May 05, 2024

කරළියෙන් එහා: එජාපය ඇතුළේ අර්බුද පිට අර්බුද - ශ්‍රීලනිපය කණස්සල්ලෙන්

December 06, 2019

අළු යට ගිනි ඇවිලෙමින් තිබෙන එජාප අර්බුදය තාවකාලික පැලැස්තරයක් දමා හෝ නවතා ගන්නට සුපුරුදු පරිදි එජාප නායක රනිල් වික්‍රමසිංහ උත්සාහ ගෙන තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස නම් කිරීමට තීරණය කර ඇත. මේ අතර දේශපාලන කරළියට යලිත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අවධානය යොමු වූයේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ කොමිසමට පැමිණීමත් සමඟය. ජාත්‍යන්තර කතාබහට ලක්වූ අලුත් ආණ්ඩුවට ආ සැණින් මුහුණ දීමට සිදු වූ ප්‍රශ්නය වූයේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව සඳහන් සිද්ධියයි.

කාදිනල් හිමියන්ගෙන් රහසිගත ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අදාළ අංශ විසින් විහිළුවක් ලෙස සිතීම නිසා රට තුළ එම ව්‍යසනය සිදුවූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කළේය. රටේ විය හැකි ව්‍යසනයක් පිළිබඳව වගකිවයුතු අංශයකින් තොරතුරක් ලැබුණු විට එය විහිළුවක් ලෙස සිතීම වරදක් බව ද පාස්කු ඉරිදා දිනයේ දී කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට සිව් වතාවක්ම අදාළ අංශ වෙත තොරතුරු ලබාදුන් බව ඉන්දීය මහකොමසාරිස්වරයා එම ප‍්‍රහාරයෙන් පසු තමන්ට පැවසූ බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් අවධාරණය කරමින් ප්‍රකාශ කළේය. වළක්වා ගත හැකිව තිබූ ප‍්‍රහාරයක් වන මෙය වළක්වා ගැනීමට නොහැකිවූයේ අදාළ අංශවලින් සිදුවූ බරපතල අතපසුවීමක් හා රටේ නායකත්වයේ දුර්වලකමක් හේතුවෙන් බවද අගරදගුරුතුමන් කියා සිටියේ  අපේ‍්‍රල් 21 දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්‍ෂාකොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පංච පුද්ගල ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාව හමුවේ අද (6) පස්වරුවේ සාක්‍ෂි ලබාදෙමිනි. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර කිසියම් හෝ තොරතුරක් තමන්ට ලැබුණේ නම් කෙසේ හෝ එයින් ජනතාව ආරක්‍ෂා කරගන්නා බව ද අගරදගුරුතුමන් සඳහන් කළේය. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ‍්‍රාමික අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම් අධිකාරී යන මහත්ම මහත්මීහු කටයුතු කරයි. අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්‍ෂි ලබාගැනීම සිදුකෙරිණි. එහිදී කාදිනල්තුමන් වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදා දින සිදුවූ ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් රජයේ තවදුරටත් සොයාබැලිය යුතු බවයි. පසුගිය රජය ඔවුන් වෙනුවෙන් වන්දියක් පමණක් ලබාදී අතසෝදාගැනීමක් කළ බව කී අගරදගුරුතුමන් එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද සඳහන් කළේය. එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ ඇතැම් අංශයන්ගෙන් නිසිපරිදි ඉටුනොවන බව තමන්ට සිතෙන්නේ යැයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටියේය. පළමුව කළ යුත්තේ මෙම සිද්ධිය පසුපස සිටින්නේ කවුරුන්ද, මෙසේ කිරීමට හේතුව කුමක්ද යන්න සොයාබැලීම බව කී අගරදගුරුතුමන් ප‍්‍රහාරයට පෙර ලැබුණු තොරතුර අදාළ අංශවලට ලබානොදීමේ වරදට දඬුවම් දිය යුත්තේ දෙවනුව බව ද පැවසීය.

