May 05, 2024

කරළියෙන් එහා: සජිත් පෙරළියට සැරසෙයි - රනිල් ජනපති සටනට

September 08, 2019

තවමත් දේශපාලන කරළියේ උණුසුම දිනෙන් දින ඉහල යාමට හේතුවී තිබෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ කතා බහ නිසාය. තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම නිසා එජාපය අර්බුද රාශියට මුහුණු පෑමට සිදුව තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය පසුගිය 03 වනදා පැවැති අතර ඉන් දින කිහිපයකට පසු ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබිණි. ඒ සමගම එජාපය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද (පොහොට්ටුව) දැඩි කලබලකාරී තත්ත්වයකට පත්ව තිබිණි. දේශපාලන විචාරකයින් පවසන්නේ මෙවර ජනාධිපතිවරණය දැඩි තරඟකාරී තත්වයකට පත්වන බවත් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ඉක්මවා ඡන්ද ලබා ගැනීමට හැකියාවක් නොපවතින බවය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකම මේවන විට අර්බුද ගණනාවකට පත්ව සිටීමත් ඉන් පරිබාහිරව එම ප්‍රධාන පක්ෂ දෙකේ බලවේග වෙනම තරඟ කිරීමට සැලසුම් කර තිබීමත්ය. මෙවර ජනතා විමුක්ති පෙරමුණද ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟ ජනාධිපතිවරණයේ ඡන්ද පදනම වෙනස් ආකාරයක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. සජිත් ප්‍රේමදාස  මහතා එජාපයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් නොකලහොත් එජාපය දෙකඩ වන බවත් එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් වාර්තා වේ. මේවන විටත් එජාපයේ පහල මට්ටමේ දේශපාලකයින් බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට කැමැත්ත පළ කර ඇත.

පසුගියදා පැවැති ශ්‍රීලනිප සංවත්සරයේදී කාගේත් අවධානය යොමු වූ කරුණක් වූයේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයින් කිහිප දෙනෙකුද එම සංවත්සරයට එක්ව සිටීමයි. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර,  දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩ්ව් ගුණසේකර සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ශ්‍රීලනිප සංවත්සරයට සහභාගී සිටි අතර ජනාධිපතිවරයා එම සමුළුවට පැමිණි පසු ඔවුන් සමග කතාබහ කිරීමටද අමතක නොකලේය. ජනාධිපතිවරයා පැමිණ ටික වේලාවකට පසු පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පිටව ගිය අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද එම සමුළුවට සහභාගී වූයේය.

ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික මහා සමුළුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ වෙනත් අර්ථකතන කීපයක්ම තිබෙන බවටද ඇතැම් දේශපාලන විචාරකයෝ මත පළකරති.

