May 05, 2024

කරළියෙන් එහා: එජාප අර්බුදය උඩුදුවයි! ගෝඨා - මෝදි එක්ක පැයක විශේෂ හමුවක

November 30, 2019

ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන කරළියේ උණුසුම අවසන් වුවත් පරාජය වූ එජාපය තුළ අර්බුද ගණනාවක් හට ගනිමින් එජාපය දෙදරා ගොස් තිබේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු මංගල නිල විදෙස් සංචාරය අසල්වැසි ඉන්දීය රාජ්‍ය බලා පිටත්ව ගියේය. දේශපාලන කරළියේ අවධානය යොමුවූ තවත් සිද්ධියක් වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කීරීමය.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 28වනදා පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh) මහතා විසිනි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින් ද අලංකාරවත් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා සිය පළමු විදේශ සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටී. සිය සංචාරයේ දී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නිලධාරීන් 10ක් පමණ ඉතා සීමිත පිරිසක් එම නිල චාරිකාවට එක්ව සිටියේය. එහිදී තවත් කැපී පෙනෙන සිද්ධියක් වූයේ කිසිදු ඇමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු එම චාරිකාවට එක්ව නොසිටීමය. ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ කටුනායක ගුවන්තොටුපොලේ ප්‍රභූ පර්යන්තයෙන් නොව සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේය. ජනාධිපතිවරයා ගමන් ගත්තේද සාමාන්‍ය මගී ගුවන් යානයකය. ජනාධිපතිවරයාට සමුදීමට පැමිණ තිබුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පමණ. ඉන්දීයාවේදී ඉතා උණුසුම් ලෙස පිලිගත් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී විශාල කරුණු රැසකට සහය දීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා එකඟතාව පල කර තිබේ. ඊයේ (29) දහවල් හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවති දෙරටේ රාජ්‍ය නායකයන් අතර හමුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බවයි. ඒ අනුව සහන ණය ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ක්‍රියාකරන බවද ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බවද එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

තම ආරාධනය පිළිගෙන සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණීම අසල්වාසි රාජ්‍ය ලෙස තම රටට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව ප්‍රකාශ කර ඇති මෝදි අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විජයග්‍රහණය පිළිබඳව සිය සතුට පළ කරමින් සමස්ත ඉන්දීය ජනතාවගේම සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ද සඳහන් කර ඇත. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් ඉදිරියට රැගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වී ඇති අතර දෙරටේ ආරක්ෂාව ප්‍රමුඛතාව ලෙස සලකා ක්‍රියාකිරීමට රාජ්‍ය නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. දෙරට අතර සමීප ආර්ථික සහයෝගිතාවයකින් ක්‍රියාකිරිම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය. ද්විපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. දිගුකාලීන ගැටලුවක්ව පැවති ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ ඇති මෝදි අගමැතිවරයා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර ඇත. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමාට ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකට ආරාධනය කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළ ඇති අතර, ඉන්දීය අග්‍රමාත්‍යවරයාට ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ඇරයුම් කර තිබේ. සාකච්ඡාවලින් අනතුරුව නායකයන් දෙපළ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැන්වූ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හයිදරබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ ග්‍රන්ථයේ සමරු සටහනක් ද තැබීමට කටයුතු කළේය.

තමන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පමණක් පැයක පමණ ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙම සාකච්ඡාවේදි ඉතාමත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ධා වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මැ.කෝ තනතුර අතහරී

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක. සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයා වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීමය.

රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හා ව්‍යවස්ථාපති නියෝජිත ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකියන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ. ඒ ඒ අමාත්‍යාශ ලේකම්වරුන්ට මේ බව දන්වා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපි යොමුකර තිබේ. මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.