ස්විස් තානාපති කාර්යාල සිද්ධිය ගැන එස්.බීගෙන් ප්‍රකාශයක්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ  වැඩ කල නිලධාරිනියට කිසිම කරදරයක් හෝ කිසිකෙනකුන් විසින් පැහැරගෙන ගොස් නැති බවත් කුමක් හෝ වෙනත් අරමුණකින් ඇයව පැහැරගත් බව කියමින් විශාල රංගනයක යෙදෙන බව පැහැදිලි කරන  සාක්ෂි විශාල සංඛ්‍යාවක් රජයට හමුවි ඇති බව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ  රාජ්‍ය අමාත්‍ය එස්.බි දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ගෙලිඔය කරමඩ ශ්‍රී වේඵවණාරාම ජනපුබුදු පෙර පාසල් විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධාන උත්සවය සදහා අද (06) විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. “ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ  වැඩ කල නිලධාරිනිය සිටි ස්ථානයෙන් ඒ කියන වෙලාවෙ පැහැරගැනීමක් හෝ වෙනත් සිද්ධියක් වෙලාම නැ. මැය ගිය තැන් බැස්ස තැන් ආපු තැන් මේ සියල්ල පිළිබඳව  සියලු තොරතුරු ඡායාරූප සිසිටීවි විඩියෝ දර්ශන  අද ශ්‍රී ලංකා රහස් පොලීසිය එකතු කරගෙන තියෙනවා.  ඇත්තටම ඒ තොරතුරු වලට වසන් වෙලා යම් සිද්ධියක් වෙලා තියෙනවනම් කල යුතු හොඳම  දේ තමයි මේ කාන්තාව ඉදිරිපත් වෙලා ඒ පිළිබඳව අපේ පොලීසියට අපේ පරික්ෂණ  මණ්ඩලයට ඒ තොරතුරු දිල එහෙම යමක් කවුරු හරි කරල තියෙනවනම් ඒ අයව අල්ලගන්න උදවු කරන  එක. එහෙම කළොත් ඇයට සියලුම රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට මේ වනකොටත් අපේ රජය හා විදේශ අමාත්‍යතුමා ප්‍රකාශ  කර තිබෙනවා. ඇයව ස්විස්ටර්ලන්තයට ගෙනියන්න උත්සාහ දරද්දි එහෙම යෑමට ලංකාවට නීත්‍යානුකුල ඉඩක් නොමැති නිසා තමයි පොලීසිය ගිහින් අධිකරණ නියෝගයක් අරගෙන ඇයට ඇවිත් කට උත්තරයක් දීල මේ පරික්ෂණයට උදවු කරන්න කියන්නෙ.  ඉන් පස්සෙ ඇයට යන්න උනත් පුළුවන්“එහිදි අමාත්‍යවරයා පැවැසිය.

මේ කාන්තාව මවා පෑ රංගනය හරහා රජයටත් අලුත පත්වෙච්ච ජනාධිපතිතුමාටත් විශාල අපහාසයක් කැලලක් කරන්න දරපු උත්සාහයක් අද වැළකිලා ගිහින් තියෙන බව පේන්න තිබෙන බවත් එයට වඩා වෙනත් දෙයක් හිතෙනවනම් ස්විස්ටර්ලන්තය හා තානාපති කාර්‍යාලය මේ පරික්ෂණයට ඒ අයත් එකතුව ආධාර කරන්න කියා රජය විසින් ඉල්ලා සිටින බවත් ස්විස්ටර්ලන්ත රජය අපිට හා අපේ රටට කැලලක් වන විදියේ අසාධාරණයක් වෙන්න ඉඩතියයි කියා තමන් විශ්වාස නොකරන බවද” එස් බි දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෛත්‍රී පොළොන්නරුවෙන් මහ මැතිවරණයට

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි  තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පුංචිබොරැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයට පුටුව ලෑස්තියි?

