May 05, 2024

කරළියෙන් එහා: ජනපති සටන ඇතුළේ පෙරළියක්! ගෝඨාට වෙනුවට චමල් එයි

දේශපාලනයේ තීරණාත්මක සටන මේ සති අන්තයෙන් ඇරඹෙන බව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පෙන්වා දෙයි. ජනපති සටනට තවත් අපේක්‍ෂකයන් කිහිපදෙනෙකුගේ නම් කරළියට පැමිණ තිබූ අතර එය පසක් කරමින් ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර කළේය. ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නොවන, අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඉදිරියේදී දේශපාලන පෙරළි රැසක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

මෙවර ජානාධිපතිවරණයේදී තරඟ කිරීම සඳහා අපේක්‍ෂකයන් විස්සකට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ වනවිට ජානාධිපති අපේක්‍ෂකයෝ විසි දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කර සිටිති. ඇප මුදල් බාරගන්නා අවසාන දිනය ඉරිදාවන අතර එදින දහවල් 12 ට පෙර ඇප මුදල් තැන්පත් කළ යුතුය. ජනාධිපතිවරණයට දේශපාලන පක්‍ෂයකින් හෝ ස්වාධීනව හෝ තරඟකරත් නම් අනිවාර්යෙන්ම ඇප මුදල් තැන්පත් කළ යුතුය. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයකු වෙනුවෙන් රුපියල් පනස් දහසක්ද ස්වාධීන අපේක්‍ෂකයකු වෙනුවෙන් රුපියල් හැත්තෑපන්දහසක්ද ආදී වශයෙන් ඇප මුදල් තැන්පත් කිරීම අනිවාර්යය. එහෙත් එම ඇප මුදල පිළිබඳව මැතිවරණ කොමිසම සතුටු වන්නේ නැත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනුයේ ජනාධිපති අපේක්‍ෂකයකුගෙන් මීට වඩා ඇප මුදලක් අය කළ යුතු බවය.

දැන් අපේක්‍ෂකයෝ දහය පහළොව එහෙමත් නැත්නම් විසි ගණනක් වුණත් තරගයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා බැලට් පේපර් එක දික් වෙනවා. මැතිවරණ කොමිසමේ කාලය නිලධාරීන්ගේ කාලය නාස්ති වෙනවා. අනවශ්‍ය ලෙස අපේක්‍ෂකයන් දැම්මොත් කොමිසමට සෑම අපේක්‍ෂකයකුටම සමාන ලෙස සලකන්න වෙනවා. ගුවන් කාලය රජයේ මුදල් මේ සියල්ලම නාස්ති වෙනවා. මේක සීමා කරන්න ඕනෙ. ඒ නිසා ඇප මුදල සැලකිය යුතු ගණනකින් වැඩිකළ යුතු බවට අපි යෝජනා කරනවා යනුවෙනි. මේ අතර ඉකුත් දිනවල ඇප මුදල් සම්බන්ධයෙන්ද ගැටලුකාරී සහ අලුත් ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු වෙන බවත් පෙන්නුම් කළේය. ඇතැම් දේශපාලන පක්‍ෂ කිසියම් අපේක්‍ෂකයකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පසුව අවශ්‍ය වුවහොත් එම අපේක්‍ෂකයා ඉවත් කළ හැකිද එම නම වෙනුවට වෙනත් නමක් ඉදිරිපත් කළහැකිද ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් මැතිවරණ කොමිසමෙන් විවිධ පාර්ශ්ව විමසා තිබිණ. මැතිවරණ කොමිසමටද එම ප්‍රශ්නවලට සෘජු ලෙස පිළිතුරු දෙන්නට හැකි වුණේ නැත.

