April 30, 2024

රූපවාහිණී සභාපතිධූරය වෙනස් කරන්නැයි රනිල් මෛත්‍රීගෙන් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ හදිසියේම කාරණයක් ගැන සාකච්ඡා කිරීමට හමුවීමට අවශ්‍ය බවට දන්වා තිබේ. ඒ අසල සිටි කබීර් හෂීම් අමාත්‍යවරයා රැගෙන අගමැතිවරයා ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබේ.

රැස්වීම පැවැති ස්ථානයේ එම කාරණය පැවසීමට නොහැකි බැවින් වෙනත් ස්ථානයකට යා යුතු බව අගමැතිවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ. ඒ අනුව ඉහල මාලයේ ස්ථානයක පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ “රූපවාහිනියේ පඩි ගෙවා ගන්නවත් බැරිව කඩා වැටෙමින් තියෙන්නේ. ඒ නිසා අලුත් සභාපතිවරයෙක් පත් කරලා රූපවාහිනිය ගොඩ ගන්න ඕන.”

අගමැතිවරයාගේ අදහසට ජනාධිපතිවරයා අපූරු පිළිතුරක් ලබා දෙමින් පවසා ඇත්තේ “ රූපවාහිනිය විතරක් නෙමෙයි රටම කඩා වැටිලා තියෙන්නේ. අයිටීඑන් ආයතනයෙත් රූපවාහිනියට වැඩිය ප්‍රශ්න. මට ආරංචියි අයිටීඑන් එකේ ප්‍රශ්න ගොඩයි. මං කොහොමත් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගෙන්වලා සාකච්ඡාවක් කරලා තීරණයක් ගන්නම්.” යනුවෙනි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අගමැතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනී සභාපතිධූරයෙන් ඉවත් කර එජාපයට හිතවත් අයෙකු සභාපතිධූරයට පත් කිරීමට බවයි.

ජනාධිපතිවරයා අගමැතිවරයාට පෙන්වා දී තිබෙන්නේ ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනී සභාපතිධූරයට පත් කළේ එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා බවයි. එම අවස්ථාවේදී කිසිදෙයක් නොදන්නා අයෙකු ලෙස අගමැතිවරයා කටයුුතු කළ බව එම ආරංචි මාර්ග පැවසී ය.

 

 

 

Rate this item
(0 votes)