මෛත්‍රී අඛණ්ඩව දේශපාලනයේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස පක්‍ෂයට නායකත්වය ලබාදෙමින් මෙම කටයුතු සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. ලබාගත් නව ජයග්‍රහණය වඩා අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවත්, ඉදිරි මාස තුනක කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණේවිද නැද්ද කියා කීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමට බව පවසමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු විවිධ වැඩකටයුතු කළ බවත්, ඒ සඳහා ජනතාව මේ වනවිට හොඳ පිළිතුරක් ලබාදී තිබෙන අතර, පක්‍ෂ විනය කඩකළ සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසා සිටියේය. මේ වනවිට ඒ.එච්.එම්. ෆවුසි මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවත්, අදාළ සමාජිකයාටත් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එජාප අර්බුදය උඩුදුවයි

එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් සමඟ සාමාන්‍යයෙන් පක්ෂයක් තුළ හටගන්නා දේශපාලන කුණාටුව දැන් හටගෙන තිබේ. සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ඡන්ද සටනට උර දුන් මැතිඇමතින් වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ ගිය සඳුදාය. එහෙත් ඒ වනවිට තනි තනිවම තම තමන් වෙනුවෙන් බොහෝ දෙනෙක් තීරණ ගනිමින් සිටියහ. මුලින්ම සජිත් ප්‍රේමදාස තමන් දැරූ පක්ෂ නියෝජ්‍ය නායක පදවියෙන් හා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ඒ සමඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම පමණක් නොව පක්ෂ සභාපති කබීර් හෂීම් ද තනතුරුවලින් ඉවත් වූහ. අනතුරුව කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, චම්පික රණවක, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා ආදීහු ඉවත්වූහ. ආණ්ඩු බලය ලබාගත් පොහොට්ටුව පැත්තෙන් ජනවරමට ගරු කර රජය වහා ඉවත්විය යුතු බවට දිගින් දිගටම බලපෑම් එල්ලවන්නට පටන් ගත්තේය. සජිත් ප්‍රේමදාස නැවතත් ගෝඨාභය රාජපක්ෂ ඇමතූ අතර ඔහු ප්‍රශ්නය ඉක්මනින් විසඳෙන බවට ගෝඨාභයට පොරොන්දුවක් ලබාදුනි.

ජනපති ලේකම් ධූරය පී.බීට ගිය හැටි

ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ තැනකින් වැඩ ආරම්භ කරන්නට නියමිත වූයේ ගිය සඳුදාය. ඔහු ඒ සඳහා අනුරාධපුරය තෝරාගත්තේ කලකට පෙර සිටය. අගවිනිසුරු ජයන්ත ජයසූරියව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට අනුරාධපුරයට එන ලෙස ආරාධනා කළේය. ඒ සමඟ කෙටි වූත් චාම් වූත් දිවුරුම් දීමේ උත්සවය කඩිනමින් සංවිධානය කැරිණි. එය හමාරකර කොළඹට පැමිණි නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව හිමි වූයේ ඉහළම රාජ්‍ය තනතුරු පුරවා තම රජයේ කටයුතු ආරම්භ කිරීමටයි. මුලින්ම ජනාධිපති ලේකම්වරයා තෝරාගත යුතු විය. ඒ සඳහා බැසිල් ගෝඨාභය හා මහින්ද, ලලිත් වීරතුංග මහතාට මනාප වූවත් ඔහුගේ නඩු කටයුතු නිසා විකල්පය ලෙස තෝරා ගත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරයකු වන ගාමිණී සෙනරත් මහතාය. බැසිල් හා මහින්ද දෙදෙනාම ගාමිණී ජනාධිපති ලේකම් විය යුතු යැයි කීවද ඔහු කීවේ තමන්ට ඉදිරි මහ මැතිවරණයේද මෙහෙයුම් පැවරෙන නිසා පක්ෂ ප්‍රධානීන් කාගේත් ගෞරවයට ලක්වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඊට සුදුසු බවයි. එහෙත් මහින්දලා මුලින් සැලසුම් කර තිබුණේ ආචාර්ය ජයසුන්දර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට මුදල් රාජ්‍ය ඇමැති ධුරය පිරිනමන්නටය. ආචාර්ය ජයසුන්දර රජයේ තනතුරු භාරගැනීමට දැඩි ලෙස අකැමැති වුවත් ගාමිණී සෙනරත්, ලලිත් වීරතුංග මහත්වරු කීවේ “ඔබේ බර අදින්නට අපිත් උදව් වෙන්නම්. දැන් මේ තනතුර භාරගන්න කියායි.” ඒ අනුව සඳුදා මහින්දගේ විජේරාම නිවසේ මහින්ද, ගෝඨාභය හා බැසිල් පැවැත් වූ තීරණාත්මක හමුවකදී ජනාධිපති ලේකම් ධුරයට ආචාර්ය ජයසුන්දරත් ආරක්ෂක ලේකම් ධුරයට මේජර් ජනරාල් කමල් ගුණරත්නත් මුදල් ලේකම් ධුරයට එස්.ආර්. ආටිගලත් පත්කරන්නට තීන්දු කෙරිණි. ඊට පසුදා නව ජනාධිපතිවරයා වැඩ භාර ගතයුතු නැකත එළැඹී තිබිණි. ඒ අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් මහතා මෙන්ම පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද ගෝඨාභයට දුරකතනයෙන් කතාකොට සුබ පැතූහ. ඉන්දීය නායකයා කීවේ දෙරට අතර සුහදතාව වර්ධනය කරගන්නට ඉතා ඉක්මනින් ඉන්දියාවට පැමිණෙන ලෙසයි. ඔහුට ඕනෑවී තිබුණේ ගෝඨාභය පකිස්ථානය හා චීනයට යන්නට පෙර ඉන්දියාවට ගෙන්වාගෙන උසස්ම පිළිගැනීමක් ලබා දෙන්නටයි. ඒ අනුව දුරකතන ඇමතුම දුන්දාට පසුදාම හදිසියේ ඉන්දීය නායකයාගේ නිල ආරාධනාව රැගත් එරට විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කොළඹට පැමිණ ගෝඨාභයට ආරාධනය භාර දුන්නේය. මහින්ද රාජපක්ෂ හා අගමැති රනිල් ද ඔහු මුණගැසුණේය.