එහෙත් කොමිසමේ එකඟතාවයෙන් සියලු දෙනා සමග සාකච්ඡාකොට එවැනි තත්ත්වයකට පැහැදිලිවම ඉඩ ප්‍රස්ථාව ඇති බව මැතිවරණ කොමිසම අවබෝධකරගෙන තිබිණ. කිසියම් අපේක්‍ෂකයකු දේශපාලන පක්‍ෂයකින් ඇප මුදල් තැන්පත් කරලා පක්‍ෂයේ ලේකම්වරයා මගින් නාම යෝජනා පත්‍රයක් අත්සන් කරගෙන දේශපාලන පක්‍ෂය මාරු කළොත් එහෙම නැත්නම් විදේශ ගත වුණෙත් මොකද වෙන්නේ. ඒ නිසා පක්‍ෂයේ නායකයාට ලේකම්ට වෙනත් නමක් ඇතුළත් කර ගැනීමට ඉඩ තිබෙනවා. පක්‍ෂ ලේකම්වරයා ලිපියකින් කොමිසමෙන් ඉල්ලීමක් කළොත් අයට අපේක්‍ෂකයාගේ නම වෙනස් කරන්න පුළුවන් යැයිද මැතිවරණ කොමිසමේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැහැදිලි කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කරන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛණය හේතුවෙන් තරුණ ඡන්ද ලක්‍ෂ තුනකට ඡන්දය දීමේ අවස්ථාව අහිමි වී තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට ඡන්දය භාවිත කරන්නන්ගේ වයස අවුරුදු 19යි මාස 6 ක් වන බවට ගණන් බලා තිබේ. ඊට හේතුව 2018 ඡන්දහිමි නාමලේඛණය භාවිතයට ගැනීමයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වු වහාම පරිපූරක ලේඛනයකට නම ඇතුළත් කොට ඔවුන්ට ළගම ඡන්දයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසාදීමට නව නීතියක් සකස් කිරීමට විවිධ පාර්ශව උත්සාහ ගත්තේය. මැතිවරණ කොමිසමේ උනන්දුව හා යෝජනාව මත එවැනි නීතියක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වී ඇති නමුත් ඉන් ඉදිරියට සිදුවිය හැකි නීතිමය ක්‍රියාමාර්ග  කිසිවක් තවමත් ගෙන නොමැත. ඒ නිසා පළමුවරට ඡන්දය දීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට මෙවර එම අවස්ථාව අහිමිවේ.

ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා අනවසර ප්‍රචාරක කටයුතු වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සුදානම් වේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන්නන්ට නඩු පැවරීම පිළිබඳ කටයුතු සහ එකී වැරදි සිදු කරන ස්ථාන පරීක්‍ෂා කිරීමට යෑම සඳහා සාම නිලධාරීන් පත්කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද සාම නිලධාරීන් ලෙස පත්කොට තිබෙන අතර ඔවුන්ට බලය පවරා තිබේ.

සාමාන්‍යයෙන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කළ අවස්ථාවලදී පොලිසිය නඩු පවරන ආකාරය අනුව ඉතා සුළු දඩුවමක් හිමිවෙන නමුත් සෑම නිලධාරීන් මගින් නීතිමය කටයුතු සිදුකළ පසුව නිසි දඩුවම් ලබාදීමට හැකිවනු ඇතැයිද මැතිවරණ කොමිසමේ විශ්වාසය වී තිබේ.

ජනපති සටන උණුසුම් වෙයි

මේ අතර ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වෙනුවෙන් ඉදිරියේදී තීව්‍ර සටනක් නිර්මාණය වනු ඇත. ජනාධිපතිවරණය අතරතුර අධිකරණයට ගොනු කර ඇති නඩු පිළිබඳව මේවන විට අවධානය යොමුව තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම මේවන විට අභියාචනාධිකරණයේදී පැවැත්වෙන අතර සියලු දෙනාගේ අවධානය එම කාරණය දෙස යොමු වී තිබේ. මේ ලිපිය ලියන මොහොත වන විට එම රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය පිළිබඳ තීන්දුව අද සවස 6.00ට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සලකා බැලෙමින් පවතී.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පෙත්සම ගොනු කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරට සිය සහෝදරයා වූ ඉන්ද්‍රනාත තේනුවර මහතාගෙන් දැඩි විවේචනයක් එල්ල කළේය. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත‍්‍රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවසීය. තරග කර ජයග‍්‍රහණය කරනවා වෙනුවට විරුද්ධවාදීන්ට කකුල් මාට්ටු යෙදීමට තම සොහොයුරා ගෙන ඇති උත්සාහය තමන් හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය  සම්බන්ධයෙන් යම් ගැටලූවක් තිබුණේනම් ඒ සම්බන්ධයෙන් මෙයට පෙර ක‍්‍රියා කිරීමට තිබූ බවත් පැවසූ ඉන්ද්‍රනාත තේනුවර මහතා අවසන් මොහොතේ තම සොහොයුරා සිදුකළ මෙම ක‍්‍රියාදාමය පිළිබද තමන් පසුතැවෙන බවත් සදහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් දැවැන්ත දේශපාලන ප‍්‍රවාහයක උවමනාව මත තම සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් චෝදනා කරන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණයට අදාල තවත් නඩුවක් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා ගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි. අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මළල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය. මෙම පෙත්සම ඊයේ (3) සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටළු සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කළේය. මෙම පෙත්සමෙන් ලබන 7 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා  තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.

