May 05, 2024

කරළියෙන් එහා: සජිත්ගේ විශේෂ ප්‍රකාශයෙන් එජාපය දෙදරයි - ලඟදීම පිල්මාරු රැසක්

November 09, 2019

ජනාධිපතිවරණයට තවත් දින 8ක සීමිත කාලයක් ඇති මොහොතක දේශපාලන කරළියේ මේවන දැඩිව උණුසුම් වී තිබෙනු දක්නට ලැබේ. විශේෂයෙන් පිල් මාරු ගැනද කතාබහක් ඇති වුවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ප්‍රබල චරිතයන් පිල් මාරු වූ බවක් පෙනෙන්නට නොමැති මොහොතක එජාපයට ප්‍රශ්න ගණනාවක් යොමු කරමින් දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට එක් විය. ඒ සමඟම එජාපයේ කැළඹීමක් ඇතිව තිබෙන බව වාර්තා වේ. එජාපයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතාගේ මුණුබුරෙකු වන විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඔහුට සහාය දීමට රහසේ තීන්දු කර තිබිණි. වසන්ත සහ තවත් ජ්‍යෙෂ්ඨයෙක් වහාම ගෝඨාගේ වේදිකාවට පැමිණීමට අවශ්‍ය බව කීවත් ඔවුන්ට නියමිත මොහොත දන්වන තෙක් නිහඬව සිටින්නැයි මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබිණි. ඒ අතර මෙලෙස පක්ෂ මාරුව ගැන නම කියැවුණ සාගල රත්නායක මහතා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට තදින් දායක නොවුණ ද ඔහුගේ පක්ෂ කාර්යාල සියල්ල සජිත් වෙනුවෙන් විවෘත කර ඇති බව ද සඳහන්ය. කෙසේ හෝ පක්ෂ මාරුව සඳහා මුලින්ම සූදානම් වූයේ වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිය. ඔහු තමන්ට තිබෙන ප්‍රශ්න ගණනාවක් ගැන සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා වෙත ලිපියක් යවමින් විමසූ නමුත් ඊට සජිත්ලාගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එනිසා පසුගියදා වසන්ත සේනානායක විදේශ අමාත්‍යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ තමන්ගේ අනාගත දේශපාලන තීරණය රටට දන්වා සිටීමටයි. එහෙත් ඒ කතාව එළියට පැමිණීමත් සමඟ එජාප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් වසන්ත සමඟ ප්‍රශ්න සමතයකට සාකච්ඡා කළහ. එහෙත් ඔහුගේ තීන්දුව පැහැදිලි බව ඔවුනට පෙනුණි. ඒ සමඟ පක්ෂයෙන් අණ ලැබුණේ වසන්ත සේනානායක මහතා දරන විදේශ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහු ඉවත් කිරීමටත් එජාප සාමාජිකත්වය තහනම් කිරීමටත්ය. ඒ තීරණය ගිය අඟහරුවාදා රාත්‍රියේ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කළේය. කෙසේ වෙතත් පක්ෂ මාරු කිරීම් ගැන අපූරු ඉතිහාසයක් තිබෙන වසන්ත සේනානායක මහතාගේ තීරණය පසුපස ඊට සහාය දක්වන පිරිසක් සිටින බව පොහොට්ටුව ආරංචි මාර්ග කියයි. එහෙත් පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවක් තැබූ වසන්ත සේනානායක මහතා තමන් දරන කිසිම තනතුරකින් ඉවත් නොවන බවත් පුළුවන් නම් ඉවත් කර බලන ලෙසත් එජාපයට අභියෝග කළේය.