“මාව අවුස්ස ගන්න එපා“ රනිල් කේන්තියෙන් නැගිට යයි

මෙම කටයුතු සිදුවෙද්දී එජාපයේ අර්බුද උත්සන්න වෙමින් තිබිණි. පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳුදා සහ අඟහරැවාදා වාර දෙකක්ම රුස්විණි. තවත් මැතිඇමැතිහු ඉල්ලා අස්වූහ. පාර්ලිමේන්තුවේ පැවැති පළමු කණ්ඩායම් රැස්වීමට සජිත් ප්‍රේමදාස ආවේ නැත. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුලින්ම මන්ත්‍රීන් අමතා කීවේ පොහොට්ටුව ඡන්දය දිනා ඇති බැවින් පැහැදිලි ජනවරමක් ඇති ඔවුන්ට ආණ්ඩුව භාරදිය යුතු බවය. රනිල්ගේ ස්ථාවරය වූයේ කඩිනම් මහමැතිවරණයකට එජාප සහාය දිය යුතු බවය. එහෙත් පසුපෙළ මන්ත්‍රීහු ඊට කිසිසේත්ම එකඟ නොවූහ. සුජීව සේනසිංහ නැගිට කෑ ගසන්නට විය. “සර් අපි සේරමයි ඒ තීන්දුව ගන්න ඕන. පක්ෂයක් ලෙස අප පරාදයි. නමුත් පොදු තීන්දුවකට යන්න ඕනෑ"යැයි. සුජීව කියද්දී කබීර් හෂීම් මන්ත්‍රීවරයා කීවේ “නායකතුමනි අවුරැදු 25ක් ඔබතුමා නායකත්වයේ ඉන්නවා. ඒත් අපට ස්ථාවර ආණ්ඩුවක් රාජ්‍ය නායකයෙක් හදාගන්න බැරි වුණා. ඒ නිසා දැන් අපට සජිත් වගේ අලුත් නායකයෙක් ඕනෑ.. යැයි” කීය. එවිට රනිල් වෙනුවෙන් කතා කරන්නට රාජිත, රවී, විජිතමුණි මෙන්ම සරත් ෆොන්සේකා හා දයා ගමගේ ආදීහු ඉදිරිපත් වූහ. මෙහිදී ඔවුන් කීවේ නිකරුණේ අගමැතිට දොස් නොකියන ලෙසත් ඔහු කී ලෙස ඔහු උතුරේ ඡන්ද උපරිමයෙන් සජිත්ට ලබාදුන් බවත්ය. පක්ෂය ප්‍රතිසංවිධානය කළයුතු යැයි රාජිතලා කියද්දී පසුපෙළ එම යෝජනාව හාස්‍යයට ගත්තේය. නැවතත් කබීර් කතා කරන්නට විය. “නායකතුමනි දැන් ඔබතුමා නායකත්වය සජිත්ට දෙන්න. පක්ෂ මහලේකම් තනතුර නිත්‍යනුකූලව ජ්‍යෙෂ්ඨයකුට පවරන්න.. අපිට සජිත් යවන්න බැහැ..” යැයි කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තමන්ට කළහැක්කක් නැතැයි කීය... එවිට සරත් ෆොන්සේකා කතා කරන්නට පටන්ගත්තේ හතර අතට පහර දෙමිනි. “මේ මෙතන අගමැතිතුමාටම චෝදනා කරන්න එපා. එතුමා පුළුවන් තරම් සපෝට් කළා උතුරේ ඡන්ද අරන්දුන්නේ. කෝ දැන් ඔයාලා දකුණෙන් අරන් දෙනවය කිව්ව ඡන්ද ලැබුණද? කෝ ගම් මට්ටමින් බිම් මට්ටම...? ඒකට මොකද වුණේ.. ඒ ගැන මම කියන්නේ ඔළුවේ කැක්කුමට බෙල්ල කපාගන්න එපා.” යයි ෆොන්සේකා ප්‍රකාශ කරන විට මන්ත්‍රීන් විමතියෙන් මෙන් බලා සිටියේ සජිත්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධුරයට තෝරාගත්තා යැයි කී තැනැත්තා කළ එම කතාව ගැනය. මේ වනවිට අගමැති රනිල්ගේද ඉවසීමේ සීමාව ඉක්ම යමින් තිබිණි. ඔහු නැගිට වේගවත් කතාවක් කරන්නට පටන් ගත්තේය. “මම මෙතෙක් වේලා ඉවසගෙන බලාහිටියා. මම තමුන්නාන්සේලට කියන්නෙ මාව අවුස්ස ගන්න එපා. මේ පරාජයට මමද වගකියන්න ඕන.. නැහැ. මෙතන ඉන්න හැමෝම ඒකට වගකියන්න ඕන... ඕගොල්ලො කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න පැරදුණ හේතුව. එතකොට තමන්ට ඒක පෙනෙයි. හැබැයි ඔයගොල්ලෝ වරද මගේ පිටට දාල ගැලවෙන්න හදනවා නම් මම සේරම කියන්නම්.. හොඳට මතක තියාගන්න.. මම වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න කැමැති නැහැ. දැන් ගෝඨාභයට ජනවරමක් ලැබිලා තියනවා මම එයාවත් හමුවෙලා මේ ගැන තීන්දුවක් ගන්නවා.” කියමින් රැස්වීම අවසන් කළේය. ඔහු කී ලෙසම රනිල් ගෝඨාභය හමුවී පැයක් සාකච්ඡා කළ අතර බලය හුවමාරුව ගැන මහින්ද රාජපක්ෂ සමඟ ද අදහස් හුවමාරු කරගත්තේය. එහිදී කරු ජයසූරිය කතානායකවරයා සමඟ ද තමන් සාකච්ඡා කරන වග රනිල් පැවසීය.