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගිවිසුමකට එළැඹි අතර එහි එක් කොන්දේසියක් වූයේ මීළඟ මහා මැතිවරණය 2020 වසරේ මැයි මාසයෙන් පසුව පැවැත්වීමටය. එහෙම නැතිනම් පාර්ලිමේන්තුව මැයි මාසයේදී විසුරුවා හැරීමටය. එහෙත් මේ වනවිට තත්ත්වය වෙනස් වී තිබේ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව පක්‍ෂ දෙකම මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එකඟතාව පළකර තිබේ. ඒ අනුව බොහෝදුරට මාර්තු මස 01 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගිවිසුමට අනුව ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යොදා ගත්ත ද මහා මැතිවරණයේදී පක්‍ෂ දෙකටම එකඟ විය හැකි සලකුණක් භාවිත කිරීමට නියම කරගෙන තිබිණ. ඒ අනුව යෝජනා වී ඇත්තේ ඉදිරි මහා මැතිවරණයට පක්‍ෂ දෙක බුළත් කොළයෙන් හෝ පුටුව ලකුණින් තරග කිරීමටය. එහෙත් මේ වනවිට තවත් ආරංචියක් පැතිර යමින් තිබේ. “අපි පොහොට්ටුවෙන් ඡන්ද දෙකක් දිනුවා. රටේ ජනතාව අතර පොහොට්ටුව ඉතාම ජනප්‍රියයි. වෙනත් සලකුණුවලට යන්න මුලින් එකඟ වුණා තමයි. ඒත් පොහොට්ටුව වඩාත් ජයග්‍රාහී සලකුණ නිසා ඒකම තෝරා ගන්න පුළුවන්” යැයි පොහොට්ටුවේ නායකයන් කීපදෙනෙකුගේ අදහස වී තිබේ. එහෙත් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කීප දෙනකු ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බව ද පැවසේ. කෙසේ වුවද උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන දෙදෙනා මුලින් ගත් සම්මුතියට අනුව ක්‍රියා කළ යුතු බව ප්‍රසිද්ධියේ කියා ඇත.

අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය නිමාකරමින් ජනාධිපතිවරයා ඉකුත්දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ දෙවන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ වන්නේ ලබන ජනවාරි මස 03 වැනිදාය. එදින අභිනව ජනාධිපතිවරයා උත්සවශ්‍රීයෙන් පාර්ලිමේන්තුවේදී පිළිගැනීම සිදුවේ. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසුව පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය ආරම්භ කරන අතර ජනාධිපතිවරයා කතානායක අසුනේ සිට පාර්ලිමේන්තුව අමතනු ලැබේ. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පක්‍ෂ නායකයන්ගේ සුබපැතුම් සහිත කෙටියෙන් සිදුකරන කතා කීපයකින් පාර්ලිමේන්තුවේ එදින කාර්යයන් නිම වේ. ඉන්පසුව බොහෝ විට පසු දින සිට හෝ නියම කරන දිනක සිට පාර්ලිමේන්තු රැස්වීම් සාමාන්‍ය පරිදි සිදු පැවැත්වේ. පාර්ලිමේන්තු සැසිවාරය නිමවීමත් සමඟ පාර්ලිමේන්තුවේ කාරක සභා ද අහෝසිවීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. ඒ අනුව නව සැසිවාරය ආරම්භවීමත් සමග කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළුව කාරක සභා සියල්ලම නැවත ස්ථාපිත කිරීම කළ යුතු වේ.

වෝහාරික විගණන වාර්තාව නොවැ. 27 කෝප් කමිටුව අතට

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයින්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කර තිබිණි. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට යටපත් වීම සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය මෙසේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත වෝහාරික වාර්තාවට අදාළ නීතිපතිවරයාගේ නිර්දේශ සහිත ලිපියක් එවා ඇති අතර නොවැම්බර් 27 වැනි දින වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් කෝප් කමිටු කාර්යාලයට එවා තිබේ. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය හැකි බවත් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිණ. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ.03වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත්ය.

එසේ තිබියෙදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප‍්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත‍්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියා සිටියේය. කෙසේ වෙතත් දෙසැ.02 දින මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. පසුදින එනම් 03වැනිදා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවිය. ”දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයින් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයින්. නමුත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන මාධ්‍යවේදීහු කිහිපදෙනෙක්ද කෝප් සභාපතිවරයායෙන් මේ පිළිබඳව විමසා සිටියහ. ”සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා.” මාධ්‍යවේදියෙක් විමසීය. ”ඒක පට්ටපල් බොරුවක්. සමහර ඞීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වුවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැන ගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත‍්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

