May 05, 2024

කරළියෙන් එහා: විමල්ට ගම්මන්පිලට බැසිල් පිලෙන් වාග් ප්‍රහාර! මරණ දඩුවමට ජනපති දින දෙයි

February 22, 2019

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ඇතිවූ කතාබහ නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් කතාබහක් ඇති වූයේ පසුගිය දින කිහිපය තුළ දීය. එම කතාබහ මේ වන විට ප්‍රබල දේශපාලන ආන්දෝලනයක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් පසුගිය දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබූ අතර ඇතැම් දේශපාලනඥයන් අදහස් දක්වමින් කියා තිබුණේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන ආකාරය වැරදි බවය. විශේෂයෙන් එවැනි චෝදනා කර තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ය. එම කතාබහ තවත් උණුසුම් වූයේ ඊයේ(21) පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ විශේෂ ප්‍රකාශයත් සමගය. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පතුරු ගසමින් විනාඩි 55කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු සභාව ඇමතීය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් බිහි කළ සුජාත දරුවා ව්‍යවස්ථාදායක සභාව විසින් අපචාරයට ලක්කළා යැයි චෝදනා කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් සඳහන් කළේ ව්‍යවස්ථාදායක සභාව විසින් උසස්වීම් ලබා නොදුන් විනිසුරුවරුන් දහසය දෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ප්‍රකාශයට පත්කළ යුතුව ඇති බවයි.

පස්වරු 4ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පැමිණි ජනාධිපතිවරයා ඒ වන විට විවාදයට සහභාගී වෙමින් සිටි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ කතාවෙන් පසු සිය අදහස් දැක්වීම ආරම්භ කළේය.

ස්වාධීන කොමිෂන් සභා විසින් ඇතිකරන රීති ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර මාස තුනකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කළ යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි පැහැදිලිව සඳහන්ව තිබුණද ඒ අනුව ක්‍රියා කර නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“කොමිෂන් සභා පිළිබඳව මා කළ ප්‍රකාශයට අවස්ථා කිහිපයකදී අගමැතිතුමත්, ඔබතුමත් (කතානායක) මට පිළිතුරු ලබා දී තිබුණා. මා කළ අර්ථකතනයන් ගැන දැඩි විවේචනයක් අද පාර්ලිමේන්තුවේදී කර තිබුණා.මට පෙනී ගියා අගමැතිතුමාගෙත්, ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ. ප්‍රශ්ණය කනපිට හරහා මා පිළිබඳව වැරදි රූපයක් රටට පෙන්වන්න කටයුතු කරන බව මට පේනවා. මම මේ සභාවේ සාමාජිකයෙක් නොවෙයි. ජනවාරි 8 මැතිවරණ ප්‍රකාශයට අත්සන් කළ හැමෝම දන්නවා යහපාලන සංකල්පය හා ඊට මුල් වූ කරුණු රාශියක්.” යැයිද ජනාධිපතිවරයා පැවසී ය.

“ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි. අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය. ‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි කියමින් ජනාධිපතිවරයා ප්‍රකාශය අවසන් කළේය.

එහෙත් ව්‍යවස්ථා සභාව ගැන එජාප මැති ඇමැතිවරුන්ගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථා සභාවේ කටයුතු නිවැරැදිව හා ස්වාධීනව සිදුවන බවටය. “ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඒ ආකාරයටම සම්මත කරනවා නම් 19 වැනි සංශෝධනය මොකටද? ව්‍යවස්ථා සභාවක් මොකටද? ඒකාධිපති තීන්දු තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම වැළැක්වීමට තමයි ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය. ඒ නිසා ව්‍යවස්ථා සභාවට බලපෑම් කරන්න එපා” යැයි ඔවුහු පවසති. මේ අතර ව්‍යවස්ථාදායක සභාවට පත්වූ චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මේ වන විට එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත. චමල් රාජපක්‍ෂ ව්‍යවස්ථා සභාවට පත්වූයේ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයා ලෙසය. චමල් රාජපක්‍ෂගේ පුරප්පාඩුව වෙනුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු පත්කිරීමට කතානායකවරයා කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායකවරයා කියා ඇත්තේ එම පුරප්පාඩුවට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා පත්කළ යුතු බවකි.

මරණ දඩුවමට ජනපති දින නියම කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලඟදීම දිනයක ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසී ය. ඒ අනුව ජනාධිපතිවරයා මේවන විටත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය පිළිබඳ තීරණයක් ගෙන ඇති අතර එය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය. ගතවූ කාලය තුල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. රට තුල ඉහළ යන අපරාධ රැල්ල මුල් කර ගනිමින් මරණ දඩුවම වහාම බලාත්මක කරන්නැයි මීට පෙරද කැබිනට් මණ්ඩලයටද ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණි. 1978 වසරෙන් පසු මෙරට තුල මරණ දඩුවම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කර නොමැත.