විපක්ෂ නායක අර්බුදේ

එජාපය තුළ නැවතත් නායකත්ව සටන මෝරායමින් තිබිණි. සජිත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත් වන දිවියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ වැඩසටහනක් වෙනුවෙන් කාලය කැප කරන්නට සූදානම් බවත් මාධ්‍යට කීය. නමුත් ඔහුගේ අනුගාමිකයෝ සජිත්ට ඉවත්වන්නට ඉඩ නොදෙන බව කියමින් මාධ්‍යයට ප්‍රකාශ දෙන්නට වූහ. හරින් ප්‍රනාන්දුලා මෙන්ම රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සජිත් හිතවාදීන් රනිල් පක්ෂයේ නායක තනතුර සජිත්ට නොදෙන්නේ නම් වෙනම පක්ෂයක් නිර්මාණය කරන බවට අදහස් ඉදිරිපත් කළෝය. ඒ අතර ආණ්ඩුව මහින්දලා භාරගත් පසු විපක්ෂ නායක ධුරය සජිත්ට භාර දිය යුතු යැයි කතානායකට යෝජනා කරමින් එජාප මන්ත්‍රීහු ලිපියකට අත්සන් කරන්නට පටන් ගත්හ. එහෙත් රනිල් ඒ කතා සැහැල්ලුවෙන් බැහැර කළේ ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමන් බව කියමිනි. ඔහුට ඒ තනතුර ලැබීම පිළිබඳ පූර්ණ විශ්වාසයක් තිබිණි. මේ ජරමර මාධ්‍යයේ එජාප මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂලා සමඟ තිරය පිටුපස සාකච්ඡාවක නිතර වෙමින් සිටියේ පක්ෂ මාරුවටය. බැසිල් රාජපක්ෂ මහතා ඒ කටයුතු මෙහෙයවමින් සිටියේය. එජාප මන්ත්‍රීන් විසි ගණනක් ඕනෑ නම් තමන්ට එකතු කරගත හැකියැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක නිල නිවසේදී කීය. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීමත් සමඟ මහින්දලාට නව ආණ්ඩුවක් හදන්නට සිදුවී තිබිණි. ජනාධිපති ගෝඨාභය මුලින් යෝජනා කළේ මේ අන්තර්කාලීන රජයේ කැබිනට්ටුව 10කට සීමා කරගන්නටයි. එහෙත් දේශපාලන හේතු මත එය 12 දක්වාත් පසුව 16 දක්වාත් වර්ධනය විය. අගමැති ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවිය යුතු යැයි මෙහිදී දිනේෂ් හිතවාදීන් ප්‍රබල මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර තිබූ අතර එයට කිසිදු පදනමක් තිබුණේ නැත. දිනේෂ් ගුණවර්ධන මහතා සැබැවින්ම අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටි බව ද ප්‍රකට විය. නමුත් මුලසිටම පොහොට්ටුව තීන්දුකර තිබුණේ මහින්ද අගමැති කරන්නටයි. ඒ අනුව නව අමාත්‍යාංශ 16ක විෂය පථයන් හා විෂය කාර්ය සැකසුම ලලිත් වීරතුංග මහතාගේ සහායෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර බදාදා රාත්‍රිය පුරාම සිදුකළේය. ඒ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර තිබුණේ උසාවියේ නඩුහබ ඇති අයට ඇමැති පදවි ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නටයි. භාරකාර කැබිනට්ටුව 16කට සීමාකිරීම ද ප්‍රශ්නයක් වී තිබිණි. මෙම විෂය වෙන්කිරීම්වලදී ආරක්ෂක විෂය හා නාගරික සංවර්ධන හා මහනගර විෂයට අදාළ කාර්යන් ජනාධිපතිවරයා යටතට පත්කර ගැනිණි. එහෙත් විමල් වීරවංශ මහතා තමන්ට නිවාස අමාත්‍යාංශය නම් එපා යැයි කියමින් නාගරික සංවර්ධනය ඉල්ලා සිටියද එය සිදුවූයේ නැත. විමල් නිවාස අමාත්‍යාංශය එපා යැයි කීවේ එය දැන් විනාශයට පත්වූ අමාත්‍යාංශයක් යැයි කියමිණි. ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යාංශයම ඉල්ලා සිටියේය. එහෙත් බන්දුලට අධ්‍යාපනය පවරා දීම මහින්දගේ වුවමනාව විය. ඒ අනුව උසස් අධ්‍යාපනය ඩලස්ගෙන් ගලවා බන්දුලට පැවරීය. තොණ්ඩමන් මහතා ග්‍රාමීය වතු යටිතල විෂය තමන්ට වුවමනා යැයි කෙඳිරි ගාන්නට විය. ඔහු ඒ ගැන ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය තිරය පිටුපස සිට මෙහෙය වන ගාමිණී සෙනරත් මහතාට කරදර කරන්නට පටන්ගෙන තිබිණි. එසේම කෙහෙළිය රඹුක්වැල්ල ද විදේශ අමාත්‍යාංශයට ඇසගසා ගෙන සිටියේය.