මරණ දඩුවම ජනපති මතක් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නාලන්දා  විද්‍යාලයේදි පැවති උත්සවයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දීමේ වැඩපිළිවෙල අකර්මණ්‍ය වීමට හේතුව පැහැදිලි කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට අඛණ්ඩව නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පවා ජනාධිපති ලෙස අත්සන් තැබුවත් දේශපාලන භේදයකින් තොරව වගකිව යුතු පිරිස් ඊට එරෙහිව නැගී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිවරයා හෙළි කළේය.

ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මා ආරම්භ කළ වැඩසටහන් සාර්ථක කැරගැනීමටද ඔහුගෙන් විශාව පිටුවහලක් මගපෙන්විමක් ලැබුණා. මා ජනාධිපතිවරයා ලෙස මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රටට සිදුවන විනාශය දැක එය රටෙන් තුරන් කිරිමට විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. කවුරුන් කෙසේ කීවද අප්‍රෙල් 21 පාස්කු දින ප‍්‍රහාරය පිටුපස තිබෙන්නේ මක්ද්‍රව්‍යවලට එරෙහිවිමක් යැයි මම විස්වාස කරනවා.  
අපි පහුගිය අප්‍රෙල් මාසේදී බක්මහ දිවුරුම ලබාදෙමින් ප‍්‍රතිඥා දුන්නා මත් උවදුර පිටුදකින බවට. අපි ඒ දිව්රුම දුන්නා සේම කාගෙන් විරෝධතා එල්ල වුණත් මත් උවදුරෙන් තරුණ පරපුර විනාශ වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුයි. මොන බාධක ආවත් මතට එරෙහිව අප ගෙන ගිය ව්‍යාපාරය ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගත්තා.“ යැයි ජනාධිපතිවරයා ඉටු කළ කාර්යාභාරය ගැන පැහැදිලි කිරීමක් කරමින් පැවසී ය.

පිළිතුරු දෙන අපේක්ෂකයින් හා සැඟවෙන අපේක්ෂකයින්

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු නාම යෝජනා භාරදීමටත් පෙර සිටම උණුසුම් අයුරින් රට පුරා සිදුවෙමින් තිබේ. මෙවර එහි විශේෂත්වයක් වන්නේ ජනතා සභාව නම් ජනතාව සමග සිදුකරගන්නා සංවාද අවස්ථාවක් සහිත සම්මන්ත‍්‍රණ මාලාවය. ඇතැම් අපේක්ෂකයින් මාධ්‍යවේදීන්ට පවා ප‍්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන තත්වයක් යටතේ මෙම ජනතා සභාවලදී අනුර දිසානායක විසින් තම දේශනයට පෙර මහජනතාවට ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදී ඇත. ”මේ සභාවේ අහපු ප‍්‍රශ්නවලින් හුඟක් ඇහුවේ බලයට ආවාට පස්සේ කරන දේවල් ගැන. ඒ කියන්නේ, ජයග‍්‍රහණය පිළිබඳව තියෙන විශ්වාසය. ඒක හොඳ දෙයක්.” මාතර රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාවේ පැවති ජනතා සභාවේදී අනුර දිසානායක කීවේ ජනතාව විසින් ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තම කථාව ආරම්භ කරමිනි. ”ආස්ක් ඒකේඞී” නමින් ෆේස්බුක් සමාජජාලය ඔස්සේ අනුර කුමාර දිසානායක විසින් සතිපතා සිදුකරනු ලබන සජීවී සංවාදයද තරුණ පරපුර අතර අතිශය ජනප‍්‍රිය වී ඇති අතර මෙසේ සජීවීව ඉදිරිපත් වන ප‍්‍රශ්නවලට ඔහු ඍජුව පිළිතුරු සැපයීම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විසින් සිදුකරන ලද නවතම අත්හදා බැලීමක්ද වේ. 

