May 05, 2024

කරළියෙන් එහා: ජනපති මෛත්‍රී මැතිවරණ වේදිකාවට - වසන්තගේ දේශපාලන බෝම්බයෙන් සජිත් පිල අවුලට

දේශපාලන පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අවධානය යොමු වූ කාරණය වූයේ ශ්‍රීලංකා පොදුජාන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ගැනය. මේ අතර අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමත් සමඟම යළි දේශපාලනයේ දැඩි කතාබහක් මතුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්විය. “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම“ යන තේමාවට අනුව එළිදැක්වුණු එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන ආකාරය, ආර්ථිකය යළි ගොඩනැගීමේ සැලසුම්,සරසවි සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම,මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කාලයක් තුළ අවසන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සැලසුම් ඇතුළත් වී තිබිණි. පෙරවරු 10.12ට පමණ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුණු අතර,එය ප්‍රථමයෙන් මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීය. පසුව හින්දු,කතෝලික හා ඉස්ලාම් පූජකවරුන්ට එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වුණු අතර,ඉන් අනතුරුව එය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඩිජිටල් පිටපත එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරුණු අතර,ඉන් පසු පැමිණ සිටි සියළු දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු පිරිසට ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීම සිදුවුණේ ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අතිනි.  ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඒකීය රටක් වන බවයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් සැලසුම් දේශපාලන හිස් පොරොන්දු නොවන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ස්වාධීන වූ ජනපති මැතිවරණ වේදිකාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. දැනට ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු මෙම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ වේදිකාවට ජනාධිපතිවරයා ගොඩ වීමට නියමිතය. ජනාධිපතිවරණ කාලසීමාව තුළ ස්වාධීනව සිටින බවට මීට පෙර පැවසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයය වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවට ගොඩ වීමට නියමිතය.

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මංගල අතට ගනී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව සැලසුම් කර ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ප්‍රතිපත්ති සම්පාදක කමිටුව, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය ඇමතිවරුන් ඇතුළත්ව විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥයෝ ගණනාවක් සාමාජිකයෝ ලෙස කටයුතු කරයි. මෙම කමිටුවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, පක්‍ෂ නායකයන් ඊට අනුමැතිය ලබාදී ඇතැයිද වාර්තා වේ. මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, රවී කරුණානායක, චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පිරිසක් සහභාගි වී තිබේ.

සජින්ට එජාපයේ විරෝධයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇතැයි වාර්තා වේ. පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධනට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ. ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයන්ට මේ සම්බන්ධව කරුණු පෙන්වාදී ඇතැයි වාර්තා වේ. ලබන මහ මැතිවරණයේදී එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුනොවන ආකාරයට නාමයෝජනා සකස් කරන ලෙසත්, සජින්ද වාස් ගුණවර්ධන මහතාට නාමයෝජනා ලබානොදෙන ලෙසත් එම මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයෙකුට මෙම කරුණ පැහැදිලි කළ අවස්ථාවකදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට තීන්දු තීරණ ගන්නා බව එම නායකයා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