විමල් නිවාස ඇමැතිකම එපා කියයි

ගෝඨාභය ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ, ආචාර්ය පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග හා ගාමිණී සෙනරත් යන මහත්වරු අමාත්‍ය මණ්ඩලය තෝරාගන්නට බොහෝ වෙහෙස මහන්සි වූහ. අවසානයේ අර්බුදකාරී තත්ත්වය හටගත්තේ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ට කෙසේ හෝ තනතුරු ලබාදිය යුතු බවටය. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීම නිසා වාසුදේව නානායක්කාර මහතා කතානායක ධූරයට තෝරාගන්නට සියලු දෙනාම එකඟ වූහ. වෙනදා සෙංකෝලය සමඟ සටන් වැදුණු වාසුට කතානායක ධූරය හිමිවීම දෛවෝපගත සිද්ධියකි. ඊළඟ ප්‍රශ්නය උදය හා ලොකුගේය. නමුත් ජනාධිපති ගෝඨාභය මහතා කැබිනට්ටුව ලොකු කරන්නට කිසිසේත්ම එකඟ වූයේ නැත. එහිදී උදය සමඟ එකටම සිටින විමල් වීරවංශ මහතා උදයට තනතුරක් නැති නම් තමන් ද ඇමැති පදවියේ දිව්රුම් නොදෙන බවට තර්ජනය කළේය. එහෙත් ඒ ගැන තීන්දුවක් ගත නොහැකිව සිටියදී උදය ගම්මන්පිල වහා ඉදිරිපත්ව විමල්ගෙන් කාරුණික ඉල්ලීමක් කරමින් කීවේ දෙදෙනා අතර තිබෙන යාළුකම රැකගන්නට නම් ඇමැතිකම භාරගන්නා ලෙසයි. එලෙස බොහෝ වේලාවක් උදය විමල්ට පෙරැත්ත කළ පසු විමල් ඇමැති ධූරය භාරගන්නට තීන්දු කළේය. අවසානයේ උදය ආදර්ශමත් තීන්දුවක් ගනිමින් අර්බුදයක් ඇත්නම් තමන්ට අමාත්‍ය ධූරයක් එපා යැයි ලිඛිතවම මහින්දට හා ගෝඨාභයට කීය. ඒ සමඟ අග්‍රාමාත්‍ය ලේකම්වරයකු පත්කර ගැනීමේ අභියෝගය මතු විය. ඒ සඳහා මහින්ද, ගෝඨා ඇතුළු හැමෝම යෝජනා කළේ ගාමිණී සෙනරත්ගේ නමයි. කලින් ජනාධිපති ලේකම් ධූරයට ද ගාමිණීගේ නම යෝජනා වූ නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඉදිරි මැතිවරණ කටයුතුත් තමන් පසුගිය කාලයේ විඳි කරදර හොඳටම ප්‍රමාණවත් බැවින් නැවත රාජ්‍ය සේවයට නොඑන බවත් කියමිනි. අවසානයේ ගාමිණී කීවේ මේ මාස 3ට එස්. අමරසේකර මහතා පත්කොට පසුව අගමැති ලේකම් ධූරය භාරගන්නම් කියාය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එය තරයේම ප්‍රතික්ෂේප කොට තමන් මේ ගැන තීන්දුවක් ගන්නට ගාමිණීගේ නිවෙසට එන බව දැන්වීය. ඒ සමඟ නාමල් හා යෝෂිත රාජපක්ෂ ගාමිණීගේ නිවෙසට පැමිණ ආණ්ඩුවට සහ මහින්ද රාජපක්ෂ මහතාට උදව්වක් ලෙස මෙම තනතුර භාරගන්නැයි කී අතර ගාමිණීගේ සමීපතමයන් රැසක් ද ඔහු ඒ තැනට තල්ලු කළේය. අවසානයේ බැරිම තැන ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධූරය භාරගත්තේය. අගමැතිතුමා වැඩ භාරගත්තේ බ්‍රහස්පතින්දාය. කැබිනට් මණ්ඩලය තෝරන්නට මහන්සි වෙමින් සිටි බැසිල් රාජපක්ෂ මහතා අවසන් කැබිනට් ලැයිස්තුව සකස් කොට ආචාර්ය පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත් සමඟ ද සාකච්ඡා කර මහින්ද රාජපක්ෂ මහතාටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ලබා දී හදිසියේම කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් වූයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාය. කෙසේ හෝ කැබිනට් ඇමැතිවරුන් 15 දෙනෙක් හා රාජ්‍ය ඇමැතිවරුන් 30 දෙනෙක් එම ලැයිස්තුවට ඇතුළත් වූහ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුට තනතුරු හිමි වූයේ නැත. ඒ සියලු දෙනාට අනාගත ආණ්ඩුවකදී තමන් සාධාරණය ඉටුකරන බව නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පවසා තිබිණි.

 

Rate this item
(1 Vote)