May 05, 2024

කරළියෙන් එහා: පිල්මාරුව ඇරඹෙයි - ගෝඨා ලඟට ආ විජයදාස ආණ්ඩුවේ රහස් හෙළි කරයි

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 29ක කාලයක් බැවින් දේශපාලන කරළිය එහා ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබේ. දැන් දැන් පිල් මාරුවීම් සිදුවන කාලය ආරම්භ වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එජාපයේ ප්‍රබලයෙකු පැමිණෙන බවට රාවයක් පැතිර ගියේය. එය සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට අද(18) එක්විය. ඒ අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද එක්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ද එක්ව සිටියේය. එහිදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විශේෂ හෙළිදරව්වක් කළේය. "අගමැති රනිල් වික්‍රමසිංහ ආයාචනය කළා අර්ජුන මහේන්ද්‍රන් නැතුව රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා. ඒ ආණ්ඩුවේ සත් සතිය ගත වෙන දවසේ මහ බැංකු මංකොල්ලය කළා. අපේ රටට විරුද්ධව ඉදිරිපත් වු ඇමරිකාවෙන් ගෙනාපු යෝජනාවලියට සම අනුග්‍රහයක් දක්වන්න අත්සන් කරන්න මංගල සමරවීර එකඟ වුණා. ඒකෙ භයානක කම මම ඔහුට පැහැදිලි කළා. ඒකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කළා. සමහරු කියවනා දොන් ජුවන් ධර්මපාල තමා මේ රටේ ලොකුම පාවා දීම කළේ කියලා. ඒක වැරදියි. අවුරුදු 30ක යුද්ධයකින් රට බේරගත්ත රණවිරුවෝ සියලුදෙනා ජාත්‍යාන්තර යුධ අපරාධ අධිකරණයට ගෙනයාමේ පාවාදීම කරපු දොන් ජුවන් ධර්මපාලගේ බාප්පලා දෙන්නෙක් තමයි රනිල් සහ මංගල කියන්නේ.”

“අපි ඇමරිකානු ඩොලර් බිලියන 70ක් ණය වුණු අවස්ථාවක හම්බන්තොට වරාය විකුණලා ගන්නේ එක බිලියනයයි. මං ඇහුවා ඉතිරි බිලියන 69ට වික්‍රමසිංහගේ මොන බූදලය ද විකුණන්නේ කියලා. මේ ගැන කතා කරනකොට මංගල, රාජිත මාව හැඳින්වුයේ ගෝත්‍රිකයෙක් කියලා. වෙනදා හැම අධිකරණ ඇමතිවරයෙක්ම දෝෂාරෝපණයට ලක්වෙලා තියෙන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරලා. නමුත් අධිකරණයේ ස්වාධිනත්වය හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වරදක් විදිහට තමයි මට දිගින් දිගමට ප්‍රහාර එල්ල වුණේ. ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් වෙන්න මම ඉඩ කඩක් තිබ්බේ නෑ ඒ නිසා තමයි අද රටේ ජනතාවට දැනගන්න අවස්ථාවක් ලැබුණා ඇත්තටම බැඳුම්කර හොරු කවුද කියලා. මට හොඳටම විශ්වාසයි එක්සත් ජාතික පක්ෂය ටී එන් ඒ එකේ ඉල්ලීම් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළා. ඉන් එහාට යන එක නතර කරන්න මම කටයුතු කළා. මම මේක කැබිනට් මණ්ඩලයේදී, පාර්ලිමේන්තුවේදී කිව්වා. ඇමතිවරයෙකුගේ ගෙදරක සිට ලියුමක් සකස් කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර්වරයෙකුගේ අත්සන ලබාගැනීමට කටයුතු කළා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් අය මෙම ලියුම ගියා කියලා දන්නේ නෑ. රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීයි මෙම ලිපිය සකස් කළා. ඔහුව අත්අඩංගුවට ගැනිමට නියමිතව තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. මේක මම ජනපතිට අගමැතිට කිව්වා. පස්සේ ඔවුන් ඒක වැළැක්වූවා. මේ ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණය ගත්තේ නැතිනම් අපි ඔක්කෝම විදේශයන්ගේ වහල්ලු බවට පත් වෙනවා." විජයදාස මන්ත්‍රීවරයා එජාපයේ පතුරු ගසමින් මාධ්‍ය හමුව ඇමතුවේය.

අතුරු සම්මත ගිණුම එයි

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන 23 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එදින පෙරවරු 10.30 සිට සවස 06.30 දක්වා පාර්ලිමේන්තුව රුස්වීමටත්, මීට පෙර තීරණය කරතිබු පරිදි පසු දිනයේ (ඔක්තොම්බර් 24)පාර්ලිමේන්තුව රැස් නොවීමටත් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී අතුරු සම්මත ගිණුමට අමතරව පනත් කෙටුම්පත් 03 ක් දෙවන වර කියවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටද තීරණය වි තිබේ. එමෙන්ම මුදල් පනත යටතේ නියමය,වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,නිශ්පාදන බදු පනත යටතේ නියමය, විශේෂ වෙළද භාන්ඩ බදු පනත යතතේ නියමයන් 06 ක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, සුරා බදු ආඥා පනත යටතේ රීති ,මුදල් පනත යතතේ නියෝග 03 ක් හා,මුදල් ව්‍යාපාර පනත යතතේ නියෝග ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය. අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව එදිනම පෙරවරුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව රැස් වී, ඒ පිළිබද සාකච්ජා කිරීමට කටයුතු කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කාරක සභාවේ සාමාජිකයන්ට දන්වා තිබේ. අතුරු සම්මත ගිණුම පිළිබද විවාදයට වැඩි ඉඩ කඩක් ලබාදීම සඳහා ලබන 23 වැනිදාට නියමිත වාචික ප්‍රශ්න සඳහා වෙනත් දිනයක ලබා දීමටද කාරක සභා සාමාජිකයෝ තවදුරටත් තිරණය කළහ.