ජනාධිපතිවරයා ලොකු කතාවක් කිව්වා. ජනාධිපතිවරණයට වඩා මහා මැතිවරණය වැදගත් බව කිව්වා. ජනාධිපති බලතල වලට වඩා අගමැතිවරයා සතු බලතල වැඩි බවත් කිව්වා. මේ ඔක්කොම බැලුවම එතුමා කලින් මහමැතිවරණයක් තියන්නත් පුළුවන් යැයි ශ්‍රී ලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් ඉකුත්දා ප්‍රකාශ කර තිබිණ. එහෙත් එවැන්නකට තිබෙන ඉඩකඩ ඉතාම සීමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ මස දහවැනි දින සිට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනතට අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ. ඒ අනුව මේ මස 10වැනි දින සිට මැතිවරණ කොමිසමට බල පැවරෙන අතර එැතැන් සිට දින 16 ත් දින 21ත් අතර කාලය තුළදී නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත. නාමයෝජනා දිනයේ සිට සති හතරක් සති හයක් අතර කාලයේදී ඡන්දය පැවැත්වීමේ දිනය තීරණය කෙරෙන අතර එම දිනය තීරණය කිරීමේ සම්පූර්ණ බලයද කොමිසමට හිමිවේ. ඒ අනුව මැතිවරණ කොමිසමට නොවැම්බර් මස 15වැනි දින පහසුවෙන්ම ජනාධිපතිවණය පැවැත්විය හැකිය. එහෙත් පවතින වාතාවරණය අනුව එදින ඡන්දය පැවැත්වීමට වඩා බොහෝවිට නොවැම්බර් මස අවසාන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් එසේත් නැතිනම් නොවැම්බර් මස අවසාන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් එසේත් නැතිනම් නොවැම්බර් මස තුන්වන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි පැවසේ. 1971 අංක 29 දරන නිවාඩු පනතේ උපලේඛනයේ සඳහන් ආකාරයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන දිනයක මැතිවරණය පැවැත්විය යුතුය. ජනාධිපතිවරණය සඳහා නාමයෝනා බාරගන්නා දිනයට පෙරදින දහවල් 12 ට පෙර ඇප තැන්පත් බාරදීමටද අපේක්‍ෂකයන්ට සිදුවේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්‍ෂයකුගේ ඇප තැන්පත් මුදල රුපියල් 50000 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයකු සඳහා වන ඇප තැන්පත් මුදල රුපියල් 75000 කි. පිළිගත් දේශපාලන පක්‍ෂයක ලේකම්වරයා විසින් නාමයෝජනා පත්‍රය බාරදිය යුතුවන අතර ස්වාධීන අපේක්‍ෂයකුගේ නාමයෝජනා පත්‍රය ඡන්දදායකයකු විසින් යෝජනා කළ යුතුය.

ශ්‍රීලනිප - පොහොට්ටු දීගය අසාර්ථකයි
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කලක සිට පැවැති සාකච්ඡා මේ වනවිට අසාර්ථක වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉල්ලීම් හා යෝජනා වලට එකගවිය නොහැකි බවය.

ගෝඨාභය රාජපක්‍ෂ කමිටුවක් මගින් නම් කරන්න කියනවා. පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණුක් අවශ්‍ය බවට යෝජනා කරනවා. මේවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ශ්‍රිලනිපයේ පිරිසකට වෙනත් අදහසක් තිබෙනවා. සමහරවිට සජිත් අපේක්‍ෂකයා වුණොත් ශ්‍රීලනිප පිරිසක් ඔහුට උදව් කරන්න පුළුවන් යැයි පොහොට්ටුවේ ජේ්‍යෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

 මේ අතර නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධයෙන්ද විවිධ ආරංචි පැතිර යමින් තිබේ.
නිමල් අපිත් එක්ක සම්බන්ධ වේවි එදා ශ්‍රිලනිප සංවත්සරය දවසේ ජනාධිපතිතුමා කළ කතාව සැරවැඩියි කියලා නිමල් එතන ඉදපු කීප දෙනෙක් එක්ක දොස් කියලා තියෙනවා. නිමල් සිරිපාල එදා කිව්වා එජාපය එක්ක කොහොමටවත් එකතු වෙන්නෙ නැහැ කියලා. යැයිද පොහොට්ටු නායකයකු පැවසු බවක්ද පොහොට්ටුවට වාර්තාවෙයි.

මේ අතර ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තරමක නෝක්කාඩුවකින් පසුවන බව වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමටය. එහෙත් එවැන්නක් ලේසියෙන් හෝ පහසුවෙන් හෝ කළ නොහැකි බවද පැවසේ. ජාතික ලැයිස්තු හෝ ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයෙක් හෝ මේවා පක්‍ෂයකින් නෙරපන ක්‍රමයක් තියෙනවා. පක්‍ෂයේ මහලේකම්වරයා එම මන්ත්‍රීවරයා නෙරපූ බවට මැතිවරණ කොමිසමට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිත දැනුම්දීමක් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යාවස්ථාවේ 13 වැනි අනුව්‍යවස්ථාවට අනුව පක්‍ෂයේ මහලේකම්වරයා විසින් කිසියම් මන්ත්‍රීවරයකු පක්‍ෂයෙන් නෙරපූ බවට ලිපියක් නිකුත් කළ දිනයේ සිට මාසයක් යනතුරු එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වන්නේ නැත. එම මන්ත්‍රීවරයාට මාසයක කාලයක් ලබාදෙන්නේ නීතී පියවර ගැනීමටය. ඒ අනුව මසක් ඇතුළත අදාළ මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. අදාළ මන්ත්‍රීවරයා නීති පියවර නොගන්නේ නම් මසක් ගිය විට අදාළ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීමට හැකිය. නීතියට අනුව යම් මන්ත්‍රීවරයකු පක්‍ෂයකින් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමකට මාස දෙකක් ඇතුළත තීන්දුවක් ලබාදිය යුතුය. එම තීන්දුව විනිසුරුවන් තුන්කට්ටුවක් මගින් ලබාදිය යුතු බවද නීතියේ සඳහන් වේ.