මෛත්‍රී - මහින්ද එකම වේදිකාවේ

ජනාධිපතිවරයා පසුගිය දා කොළඹ නව නගර ශාලාවේ පැවැති මහජන එක්සත් පෙරමුණේ සංවත්සර සභාවට ද සහභාගි වූයේය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාටත් ඊට ආරාධනා කර තිබුණේය. දිනේෂ් ගුණවර්ධන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන නායකයෝ වේදිකාවේ ඉතා සුහදව එම උත්සව සභාවේ එකට අසුන් ගෙන සිටියහ. මහජන එක්සත් පෙරමුණේ රට හදන යෝජනාවලියක් එදින සම්මත කරගත් අතර දිනේෂ් ගුණවර්ධන එම යෝජනාවලිය ඇතුළත් ලියවිල්ලක් ජනාධිපතිවරයාට ද පිළිගැන්වීය. ජනාධිපතිවරයා එම ලියවිල්ල කියවා දිනේෂ් ගුණවර්ධනට ඒ මොහොතේම ප්‍රතිචාර දැක්වීය. ජනාධිපතිවරයා කීවේ එම යෝජනාවලියේ අඩංගු සියලුදේට තමා සම්පූර්ණයෙන්ම එකඟතාවය පළකරන බවය.

“මේක ඉතා හොඳ යෝජනාවලියක් මම ස්ථිර කරනවා” යැයි ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධනට කීවේය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පසුගිය අඟහරුවාදා පැවැති නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් දින උත්සවයට ද ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්‍ෂත් සහභාගි වූහ. එහිදී නායකයෝ දෙපළ එක්ව පෙරහර ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කළහ. ගංගාරාමයේ දී ද නායකයෝ දෙපළ සුහද කතාබහක නිරත වූහ. මේ අතර පසුගිය දා පැවැති උත්සවයක දී ජනාධිපතිවරයාට බැසිල් රාජපක්‍ෂ හමුවූයේය. එහිදී ජනාධිපතිවරයා බැසිල්ට රහසක් කීවේය. “පළාත් සභා තියන්න එක්සත් ජාතික පක්‍ෂයේ උනන්දුවක් නැහැ.” ජනාධිපතිවරයා බැසිල්ට කීවේය.

කෙරවලපිටිය බලාගාර නිසා කැබිනට්ටුව උණුසුම්

වසර දෙකක් තිස්සේ ඇදි ඇදී තිබූ කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර අර්බුදයට විසඳුමක් ලබාදීමට ඇමැති රවි කරුණානායක උත්සහ ගත්ත ද එය පිළිගැනීමට එක් පාර්ශ්වයක් අකමැත්ත ප්‍රකාශ කර තිබේ. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිළිබඳව පසුගියදා කැබිනට් මණ්ඩලයේ දී ද ඇමතිවරු දෙපිළකට බෙදී වාද විවාද කර ගත්හ. මේ වනවිට මෙරට පමණක් නොව විදේශ තානාපති අංශ පවා මේ අර්බුදයට පටලැවී තිබේ. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය ලක්දනවි සමාගමට දිය යුතු බවය. ජර්මන් තානාපතිවරයා ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර ඔහු ඉංග්‍රීසි පුවත්පත්වලට පවා ප්‍රකාශ නිකුත් කර තිබුණේ බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුවූ ටෙන්ඩර් ක්‍රියාවලිය නීතියට පටහැනි බවය. ජර්මන් තානාපතිවරයා මෙම ප්‍රශ්නයට මැදිහත් වූයේ ලක්දනවි සමාගමට ටෙන්ඩරය ලබාදුනහොත් බලාගාරයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා වෙනත් තාක්‍ෂණික ආධාර ජර්මනියෙන් ලබා ගැනීමට නියමිත හෙයිනි. එහෙත් මෙරට ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබුණේ බලාගාර ව්‍යාපෘතිය චීන සමාගමට ලබාදීම සාධාරණ බවය. ඇමරිකානු තානාපතිනිය ඊට මැදිහත් වී ඇත්තේ චීන සමාගමට ටෙන්ඩරය ලබා දුනහොත් තාක්ෂණික උපකරණ ආදිය ඇමෙරිකාවෙන් ලබා ගන්නා නිසා හෝ වෙනත් කාරණාවක් නිසාදැයි හෝ යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් දැන් තත්ත්වය බරපතළ වී ඇත්තේ ලක්දනවි සමාගම විදුලිබල අමාත්‍යාංශයට එරෙහිව ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීම නිසාය. ගැටලුව තව තවත් බරපතළ වෙමින් තිබෙන හෙයින් මෙම බලාගාරය ඉදිකිරීම තවත් වසර ගණනාවකට කල් යනු ඇත්දැයි විදුලි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ බිය පළකරති. විදුලිය ඒකකයක් අඩු මිලකට ලබාදීමට ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති ලක්දනවි සමාගම ඉදිරියේ දී තවත් නීතිමය පියවර කිහිපයක්ම ගැනීමට සැරසෙන බව ද පැවසේ.