එජාප අර්බුදේ අස්සේ පාඨලී එජාප මුල් පිටුවට

සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම එජාප නායකත්වය සහ විපක්‍ෂ නායකත්වය යන දෙකම අපේක්‍ෂා කරමින් සිටි අතර ඒ නිසාම එජාප අර්බුදය ඔඩු දුවමින් තිබූ බවට එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම චෝදනා කරයි. එජාප අර්බුදය විසඳා ගන්නා ලෙස එජාපය සමග එක්ව සිටින අනෙකුත් සුළු පක්‍ෂ නායකයෝත් බලකරමින් සිටිති. එසේ නොවීම ගැන එම පක්ෂ නායකයෝ ඉකුත් දිනවල කණස්සල්ලට පත්ව සිටියහ. ඒ අනුව අවසන් වශයෙන් විසඳුම් යෝජනා කීපයක ඉකුත්දා යෝජනා වී තිබිණ. ඒ කරු ජයසූරියට පක්‍ෂ නායකත්වය ලබාදී විපක්‍ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීමය. අනෙක් විසඳුම වන්නේ පක්‍ෂයට නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කර එහි සභාපති ධුරයට කරු ජයසූරිය පත් කිරීමය. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වනවිට එජාප අර්බුදයට එක් විසඳුමක් ලැබිණ. ඒ සජිත් ප්‍රේමදාසට විපක්ෂනායක ධූරය ලබාදීමට එජාපය තීරණය කිරීමය. තවමත් එජාප නායකයා රනිල් වික්‍රමසිංහ වන අතර නව නායකයකු පත් කිරීම පසුවට කල් දමා තිබේ. තවද එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ තවත් අදහසක් කරළියට පැමිණ තිබේ. ඒ, එක්සත් ජාතික පක්‍ෂයට නැවත බෞද්ධ පදනමක් ලබාදීමය. ඒ සඳහා අලුතින් සිංහල බෞද්ධ නායකත්වයක් අවශ්‍ය බව ද එජාප මන්ත්‍රීවරුන්ගේ අදහසය. ඒ අනුව දේශපාලන ආරංචි පැතිර ගියේ එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවකට ආරාධනා කර තිබෙන බවය. එජාපයට එක්ව එහි නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නැයි ද එම මන්ත්‍රීවරු පාඨලීට ආරාධනා කර ඇතැයි පැවසෙයි. මේ අතර පාඨලී චම්පික රණවක ද ඊට එකඟතාව දක්වා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා ඇතුළු කීප දෙනෙක්ම තවමත් රනිල් විරෝධී දැඩි ප්‍රතිපත්තියකින් කටයුතු කරමින් සිටිති. ඒ, පක්‍ෂයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමටය. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සමීපතම නායකයෝ කීපදෙනෙක් ඉකුත්දා රැස්වී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත්තාහ. එහිදී විශේෂ කරුණු කීපයක් ගැන අවධානය යොමු වූ බව ද පැවසේ. මෙම විශේෂ සාකච්ඡාවට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග සහ වජිර අබේවර්ධන ඇතුළු කිහිප දෙනෙක් එම සාකච්ඡාවට සහභාගි වී තිබේ. “ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදෙන්න කලින් එක්තරා සමීක්‍ෂණ ආයතනයක් සමීක්‍ෂණයක් කරලා තිබුණා. එම සමීක්‍ෂණ ආයතනයට දේශපාලන සබඳතාවයකුත් තියෙනවා. එම සමීක්‍ෂණයට අනුව සජිත් ප්‍රේමදාසට සියයට 58ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණ බවත් එම වාර්තාවේ තිබුණා. සජිත් කාණ්ඩායමේ කිහිපදෙනෙක්ම රනිල් වික්‍රමසිංහ නායකතුමාට එම සමීක්‍ෂණ වාර්තාව ලබා දුන්නා. ඒක සජිත් ප්‍රේමදාසට නාම යෝජනා ගන්න කරපු මවාපෑමක් දැයි අපට සැක හිතෙනවා. නාම යෝජනා ගත්තට පස්සෙත් එම සමීක්‍ෂණ ආයතනය  නැවත සමීක්‍ෂණයක් කරලා තිබුණා. ඒකෙදී සජිත් ප්‍රේමදාසට තිබුණේ සියයට 30යි. මේක ලොකු ගැටලුවක් වුණා. සජිත්ගේ කැම්පේන් එකට අරමුදල් රැස්කිරීමටත් එම වාර්තාව බලපෑවා. අපට මුල් සමීක්‍ෂණ වාර්තාව ගැන ඉතා ප්‍රබල සැකයක් පවතිනවා” යැයි එජාපයේ නායකයෙක් කීවේය. මේ අතර එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ වියදම් පියවීම සඳහා මූල්‍යමය අර්බුදයකට මුහුණ පා සිටින බවය. ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 90ක පමණ මුදලක් විවිධ ආයතනවලට ගෙවීමට තිබෙන බව පක්‍ෂය ඇතුලේ කතාබහක් ඇතැව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 December 2019 22:47