මන්ත්‍රීවරයකු පහකිරීම සම්බන්දයෙන් පූර්වාදර්ශයක් තියෙනවා. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තීන්දුවක් ලබාදුන්නා. එම තීන්දුවෙන් මන්ත්‍රීවරයකු ඉවත්කිරීම විධිමත් ක්‍රියාවලියකට අනුව සිදුවිය යුතු බව සඳහන් වෙනවා. එම විධිමත් ක්‍රියාවලිය වන්නේ අදාළ මන්ත්‍රීවරයා විනය විරෝධී ක්‍රීයාවක් කර ඇත්නම් ඔහුට චෝදනා පත්‍රයක් බාරදීම එම චෝදනා පත්‍රයට පිළිතුරු දීමට අවස්ථාවක් දීම ඉන්පසුව ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීම එම පරීක්‍ෂණයෙදී සැකයෙන් තොරව අදාළ මන්ත්‍රීවරයා විනය විරෝධී ක්‍රියාවක් කළ බවට ඔප්පු විය යුතුය. එවැනි පියවරක් නොගතහොත් මන්ත්‍රීධූරය අහිමි නොවන බවට පූර්වාදර්ශයක් තිබෙනවා යැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඩිලාන් පෙරේරා පොහොට්ටුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදාන ගමගේ විරෝධය දක්වා ඇතැයි වාර්තාවේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පොහොට්ටු පක්‍ෂයේ කටයුතු කළේ කුමාර වෙල්ගමය. එහෙත් ඔහු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂයාට විරෝධය දැක්වීම නිසා බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් වෙල්ගම ඉවත් කළේය. ඉන්පසුව දිස්ත්‍රික් නායකත්වයට පත්වූයේ තේනුක විදානගමගේය. එහෙත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල නායකයා තමා බවය. ඩිලාන්ගේ ප්‍රකාශයෙන් තේනුක උරන වී ඊට විරෝධය දක්වා තිබේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා මමයි. ඊයේ පෙරේදා අපේ පක්‍ෂයට ආපු අයට නායකකම් හම්බවෙන්නේ නැහැ යැයි තේනුක විදානගමගේ කියන්නේය.

මෛත්‍රීට මහින්දගෙන් ඇමතුමක්

ජනාධිපති සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය යෙදී තිබුණ ගිය අඟහරුවාදා උදෑසනින්ම ඔහුට සුබපතන්නට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට වාර ගණනක් ඇමතුවත් පිංකමක සිටි නිසා මහින්දට ඔහුට සුබ පතන්නට හැකි වූයේ දහවල් කාලයේය. ඉතා සුහදව සුබ උපන් දිනයක් යැයි කී විට ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කරමින් අපි කවදද හමුවෙන්නේ යැයි මහින්දට පවසා තිබිණි.

රනිල් ජනපති සටනට

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රුස්වීම සඳහා ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් පැමිණියේ ගිය අඟහරුවාදා උදෑසනය. පක්ෂ නායක හමුව ඇරු‍ඹෙන්නට පෙර එහි පැමිණි එ.ජා.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර මහතා කතානායක කරු ජයසූරිය මහතා අමතමින් “ඔබතුමා ගැන අපට සුබ ආරංචියක් මාලදිවයිනෙන් ලැබුණා. ඔබතුමා නේද යූ.ඇන්.පීයේ ජනාධිපති අපේක්ෂක” කියා විමසීය. කරු ජයසූරිය මහතා මෙම ප්‍රශ්නයෙන් යම් අපහසුතාවකට පත්වුවත් ඔහු සිනාමුසු මුහුණින් නිහඬව සිටියේය. තමන් අපේක්ෂකයා හෝ අපේක්ෂකයා නොවේයැයි කරැ සඳහන් කළේ නැත. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග කියන්නේ උපරිම උත්සාහය රනිල් ජනපති සටනට ඉදිරිපත් වීමට බවයි. එහෙත් ඊට තදබල බාධාවක් ආවොත් විකල්පය ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කෙරෙනු ඇති වගයි.