දියුණු රටවල මැතිවරණ කාලයන්හිදී මැතිවරණ අපේක්ෂකයන් හා ජනතාව අතර පැවැත්වෙන සංවාද සුලභ තත්වයක් වන නමුත් ලංකාවේ ජනාධිපතිවරණයේ බොහෝ අපේක්ෂකයන් ජනතාව සමග වන සංවාදයෙන් පළා යාම සුලභ තත්වයක් වී තිබේ. පසුගියදා ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන්ට අවස්ථාව දී තිබූ නමුත් සෙසු අපේක්ෂකයන් එම අවස්ථාව මඟහැර යාම හේතුවෙන් ජාතික ජන බලවේගයටද එම අවස්ථාව අපතේ ගියේය. මෙම ඔක්තෝබර් 05වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් කැඳවා කරනු ලබන සංවාදය සඳහාද මේ වන තෙක් අනුර කුමාර දිසානායක හැරෙන්නට වෙනත් කෙනෙක් පැමිණීම සහතික කර නැති බව දැනගන්නට තිබේ.

මේ අනුව අනුර දිසානායක හැරෙන්නට සෙසු අපේක්ෂකයින් ජනතාවගෙන් සැඟවීමට දරන උත්සාහය කැපී පෙනෙයි. ප‍්‍රසිද්ධ රූපවාහිනී සංවාදයක් සඳහා පැමිණෙන ලෙසට අනුර දිසානායක විසින් කරන ලද අභියෝගයද ප‍්‍රධාන යැයි කියාගන්නා අපේක්ෂකයින් විසින් මඟහැර තිබීමද විශේෂත්වයකි.      

මහින්ද පක්ෂ නායකයින් රැස් කරයි      

මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම සජිත් ප්‍රේමදාසද සුබවාදී පොරොන්දු ලබා දෙමින් පරිසර හිතකාමී ප්‍රචාරක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී තිබේ. ඒ අනුව නාම යෝජනා බාරදීමෙන් පසුව පොලිතින් වලින් තොර සටනක් ඇතිවිය හැකි අතර මැතිවරණ කොමිසම අපේක්‍ෂා කර ඇත්තේද පොලිතින් හා පෝස්ටර් ආදියෙන් තොර ප්‍රචාරක වැඩපිළිවෙලක් පිළිබඳවය.

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්වීමක් ඉකුත් සඳුදා පැවැත්විණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළකරන දේශපාලන පක්‍ෂවල නායකයන් සඳහා පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයට රැස්වූයේ ඒ සඳහා සහභාගි වීමටය. පක්‍ෂනායකයන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ ගෝඨාභයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙනි. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන රොමේෂ් සිල්වා, අලි සබ්රි සහ මනෝහරන් ද ඒ අවස්ථාවේ විපක්‍ෂ නායක නිල නිවසට රැස්ව සිටියහ.

