May 11, 2024

අංගුලිමාල මෙහෙයුමට යටත් වෙන්න එපා - පුබුදු ජයගොඩ

අළුතෙන් හඳුන්වාදීමට යන විද්‍යුත් හැඳුණුම්පත ජනතාවගේ මූලික අයිතීන් කඩකිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. පුරවැසියන්ගේ ඇඟිලි සළකුණු එකතුකරන අංගුලිමාල මෙහෙයුමක් ආරම්භ කර  ඒ හරහා රටම එලිමහන් සිර කඳවුරක් බවට පත්කිරීමේ උත්සාහයක් ඇතැයි චොදනා කරයි.
 
 රාජගිරියේ එම්. ඩී. ඩී. ආර්. ශාලාවේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප‍්‍රකාශ කර සිටියේ ජනතාව ඇඟිලි සළකුණු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ යුතු බවයි. ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
 
‘‘දැනට ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා බලපාන එකම නීතිය 1968අංක 32දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පණතයි. එය 1971දී හා 1981දී සංශෝධනය වුණා. 1972දී සිට අතින් ලියන ලද හැඳුණුම්පත් නිකුත් කිරීම ඇරඹුණා. 2011අගොස්තු 17වනදා අතින් ලියන ලද හැඳුණුම්පත් වෙනුවට විද්‍යුත් හැඳුණුම්පත් නිකුත් කරන්න කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. අතින් ලියන ලද හැඳුණුම්පත් වෙනුවට තාක්ෂණය භාවිතා කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් කැබිනට් තීරණය ගෙන තිබෙන්නේ ලංකාවේ අවුරුදු 15ට වැඩි පුරවැසියන් සියළු දෙනාගේම ජීව දත්ත හා ජීව ලක්ෂණ සහිත ජාතික පුරවැසි දත්ත පද්ධතියක් සකස් කරන්න. ඒක රට මිලිටරිකරණ ක‍්‍රියාවලියේම තවත් පියවරක්".
 
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිටද සහභාගී විය.
Rate this item
(0 votes)