කෙසේ හෝ මෙවර පක්ෂ නායකයන්ගේ හමුවේදී ප්‍රධාන වශයෙන්ම කතා කළේ මේ සතියේ විවාදයට ගන්නට නියමිත මහජන බැංකුවට අදාළ බැංකු පනතයි. ඒ ගැන කල්තබා කතානායකට ලිපියක් යැවූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම පනත දැඩි විවාදයට තුඩු දෙන්නක් නිසා මේ සතියේ එය විවාද නොකර තවදුරටත් සමාජ සංවාදය පුළුල් වන්නට ඉඩ දී ලබන සතියේ විවාද කරමු යැයි යෝජනා කර තිබිණි. එම යෝජනාව කතා නායකවරයා ද පිළිගත් නිසා මහජන බැංකු පනත විවාදය කල් දමනු ලැබීය. ඒ හැර පක්ෂ නායක හමුවේදී වෙනත් වැදගත් දෙයක් සාකච්ඡා වූයේ නැත.

බන්දුලගේ නිවසේ ගෝඨා විශේෂ සාකච්ඡාවක

පසුගිය දා පොහොට්ටුවේ මන්ත්‍රීන් පිරිසක් වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඊට ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ඇරුයුම් කර ඇත. භෝජන සංග්‍රහයට දේශපාලනඥයකු ලෙස එස්.බී. දිසානායක සහභාගී වූ අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරු හා හිටපු උපකුලපතිවරු, ආචාර්යවරු 150ක් පමණ ඊට එක්වූහ. ඔවුන් සාකච්ඡා කළේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැනයි. ගෝඨා ඔහුගේ අදහස් ප්‍රකාශ කරමින් සිය සැලසුම ගැන අදහස විමසීය.

මෙහිදී බන්දුල ගෝඨාභය රාජපක්ෂට කදිම කතාවක් කීය. “ඔබතුමා මෙහාට එන්න ටික වේලාවකට කලින් මේ ගෙදරට පොලීසියේ ඉහළම නිලධාරී දෙන්නෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා සර් අද ගෝඨාභය මහත්තයා එනවා නේද අපි හතරවටේම ආරක්ෂාව තර කළා. පොලිස් බල්ලො පවා දාලා ගෙයින් ගෙට චෙක් කළා.. දැන් එතුමට එන්න පුළුවන් සේරම  ආරක්ෂාව හරි.. කියලා. මම ඔබතුමා මෙහේ එන බවක් පොලීසියට නිකම් කිව්ව විතරයි. පොලීසිය ස්වෙච්ඡාවෙන් වැඩ.. පේනවා නේද රටේ මතය” කියායි.