බැසිල් හිතවාදී මන්ත්‍රීවරුගෙන් විමල්ට ගම්මන්පිලට වාග් ප්‍රහාර

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළෝය. ඔවුන්ට ඒ සඳහා උපදෙස් ලබාදී තිබුණේ බැසිල් රාජපක්‍ෂය. බැසිල්ගේ අදහස වී ඇත්තේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයකු ජනාධිපති ධුරයෙහි තරගයට ඉදිරිපත් කළ යුතු බවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබාදීමට බැසිල් විරෝධය දක්වන්නේය. මේ අතර උදය ගම්මන්පිල හා විමල් වීරවංශගේ අදහස වී ඇත්තේ ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ඒකාබද්ධව මීළඟ ජනාධිපතිවරණයට තරග කළ යුතු බවකි. බැසිල් සිය හිතවාදී පළාත් පාලන නියෝජිතයන් ලවා උදයට හා විමල්ට ප්‍රහාරයක් එල්ල කළේය. “ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුවේ ලකුණින් තරග කිරීමට අපි තීන්දුවක් ගෙන තිබෙනවා. ඒකේ වෙනසක් නැහැ. අපි සන්ධාන ගත වෙනවාද නැද්ද කියලා අපේ පක්‍ෂයේ නායකයන් තීන්දු කරාවි. උදය ගම්මන්පිල හා විමල් වීරවංශ වෙනත් පක්‍ෂවල උදවිය. ඒ අයට අපට බලපෑම් කරන්න බැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සන්ධානගත නොවීම තමන්ට අවාසි බව විමල් හා උදය කියනවා. ඒක අපි පිළිගන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා විශ්වාසය ඇතිතාක් ඕනෑම මැතිවරණයක් අපට දිනන්න පුළුවන්” යැයි ද එම පළාත් පාලන නියෝජිතයෝ සඳහන් කරති.

මහින්ද අත්තනගල්ලේ

ආණ්ඩුව ඉදිරියේ දී සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට මුස්ලිම් සිවිල් සංවිධානවල විරෝධය එල්ලවී තිබේ. පසුගියදා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හමුවූහ. කොළඹ විජේරාමහි පිහිටි නිල නිවසට ගොස් තමන් විසිවැනි සංශෝධනයට විරෝධය දක්වන බව ප්‍රකාශ කළහ. “සිංහල ජනතාව අතර 20 වැනි සංශෝධනය ගැන කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. එහෙත් දෙමළ කතා කරන ජනතාව අතර එවැනි කතිකාවක් නැහැ. ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් මේ ප්‍රශ්නය තමන්ගේ ජනතාවට වසන් කරන්න උත්සාහ ගන්නවා” යැයි ද එහිදී මුස්ලිම් සිවිල් සංවිධාන නායකයෝ පැවසූහ.

වේයන්ගොඩ ඉදිකෙරුණු නව සතිපොළ පසුගිය 16 වැනි දා විවෘත කෙරුණේ මහින්දගේ අතිනි. 2015ට පෙර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් වැඩ ආරම්භ කරන ලද මෙම සතිපොළේ ඉදිකිරීම් 2015 වසරින් පසුව නවතා දමා තිබුණි. 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අත්තනගල්ල ප්‍රාදේශිය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරිණි.  සතිපොළේ ඉදිකිරීම් කටයුතු මෙන්ම 16 වැනි දාට නියමිත විවෘත කිරීමේ උත්සවයේ කටයුතු ද පෞද්ගලිකවම සොයා බැලුවේ ප්‍රසන්නය. විවෘත කරන දිනට පෙර දින වේයන්ගොඩ ගිය ප්‍රසන්න විවෘත කිරීමේ උත්සවයේ කටයුතු සොයා බැලුව්ය. “ප්‍රියන්ත මේවා හැදුවේ කවුද කියන එක රටට රහසක් නෙමෙයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ අතින් මේවා විවෘත කරන්න ලැබෙන එක අපිට ආඩම්බරයක්” ප්‍රසන්න අත්තනගල්ල සභාපතිවරයාට පැවසීය. 