වෙල්ගම ශ්‍රීලනිපය අතට ගන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට නිල වශයෙන් තීන්දු කිරීම ගැන හිටපු ජනාධිපතිනී ශ්‍රීලනිප අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුවන්නේ දැඩි අමනාපයෙනි. පක්ෂය මෙම තීන්දුව ගන්නා විට ඇය සිටියේ ලන්ඩනයට ගොසිනි. ඉන්පසුව ඇය තමන්ට හිතවත් පාක්ෂිකයන් අමතා කතා කරමින් තමන් සමඟ එජාපෙට වෙනම කණ්ඩායමක් ලෙස සහය දීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකළේ දුරකතනයෙනි. පක්ෂ තීන්දුව සමඟ එකඟනොවන සංවිධායකයන් හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීහු ගණනාවක්ද ඇය සමඟ එක්වී සිටින බව වාර්තාවේ. ඔවුන්ගෙන් ඇතැමෙක් දැනටමත් එජාපෙ සමඟ එක්ව සිටිති. කෙසේ හෝ ඇය පක්ෂය ගත් මෙම තීන්දුව ගැන විරෝධය පළකරමින් පාක්ෂිකයන්ට විවෘත ලිපියක් මගින් ආයාචනයක් කර ඇත. එම ලිපිය මගින් හිටපු ජනපතිනිය වත්මන් පක්ෂ නායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර තම මව හා පියා ගොඩනැගූ පක්ෂය රැක ගන්නට දිවිහිමයෙන් කැපවන බවද කියා ඇත. මෙලෙස පක්ෂ නායකත්වය විවේචනය කරමින් හිටපු ජනපතිනිය කළ ප්‍රකාශය ගැන ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගෙන් මාධ්‍ය ප්‍රශ්න කළවිට ඔහු ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිනිය පක්ෂයේ ගරු අනුශාසිකාව වුවත් එතුමියට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවවත් ජයගත නොහැකිවූ බවය. එතුමිය ප්‍රායෝගික යථාර්ථය තේරුම් ගතයුතු යැයි ඔහු සදහන් කළේය. ඒ අතරතුර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ද ප්‍රකාශ කළේ පොහොට්ටුවට නොයන පාක්ෂිකයන් සමඟ ශ්‍රීලනිපය භාරගෙන පක්ෂය ගොඩනගන්නට තමන් සූදානම් බවය. අද හෙටම ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ යැයිද වෙල්ගම මහතා ප්‍රකාශ කර ඇත. ඒ සඳහා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සහාය ද ඔහු ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ සටනේ ප්‍රචාරක කටයුතු සොයා බලමින් ඒවාට උපදෙස් දෙමින් සිටින බව වාර්තා වේ. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා සිරිකොත කාර්යාලයේද මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් මැදිරියක් විවෘත කර එමගින් ද අවශ්‍ය සහය ලබා දෙන්නැයි නියම කර ඇත. සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසුම්පායේ වෙනම ප්‍රචාරක කාර්යාලයක සිට ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. වොක්ෂෝල් විදිය කාර්යාලයේ සිට තවත් ප්‍රචාරක මෙහෙයුමක් තිස්ස අත්තනායක ඇතුළු පිරිස විසින් ද සිරිකොතෙන් සෙසු ප්‍රචාරක මෙහෙයුම් ද දියත් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක කරු ජයසූරිය අතර හමුවක් ගිය අඟහරුවාදා පවත්වා තිබේ. එහිදී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් පාර්ලිමේන්තුවේ ප්‍රධානම ස්වාධීන තනතුර දරන නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට දායකවීම යෝග්‍ය නොවන බවයි.

සජිත්ගේ මැතිවරණ ප්‍රචාරණයෙන් වසන්ත ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය 23 වනදා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවටත් සිත් තැවුලටත් පත්ව ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරක් ලබා නොදුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස ද ලිපියක් යැවූ බව හෙතෙම කීවේය.‍ කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනානායක මහතා මේ බව සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස  ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් පසුපසට තල්ලු වී ඇති බවත් වසන්ත සේනානායක පෙන්වා දුන්නේය. ඊට අමතරව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ ද? රවී කරුණානායක යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් හෝ ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද? සජිත් ප්‍රේමදාස  යටතේ රිෂාඩ් බදියුදීන් කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේ ද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කොටස් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන මොහොතක රවුෆ් හකීම් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද? යන ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක කියා සිටියේය. ජනාධිපති ධුරයට පත්වූ පසුව පෙර සිටි දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප්‍රශ්නයට ද සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු බව ද වසන්ත සේනානායක කීය. තමාගේ ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා සතුටුදායක පිළිතුරක් ලබා දුනහොත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බවට දන්වමින් යැවූ ලිපිය ඉල්ලා අස් කරගන්නා බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දෙන බවත් සේනානායක වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

TNA තීරණය කල්යයි

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය 23 වනදා තීරණය කළේය. ජනාධිපතිවරණ පිළිබද සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විණි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම සාකච්ඡාව සඳහා එම සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයෙහිම නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකු පමණ සහභාගී වී තිබිණි. මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹිය යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය වී තිබුණි. ඉල්ලීම් 13ක යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ගිවිසුමකට අත්සන් තැබූ උතුරේ දේශපාලන පක්ෂ පහේම එකගත්වය මත ජනපති අපේක්ෂකයා පිළිබද තීරණය ගතයුතුව ඇතැයිද මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී කාහටද සහාය දැක්වන්නේද යන තීරණය කිරීමේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය.

 

 

 

 

Rate this item
(0 votes)