වෙනම සන්ධානයකට ජනපතිගේ සහය ගැනීමේ තැතක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතෙන් සන්ධානයක් හදන්නට තැත් කරන බවට තිරය පිටුපස දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, හිටපු ජනාධිපති චන්ද්‍රිකා ආදීන් මේ සන්ධානය සඳහා ජනාධිපතිවරයාගේ සහාය ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටියත් ජනාධිපතිවරයා තවමත් ඒ ගැන නිශ්චිත වචනයක් ලබා දී නැත. මේ සන්ධානය සකසන්නේ නම් පාඨලී චම්පික රණවක සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද සාකච්ඡා කළ හැකි බව මේ පිළිබඳ යෝජනාව කළ අය ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප අපේක්ෂකත්වය අහිමි වුවහොත් ඔහුට සහ ඔහුගේ හිතවාදීන්ට ඊට ආරාධනා කළ හැකි බව මෙම යෝජනාව ඉදිරිපත් කළ අය කියා තිබේ. ඒ අතර යට කී ලෙස පසුගියදා පැවති ශ්‍රී.ල.නිප මහ සමුළුවේදී ජනාධිපතිවරයා කියා තිබුණෙත් එදිනෙන් ඇරඹෙන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය බවය. එසේම තමන් ජනතාවාදී පුළුල් සන්ධානයක් හදන බවද ජනාධිපතිවරයා කී අතර 2020 ආණ්ඩුව හදන්නේ අපියි කියාද ඔහු කීය. එසේම ඉදිරි ආණ්ඩුවක බලවත්ම චරිතය අගමැතිවරයා බව පෙන්වා දුන් ඔහු ජනාධිපතිධූරයට ආරක්ෂක ඇමැතිකමවත් නැතැයි කීය.

කෙසේ හෝ මේ කතා සියල්ලම අප සඳහන් කරන සන්ධාන යෝජනාව සමඟ ගැලපෙන අතර අප වෙත ලැබී ඇති ආරංචි මාර්ග අනුව පොදු අපේක්ෂකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි චන්ද්‍රිකා මැතිනිය, දයාසිරි, දුමින්ද ඇතුළු පිරිසට යෝජනා කර ඇත. කෙසේ වෙතත් එහිදී අගමැති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතුයැයි ද අදහස් හුවමාරු වී තිබේ. නමුත් තවමත් මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අදාළ කණ්ඩායමට අනුමැතියක් ලැබී නැත. කෙසේ හෝ පොහොට්ටුවේ ප්‍රධානීන්ට මහින්ද උපදෙස් දී ඇත්තේ ශ්‍රී.ල.නි.පය සමඟ සාකච්ඡා කරන නිසා වෙන වෙනම මන්ත්‍රීන් බඳවා නොගත යුතුය කියායි. කෙසේ හෝ පොහොට්ටුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් දහස් ගණන් කොළඹට කැඳවමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් සාර්ථකව පවත්වමින් සිටී. ඒ අතර පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් 39 දෙනෙක් ලබන 15 දා සිට 18 දා දක්වා මන්නාරම - මුලතිව් - යාපනය - කිලිනොච්චි ආදී දිස්ත්‍රික්කවල ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා උතුරට යැවීමට ද කටයුතු සංවිධානය කර ඇත.

සජිත් පිල වෙනත් මගක

සියලු පක්ෂ සිය බලය පෙන්වීමට ඉතා උත්කර්ෂවත් ලෙස පක්ෂ සමුළු සංවිධාන කර තිබූ බව පසුගිය සතියේ පෙනී ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ප්‍රථම මහා සමුළුව කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එම ස්ථානයේම ජාතික සමුළුව පැවැත්වීය. මේ අතර පිවිතුරු හෙළ උරුමයේ ජාතික සමුළුව ඉකුත්දා බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සමුළුවද ලබන ඉරිදා කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් තිබේ. මේ අතර ගෝඨාභය රාජපක්‍ෂගේ වියත්මග සංවිධානයද ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය කොළඹ ෂැංග්‍රිලා හෝලයේදී පැවැත්වීමට නියමිතය. එම සමුළුවද ඉරිදා පැවැත්වීමට නියමිත බව පැවසේ.