කෙසේවෙතත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන රැස්වීම මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේදී අද (8) සවස පැවැති අවස්ථාවේදී  සේනානායක මහතා පොදුජන පෙරමුණට එක්වන බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත් කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය. මේ දෙදෙනාගෙන් එක් කෙනෙක් රාජ්‍ය සේවකයෝ ගස් බැන්ඳා බවත් අනිත් කෙනා මිහින් ලංකා විනාශ කරලා රටේ සල්ලි විනාශ කරපු කෙනා බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්ව එම රැළියේදී ජනතාව ඇමතූ වසන්ත සේනානායක මහතා මෙසේද අදහස් දැක්වීය. ‘‘පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ රට ලේ විලක් බවට පත්වුණා.ඒ කාලේ සමහර ඇමැතිවරු එක එක දේවල් කිව්වා.එක්කෙනෙක් කිව්වා ළමයි රක්ෂණය කරලා තියෙන්නේ පාසල් යවන්න කියලා.අනිතා කෙනා කිව්වා බෝම්බ ප්‍රහාරයෙන් පසසේ ඇමරිකාවෙන් අපේ රටට සල්ලි ටිකක් ආවා කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුරතල්ලු ටික අද පක්ෂය විනාශ කරනවා. අපිට ලොකු ගමනක් යන්න තියෙනවා.මේ රට සංවර්ධනය කරන්න ඕන.ඔබේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. මේ රටේ ආරක්ෂාව ස්වෛරීභාවය රැකගන්න ඕන.ඒකට එකම සුසංයෝගය තමා මහින්ද ගෝඨා සුසංයෝගය.අපි ඒ ගමන යන්නේ අද එකතු වෙලා. ගෝඨා - මහින්ද සමඟ ඒ ගමන යමු.ඒ සඳහා ජයග්‍රාහි එකම මාවතද ගෝඨා - මහින්ද සුසංයෝගය‘‘ බවද වසන්ත සේනානායක මහතා මෙහිදී සඳහන් කළේය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පරිසක් එක්ව සිටියහ.

අගමැතිගේ ඉල්ලීමට හදිසියේ පාර්ලිමේන්තුව කැඳවයි

මේ අතර දේශපාලන පෙරළියක්ද යන්න සැක සංකා මතු කරමින් හදිසියේම අගමැතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා පවසන්නේ  නෙැවැම්බර් 11දා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙසේ පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

සජින් වාස් - විමල් විශේෂ හෙළිදරව්වක

පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්වක් කරමින් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂක ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හෝ වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඔහුගේ දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස  සඳහන් කරන ව්‍යාජ වීඩියෝ පටයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් සකස් කරමින් පවතින බවයි. “ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලව්වා දැන් සැලසුමක් තිබෙනවා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න කියලා කියවගන්න. අපි ඕනෑ කමින් කියනවා විශේෂයෙන්ම සහරාන්ගේ අන්තවාදයට කිරිපොව්ව කිසිම අන්තවාදියෙකුගෙන් අපි මනාපය බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔවුන්ගේ දෙවැනි මනාපයවත් පළමු මනාපයවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නෑ. ඉදිරිකාරයේදී යම් කිසි සැලසුමට අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා හරි වෙනත් දේශපාලඥයෙකු හරි ඔවුන්ගේ ස්වරූපය තියෙන කෙනෙක් හරි භාවිත කරලා දෙවැනි මනාපය හෝ ඡන්දය දෙන්න කියලා වීඩියෝ පටයක් එළියට ආවොත් ඒක අපේ වුවමනාවට සිදුවෙන දෙයක් නෙමයි. ඒක විශ්වාස කරන්න එපා. දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්න තීරණය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියනවා තම ඉල්ලීම් 13 ඉටු නොකළොත් ජනතාව පෙළ ගස්සනවා කියනවා. ඉදිරි සතියේදී විවිධ කුමන්ත්‍රණ කරයි. එ්වට රැවටෙන්න එපා.”

මේ අතර අම්බලන්තොට ජන හමුවකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාද විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් බව ප්‍රකාශ කළේය. 2010-2015 රාජ්‍ය පාලනයේ දූෂණය පිළිබඳව කථා කිරීමට තමන් සූදානම් බවත් තමන් දන්නා සියලු දේ කියන බවත් එම මාධ්‍ය හමුවේදී ඔහු පැවසී ය. එසේම තමන් සමග විවාදයකට එන ලෙසත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට අභියෝගයක්ද එල්ල කළේය. “මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දෝෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ. රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක (විවාදයකට) අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය ගැන කථා කරමු. හැබැයි මේක වෙන්නේ ඕන 13 දාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ”

