ආසන සංවිධායක ඩබ්ලිව්. පී. ජී. ආරියදාස මහත්තයයි එතුමියගේ කාර්යාලය ඉදිරිපිට හිටියා. මම කාමරයට ගිහින් ඔවුන් දෙපළ ඉන්න බව මැතිනියට දැනුම් දුන්නා. ඒත් මැතිනිය කිව්වා ඔහොම තව විනාඩි පහක්‌ විතර ඉන්න කියන්න කියලා. මම ඔවුන්ට ඒ ගැන දැනුම් දීලා මැතිනියට තේ සූදානම් කර දී එතුමිය තේ පානය කර අවසන් වන තුරු එතුමිය සමග කතා කරමින් හිටියා. පස්‌සේ මම කාමරයෙන් පිට වෙලා ගියාට පස්‌සේ තමයි අර දෙන්න ඇතුළට ගියේ. එදා ඔවුන් දෙදෙනාව අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවලා තිබුණේ පෙර දිනයේ මන්ත්‍රී ආලින්දයේ උස්‌ හඬින් ඇති වූ කලහයක්‌ නිසයි. පාර්ලිමේන්තුවේ සියලුම දෙනා මැතිනියට පුදුම විදිහට ගෞරව දැක්‌වූවා. රටේ මිනිස්‌සු තුළත් මැතිනිය ගැන ලොකු ගෞරවයක්‌ තිබුණා. එතුමියට ජාත්‍යන්තරයෙත් ඉහළ පිළිගැනීමක්‌ තිබුණා. චන්ද්‍රිකා මැතිනිය දේශපාලනයට ඇවිත් පුංචි කාලෙකින් රටේ ජනාධිපතිනිය බවට පත් වෙන්න මැතිනියගේ දේශපාලන ජීවිතයත් විශාල ශක්‌තියක්‌ වුණා.
 
එක කාලෙක චන්ද්‍රිකා නෝනා රටේ ජනාධිපතිනිය. මැතිනිය මන්ත්‍රිවරියක්‌. අනුර මහත්තයා පාර්ලිමේන්තු කථානායකවරයා. ඒ කාලේ මැතිනිය හිටියේ පුදුම සතුටකින්. දකින හැම වේලාවකම මුහුණ පිපුණ මලක්‌ වගේ. ඒත් ඒ සතුට මැතිනියට වැඩි කාලයක්‌ තියාගන්න බැරිව ගියා. චන්ද්‍රිකා නෝනා ගත්ත සමහර තීන්දු තීරණ මැතිනියට ගැලපුණේ නැහැ. චන්ද්‍රිකා නෝනාගෙ තීන්දු තීරණ හමුවේ මැතිනිය ගොඩක්‌ම දුක්‌ වුණු අවස්‌ථාත් තිබුණා. එහෙම එක්‌ අවස්‌ථාවක්‌ තමයි මෛත්‍රිපාල සේනානායක මහත්තයට 1994 අවුරුද්දේ ජාතික ලයිස්‌තුවෙන් මන්ත්‍රීකම ලබාදීමට පුළුවන්කම තිබියදී චන්ද්‍රිකා මැතිනිය එය ඉටු නොකර සිටීම. ඒ තීරණයත් සමග මැතිනිය පුදුම විදිහට සිත්තැවුලට පත් වුණා.
 
මෛත්‍රිපාල සේනානායක කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක්‌ නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු නොසැලෙන බල කණුවක්‌. 1977 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආසන අටට වැටුණු වේලාවෙත් මෛත්‍රිපාල සේනානායක මහත්තයා මැදවච්චිය ආසනය ජයග්‍රහණය කළා. ඒ වගේම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඳල නොකඩවා අවුරුදු හතළිස්‌ නවයක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්‌. මට හිතෙන විදිහට මේ හපන්කම කරපු තවත් කෙනෙක්‌ ලෝකෙ කිසිම රටක නැතිව ඇති. එතුමාට තවත් අවුරුද්දක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුණා නම් ඒක ලෝක ඉතිහාසයට එකතුවෙන්නත් තිබුණා. එහෙම වුණා නම් ඒ විරල ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටත් ගෞරවයක්‌ වෙනවා.
 
ඒත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අවාසනාවකට ඒක එහෙම වුණේ නැහැ. එතකොට මැතිනියට බලයක්‌ තිබුණේ නැහැ. සියලු බලය චන්ද්‍රිකා නෝනාට පැවරිලා තිබුණේ. මැතිනියට බලය තිබුණා නම් සේනානායක මහත්තයට කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිනියගේ ඒ තීරණය ගැන මැතිනිය විතරක්‌ නෙමෙයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්‌ම කම්පාවට පත් වුණා. ඒත් කිසිම අවස්‌ථාවක මැතිනිය චන්ද්‍රිකා නෝන ගත්ත තීන්දු තීරණ විවේචනය කළේ නැහැ. එතුමියට එහෙම කරන්න ශක්‌තියක්‌ නැහැ... ඒ තරමටම මැතිනිය දරුවෝ තුන්දෙනාට ආදරය කළා. මැතිනියගේ පණ වගෙ තමයි ඒ තුන් දෙනාව රැක බලාගෙන උස්‌ මහත් කළේ. මැතිනිය දරුවන්ට හොඳ අම්මා කෙනෙක්‌ වගේම දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරියක්‌. ඒ කාලේ මන්ත්‍රීවරුන්ගේ ඇස්‌වල පුංචි පුංචි ලෙඩවලට මැතිනිය බෙහෙත් කළා. බෙහෙත් දාන්නේ වේලයි. දෙකයි. ලෙඩේ හොඳයි. පුදුම අත්ගුණයක්‌. ඇස්‌ රෝගීන්ට වෙදකම් කරන්න මැතිනිය හරිම කැමතියි. එහෙම බෙහෙත් කරලා ලෙඩේ සනීප වුණා කියලා දැනගත්තහම මැතිනියට හරිම සතුටුයි. 
 
 
මැතිනිය ජීවිතේ ගොඩක්‌ම සතුටින් ඉන්න දවසක්‌ තමයි පෙබරවාරි 15 වැනිදා. එදාට තමයි අනුර මහත්තයාගෙ උපන් දිනය යෙදිලා තිබුණේ. අනුර මහත්තයගේ විතරක්‌ නෙමෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනිල් මුණසිංහ, හිටපු ජනාධිපති ඩී. බී. විඡේතුංග යන මහත්වරුන්ගෙත් උපන් දිනයන් පෙබරවාරි 15 වැනිදා. එක කාලෙක පෙබරවාරි මාසෙක මට දඹදිව වන්දනා ගමනක්‌ යන්න අවස්‌ථාව ලැබුණා. ඒ ගමනෙදි පෙබරවාරි 15 වැනිදා ඡේතවනාරාම පුදබිමේ ලංකාරාම පන්සලේ තිබුණු දානමය පින්කමකට සම්බන්ධ වෙන්න මම පින් කරලා තිබුණා. ඒ වේලාවේ මම අනුර බණ්‌ඩාරනායක, ඩී. බී. විඡේතුංග, අනිල් මුණසිංහ මහත්වරුන්ට සෙත් පතලා එතුමන්ලාගේ නමින් මුදල් ආධාරයක්‌ කළා...
 
ලබන සතියට....
තරංග රත්නවීර
ඡායාරුප සමන් අබේසිරිවර්ධන(DIVAINA)
Rate this item
(0 votes)