රිෂාඩ්ගේ අතාවුල්ලාගේ ප්‍රබලයින් හකීම් ලඟට

ජනාධිපතිවරණය ලංවීමත් සමඟම දේශපාලනඥයින් පක්ෂයෙන් පක්ෂයට පනිමින් පිල් මාරුවට සූදානම් බව වාර්තා වේ. පසුගියදා අතාවුල්ලාගේ සහ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂවල නියෝජ්‍ය නායකයින් දෙදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්විය. ඒ.එම්. ආතාවුල්ලාගේ පක්ෂය ජාතික කොංග්‍රසයයි. එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා එම්.එස්. උදුමාල් ලෙබ්බේය. ලෙබ්බේ නැගෙනහිර පළාත් සභා ඇමැතිවරයෙකි. රිෂාඩ් බදියුදීන්ගේ සමස්ථ ලංකා මක්කල් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා එ්.එම්.‍ෙජමිල්ද ‍නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකි. ඔහුද පසුගියදා ආධාරකරුවන් පිරිසක් සමඟ පැමිණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසමයට සහාය පළ කළේය. මේ දෙදෙනාම මීට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ව සිටි අතර පසුව දේශපාලන හේතූන් මත එම පක්ෂය අතහැරියහ.

මේ අතර ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පසුගියදා කාත්තන්කුඩි ප්‍ර දේශයේ සංචාරයක නිරත වූයේය. පසුගිය ඉරිදා ඔහු සිය පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කාත්තන්කුඩිය හිස්බුල්ලාගේ බල ප්‍ර දේශයයි. හකීම් කාත්තන්කුඩියට ගොස් හිස්බුල්ලා දැඩි ලෙස විවේචනය කළේය. ඔහුගේ ක්‍රියාකලාපය දෝෂාරෝපණයට ලක් කළේය. හකීම් කීවේ හිස්බුල්ලා ජනාධිපතිවරණයට තරඟ කරන්නේ කිසියම් පක්ෂයක අවශ්‍යතාවය ඉටු කිරීමට බවය.

ගෝඨා - ශ්‍රීලනිප ගිවිසුම සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වූ පසුව දෙපාර්ශවයේ මන්ත්‍රීවරු එක්ව වැඩ කිරීම ආරම්භ කර තිබේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ වූ පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සත් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම හෙට දිනයේදී උත්සවාකාරයෙන් කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් වැඩකටයුතු සූදානම් කරමින් ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ සටනට මුලපුරා තිබේ. මේ අතර පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් එකට වැඩ කිරීමට ආරම්භ කර තිබුණද ඇතැම් ප්‍ර දේශවල ඒ තත්තවය වෙනස් වී තිබේ. හෝමාගම පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිප දේශපාලන රැස්වීම් දෙකක් එකම දවසේ එකම වේලාවේ ස්ථාන දෙකකදී පැවැත්විණි. එක් රැස්වීමක් බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ශ්‍රීලනිප හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාක්ෂිකයන් චෝදනා කරන්නේ පක්ෂ දෙක එකතු වුවද ඒ ඒ දේශපාලනඥයන් වෙන වෙනම කටයුතු කරන බවයි. මේ අතර හෝමාගම ප්‍රා දේශීය සභාවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව් දෙනාට සහ ගාමිණි තිලකසිරිට පසුගියදා බන්දුල ගුණවර්ධනගෙන් විශේෂ ආරාධනායක් ලැබී තිබිණි. බන්දුල ඔවුන්ට දැනුම් දී තිබුණේ සිය කාර්යාලයට පැමිණෙන ලෙසය. තමන්ගේ කාර්යාලයට පැමිණි ශ්‍රීලනිප දේශපාලනඥයින් පිළිගැනීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළේය. ඔහු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉහළින් පිළිගන්නා බව සඳහන් කළේය. මේ අතර ශ්‍රීලනිප දේශපාලනඥයින් එන අතරේ තවත් සුවිශේෂී සිද්ධියක් සිදු වූයේය. ජනක වැලිවත්ත හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා බන්දුල ගුණවර්ධනගේ කාර්යාලයේ සිටියේය. ජනක වැලිවත්ත හිටපු පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරි අතර විරසකයක් තිබුණේය. ගාමිණී තිලකසිරි පිළිගැනීමට ජනක වැලිවත්ත එතැන සිටියේ නැත. ගාමිණී තිලකසිරි දුටු විගස ඔහු මඟහැර ගියේය. ඒ පිළිබඳව එතැන සිටි පිරිස අතර කතාබහක්ද ඇතිවිය. “අපි හිතුවේ හූ කියයි කියලා. එහෙම නොකර ගිය එකත් හොඳයි” කියා එතැන සිටි පිරිස අතර කතාබහට ලක්විය.

  

Rate this item
(0 votes)