ගෝඨාගේ ප්‍රතිපත්තිය ගැන ශ්‍රීලනිපයට අවුලක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජපන් සංචාරය නිමකොට පසුගිය සතියේ මෙරටට පැමිණියේය. ඔහු මෙරටට පැමිණියේ තවත් විශේෂ තීරණයක් ගෙන බවද දැනගන්නට ඇත. ඒ අනුව ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂික වන බව කලින් කීවද එලෙස නිර්පාක්ෂික නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන්නට තබන ජන හමු ගණනාවකට ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බව වාර්තා වුවත් තවමත් ජනාධිපතිවරයා ගෝඨාභයගේ වේදිකාවට ගොඩවී නොතිබිණි. එහෙත් ඔහුගේ දේශපාලන බලකොටුව ලෙස සැලකෙන පොළොන්නරුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන දේශපාලන ගෝලයකු වන වයඹ ආණ්ඩුවේ පේෂල ජයරත්නලා සංවිධානය කළ ජන හමුවට ඔහු එක් නොවීය. එහෙත් දයාසිරි ජයසේකර - දුමින්ද දිසානායක සමඟ පේෂල ජයරත්න මෙහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ගෝඨාභය ජනපති කළ යුත්තේ ඇයිද කියා පැහැදිලි කළේය. මේ තිදෙනාත් මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ දැන් ගෝඨාභයගේ ඡන්ද සටනේ ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිති. එහෙත් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වූ එක් කරුණක් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සතියේ පසුවූයේ අපහසුතාවෙනි. ජනාධිපතිවරණය හමාර වූ සැණින් මහ මැතිවරණයක් පවත්වා නව රජයක් බිහි කිරීමට ජනාධිපතිවරණයේදී ජනවරමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් වීමය. එහෙත් මෙම ප්‍රකාශය ගැන මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර ආදීහු අසතුටට පත්ව සිටියහ. ඔවුන්ට හිතවත් තවත් මන්ත්‍රීන් ගණනාවක් ද තදින් පාර්ලිමේන්තු ඡන්දයකට යාම ගැන විරෝධය පළකර තිබිණි. මේ බව රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනගන්නට ලැබුණේ ඔවුන් විරෝධය පළකළ දිනයේමය. මෙහිදී මහින්ද අමරවීරට පැහැදිලි කළේ “අපේ පක්ෂය මේ ජනාධිපතිවරණයෙන් දිනන බව නියතයි. එහෙම දිනලා අපට රනිල් අගමැති කරන්න පුළුවන්ද අපට තියෙන පාර්ලිමේන්තු ඡන්ද ගණනෙ හැටියට හදිසි ඡන්දයකට 2/3 ගන්න එක අමාරුයි. හැබැයි 113ක සරල බහුතරය හදාගන්න පුළුවනි. අපි කරන්නේ ඒකයි” යනුවෙන් අමරවීරට කතාව විස්තර කළ මහින්ද කීවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද 2015දී කළේ එසේම බවයි. මේ බව පාක්ෂිකයන්ට කියන්නැයි කී රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේ “මෛත්‍රී මහ මැතිවරණය ප්‍රමාද කර තිබ්බ නිසයි එදා අපිට මේ තරම් ආසන ගණනක් ගන්න හම්බවුණේ. ඒ වැඩේ අපි කරන්න හොඳ නෑ” කියායි. එවිට දයාසිරි හා අමරවීර මේ ගැන තිබූ කුකුස අයින් කරගත්හ.

අගමැති ගැටුමෙන් එජාපය අවුලක

එජාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අනාගත එජාප ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුවහොත් අගමැති තනතුරට අලුතෙන් කෙනෙක් නම් කරන වග වාර ගණනාවක් විවිධ ඉඟි පළකර තිබිණි. මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් තරමක් අපහසුතාවට පත්ව සිටියෝය. ඒ නිසා අරලියගහ මැඳුරේ මාධ්‍ය හමුවක් කැඳවා තමන් ජනාධිපතිවරණයෙන් පසුවත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බව කියන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය. මෙහිදී සජිත් ජනාධිපති ලෙස පත්වන බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කරන්නට අපේක්ෂා කරන වැඩකටයුතු ගැනත් රනිල් පැහැදිලි කළේය. එය සජිත් පිල කැළඹූ පුවතක් බවට පත්වූයේ නිමේෂයකිනි. මේ සතියේ සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් ජනපති වූ පසුව නව අගමැතිවරයෙකු පත් කර ගන්නා බවයි. මේ හේතුවෙන් එජාපය තුළ විශාල කැලඹීමක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මේ වන විට දේශපාලනයේ දැඩිව කතාබහට ලක්ව තිබෙන තවත් මාතෘකාවක් වන්නේ අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳවය. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුණේ පසුගිය සතියේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට පෙර පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිවිසුමට අදාළ තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කළේය. එහිදී ජනාධිපතිවරයා කීවේ ලෝක බැංකුව ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගණනාවක් මෙමඟින් නොයෙක් ගැටලු ඇති බව බව පෙන්වා දී ඇති බවයි. එසේම මානව හිමිකම් ප්‍රශ්න ඇතිවීමට ද ඉඩ ඇතැයි ජනාධිපතිවරයා කීය. නමුත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහසට එකඟ වූයේ නැත. ඔවුන් කීවේ එවැන්නක් ඇති නොවන බවය. එසේම මෙම ගිවිසුම රටට හිතකර ඉතා වාසිදායක එකක් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)