ජාතික සමුළුවල ප්‍රධාන අරමුණවී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්‍ෂය ගන්නා තීන්දු තීරණ හා වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමුළු වලදී ජනාධිපතිවරණය පිළිබඳව තමන්ගේ මතය ඉදිරිපත් කළහ. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයට මෙවර පැනනැගී ඇති බරපලතළ ගැටලුව වන අපේක්ෂකයා තෝරාගැනීම ඉක්මනින්ම කිරීම අනිවාර්ය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එජාප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මාලදිවයින් සංචාරය නිමවා දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අද හෙටම අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව විසඳීමට පියවර ගනු අති බවය.
බොහෝවිට අගමැතිතුමා මෙවර තරග කරන්න ඉඩ තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නව සන්ධානයේ බහුතරයක් මුලින් විවිධ මත දැරුවා. මනෝගනේෂන් වගේ කීප දෙනෙක් සජීත් ප්‍රේමදාසට සහය පළකළා. කෙසේ වෙතත් දැන් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ නායකයන් එක මතයකට ඇවිත් යැයි සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා නම්කළ පසුව මෙරට දේශපාලනයේ අලුත් අලුත් ප්‍රවෘත්ති නිර්මාණය වීමේ හැකියාවක් පැවතිය හැකි බවට ආරංචි පැතිර යමින් තිබේ. බොහෝ විට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයින් වෙනත් මගක් ගනු ඇතැයි යන්න දේශපාලන කරළියේ පසුගියදා ආරංචි පැතිර ගියේය.

රවීගේ සාදය කරූ මඟහරී

රවි කරුණානායක ඇමතිවරයා ඉකුත්දා ඔහුගේ නිවසේදී තානාපතිවරුන්ට රාත්‍රී භෝජණ සංග්‍රහයක් පැවත්වීය. රටවල් ගණනාවක කොළඹ තානාපතිවරු රවිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණියෝය. රවි කරුණානායක තානාපතිවරුන්ට ආරාධනා කරන අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය ද එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණෙන බවක් දන්වා තිබිණ. එහෙත් රවිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට කරූ ජයසූරිය පැමිණ සිටියේ නැත.

මහින්දගෙන් දහම්ට දේශපාලන රහසක්

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා විශේෂ අමුත්තෙක් හමුවිය. ඒ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාය. මහින්ද දහම් හමුවූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානකගේ ඥාති සහෝදරියකගේ විවාහ මංගල උත්සවයේදීය. දහම්ගේ හොඳම මිතුරා චානක මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරියගේ අත ගත්තේ ජයික් හිල්ටන් හෝටලයේදීය. මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද එහි එනවිට දහම් පැමිණ මිතුරන් පිරිසක් සමඟ අසුන් ගෙන සිටිනු දක්නට ලැබිණි. සුළු වේලාවකින් දහම් සිරිසේන මහින්ද රාජපක්ෂ අසලට පැමිණි විට “ආ පුතා කොහොමද” කියපු මහින්ද නැගිට දහම්ගේ අතින් අල්ලාගෙන නිදහස් තැනකට යනු පෙනිණි. දෙදෙනා විනාඩි ගණනාවක් සුහද කතාවක නිරත වූ අතර දහම් මහින්දට කියා ඇත්තේ අපි එකතු වෙලා යනවා නම් හොඳයි නේද කියායි. මහින්ද එය අනුමත කළ අතර මෙම හමුවේදී මහින්ද දහම්ට ඉතා වැදගත් දේශපාලන රහසක් කියූ බව වාර්තා විය. ඒ කුමක්දැයි නිසි ලෙස වාර්තා වී නැතත් එ.ජා.පයේ පසුපෙල මන්ත්‍රීන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් කොළඹ 7 නිවසක පැවැත්වූ රාත්‍රී සාදයකදී සාදයට සහභාගී වූ ප්‍රබලයකු කියූ කතාවක් බව පැහැදිලිය. එහෙත් මහින්ද ඒ කතාව දහම්ට නොකියා එතැනදී සිදු වූ කතාබහ ගැන නිසි සොයා බැලීමක් කරන්නැයි දැන්වීය. එය වහා සිදු කරන බව දහම් මහින්දට පවසා තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තුන්දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගියේය. එරට ජනාධිපති සෝලිගේ ඇරුයුමින් ගිවිසුම් ගණනාවකට අත්සන් කළ හෙතෙම මාලදිවයින් පාර්ලිමේන්තුව ද ඇමතීය. එහිදී රනිල් අවධාරණය කළේ තමන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කැප වී සිටින බවය. එසේම ත්‍රස්තවාදය පැරදවීමේදී සිය රජය මාලදිවයින සමඟ එක්ව ක්‍රියා කරන්නේ යැයිද කීය.

 

 

Rate this item
(1 Vote)