නීතිඥයෝ පක්‍ෂනායකයන් හමුවේ කරුණු පැහැදිලි කළහ. නීති තර්ක විතර්ක ගෙනහැර පාමින් ගෝඨාභය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරන ආකාරය පැහැදිලි කළහ. එහිදී මහින්ද රාජපක්‍ෂ කීවේ “නඩු නම් ඉතින් අපි කීයකට පැටලුව ද? මේවා දේශපාලන පළිගැනීම්. මෙතන නීතියට පටහැනි දෙයක් වෙලා නැහැ. හැම දේම නීත්‍යනුකූල ලෙසයි කරලා තියෙන්නේ” යනුවෙනි. ගෝඨාභය රාජපක්‍ෂ ද එහිදී කරුණු පැහැදිලි කළේය.
එහිදී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂනායකයන්ට තවත් කරුණක් පැහැදිලි කළේය. “මම ජනාධිපති තුමාත් එක්ක සාකච්ඡා කළා. ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම පොහොට්ටුව වෙනස් කරන්න. පොදු ලකුණක් අවශ්‍ය බව කියනවා” යැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ අදහස මහින්ද පක්‍ෂනායකයන්ට පැහැදිලි කළේය. මහින්දගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ වාසුදේව නානායක්කාර ද අදහස් දැක්වීය. “අපි දැන් සෑහෙන්න දුරක් කැම්පේන් එක ගෙනිහින්. ගඟ මැදදි බෝට්ටු මාරු කරන්න බැහැ. ඕක මුලින් කරන්න තිබ්බා. අපි ජනාධිපතිවරයාට කරුණු කාරණා තේරුම් කරලා දෙමු. මේ වෙලාවේ මෙහෙම යමු. අපිට මහ මැතිවරණයේ දී පොදු ලකුණකින් එන්න පුළුවන්යැයි වාසු කීවේය.

එහිදී පක්‍ෂ නායකයන් සියලු දෙනා එක්වී විපක්‍ෂ නායකවරයාට බලය පැවරුවේ පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡා ඉදිරියට ගෙන යාමටය.

මේ අතර පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්විණ. මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී එම හමුව පැවැත්විණ. පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ද ප්‍රධාන මාතෘකාව වූයේ ගෝඨාභයගේ නඩු කටයුත්ත ගැනය. මහින්ද සහ ගෝඨාභය සියලු දෙනාටම කරුණු පැහැදිලි කළහ. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සම්මේලනය 02 වැනි දා කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී පැවැත්විණි. එම සමුළුවට සහභාගි වීමට ගිය ගෝඨාභයට වැහැර ක්‍රීඩාංගණයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් හමුවෙන්නට අවස්ථාව ලැබුණි. පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට විවිධ තරාතිරමේ නිලධාරීහු පිරිසක් මෙහි වූහ.
 
තමන්ට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් නිලධාරීහු මෙහිදී ගෝඨාභයට කරුණු ඉදිරිපත් කළහ. එම ගැටලුවලට සාවධානව කන්දුන් ගෝඨාභය ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න, උසස්වීම් ගැටලු, දීමනා යනාදිය සම්බන්ධයෙන් තමා ඉදිරියේ දී සොයා බලා විශේෂ වැඩපිළිවෙළක් සකසන බවට ප්‍රතිඥා දුන්නේය.
  
පොහොට්ටුවේ කාර්යාලයට පැමිණිලි

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීමටත් පෙර සිටම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදුකරන බවට මේවනවිට චෝදනා නැගී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයට දිනපතා මෙවැනි පැමිණිලි රැසක් ලැබෙමින් පවතියි. මේ ගැන දැඩි අවධානයට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පොදුජන නීතිඥ සංගමයේ ක්‍රියාකාරීන්වන නීතිඥ අතුල ද සිල්වා, නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇතුළු හිතවත් නීතිඥයන් කිහිප දෙනෙකු කැඳවා පසුගිය සතියේ උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් දැඩි හා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. තමාට දිනපතා විශාල වශයෙන් එවැනි පැමිණිලි ලැබෙන බවත්, මැතිවරණ කොමිසමටත් මෙම පැමිණිලි මෙහෙයවීම අපහසුවී ඇති බවත් පැවසූ බැසිල් නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලයේ තමන්ගේ කාර්යාලයට ඉතා සමීපයෙන් පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ කාර්යාලය පිහිටුවන ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර මඩ ගසන පුද්ගලයන්ට නඩු පැවරීම වේගවත් කරන ලෙසත් උපදෙස් දුන්නේය. ඒ අනුව පසුගිය අගහරුවාදා පෙරවරුවේ සභාපති ජනාධිපති නීතිඥ දයාරත්න මහතා ඇතුළු නීතිඥයන් පිරිසකගේ ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පක්ෂ කාර්යාලයේදී මෙම නීතිඥ කාර්යාලය විවෘත කෙරුණි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 October 2019 17:36