උත්සවයෙන් අනතුරුව මහින්ද ඇතුළු ආරාධිත පිරිසට අසල පිහිටි හෝටලයක දිවා ආහාරය සූදානම් කර තිබුණි. එතැන සිටි සභාපතිවරුන් මහින්ද හමුවන තුරු සිටියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. පැමිණිල්ල උදය ගම්මන්පිල සහ විමල් විරවංශට එරෙහිවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව තරග කර ජයග්‍රහණය කළ නොහැකි බවට මෙම දෙදෙනා විසින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සභාපතිවරුන්ගේ නොසතුටට මෙහිදී මහින්ද වෙත ප්‍රකාශ කෙරිණි. “උදය ගම්මන්පිල මහත්තයා කියනවා පොදුජන පෙරමුණට සීයට 40කට වැඩිය ඡන්ද ගන්න බැහැ කියලා. එහෙම කතා කරන එක වැරැදියි සර්” අරංගල්ල කීවේය.

“ඒක තමයි උදයයි විමලුදෙන්නා හැම තැනම කිය කියා යනවා පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියලා. හැබැයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. අපේ ජයග්‍රහණයත් හෑල්ලු වෙනවා මේ නිසා” මිලාන් පැවසීය. “පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියන කිසිම කෙනෙක් තමන්ගේ පක්ෂයෙන් තනිව තරග කරලා පාර්ලිමේන්තුවට ආපු අය නෙමෙයි. හැමදාම මේ අය පාර්ලිමේන්තු ආවේ කාගේ හරි සන්ධානයකට එකතු වෙලයි. ඒ නිසා තමයි මේ අය දිනන්න බැහැ කියලා හැමතිස්සෙම කියන්නේ“ ප්‍රියන්ත කීවේය. “සර් මමත් මේ ගැන අවධානයෙන් හිටියේ. දැන් මෙතැන කතා කරන්න හිතුවේ සභාපතිතුමන්ලා මේ ගැන කතා කරපු නිසයි. කවුරු වුණත් පොදුජන පෙරමුණ පහත් කරලා කතා කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මොකද සර් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ගේ පක්ෂය තමයි පොදුජන පෙරමුණ කියන්නේ. මේ පක්ෂයේ අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ රටේ සාමාන්‍යය ජනතාවයි. සර්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පක්ෂය කර තියාගෙන ගියේ සාමාන්‍යය මිනිස්සු ප්‍රසන්න කී විට හිටපු ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කළේය.

 කොකේන් චෝදනාවට රංජන් එජාප කමිටුව හමුවට

මේ අතර කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව හමුවට අද (22) රංජන් රාමනායක මහතා කැදවා තිබිණි. ඊට සහභාගී වීමට රන්ජන් රාමනායක ඇමැතිවරයා ගොස් ඇති බව මෙම ලිපිය ලියන අවස්ථාව වන විට වාර්තා විය. රාජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කමිටු සාමාජික අධිනීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු මෙම කමිටුවට අයත් සෙසු සාමාජිකයෝ වෙති. පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පෙරේදා දහවල් පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත. මෙම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක මහතාට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මගින් ලිපියක් යැවීමටද මෙහිදී තීරණය කර තිබිණි.

මෙම විමර්ශන කමිටුවේ වාර්තාව ලබන සදුදා වන විට අගමැතිවරයාට භාරදීමට නියමිත අතර මෙහි පිටපතක් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ද ලබාදීමට නියමිතය.

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට චෝදනා කළද ඔවුන් කවුරුන්දැයි රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා මෙතෙක් අගමැතිට, කථානායකට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලිඛිත පැමිණිල්ලක් හෝ තොරතුරු ලබා දීමක් සිදු කර නැතැයිද වාර්තා වේ. එහෙත් රන්ජන් රාමනායක ඇමැතිවරයා පවසන්නේ කෙකේන් භාවිතා කරන මැති ඇමතීන් ගැන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවයි.

අර්ජුන් බේරාගන්න සිංගප්පූරු තානාපති ධූරයට රනිල්ගේ හිතවතෙක්

මේවන විට සිංගප්පූරුව ශ්‍රී ලංකා තානාපති ධූරය සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය පුරප්පාඩු වී පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් තානාපති සේවයේ තානාපතිවරුන් නම් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. නමුත් ජනාධිපතිවරයා තානාපතිවරුන් ලෙස තානාපති සේවයේ නිලධාරීන් පත් කිරීමට අදාල නිර්දේශ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී තිබුණද මේවන තෙක් එම පත් කිරීම ප්‍රමාද කරමින් සිටින බව වාර්තා වේ. මේවන විට එම රටවල් දෙකෙහි තානාපති සේවා නිවැරදිව සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාල පත්වීම් සිදු නොකරන ලෙස නියෝග කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසී ය. ඒ අනුව අගමැතිවරයාට හිතවත් පුද්ගලයෙකු සිංගප්පූරුව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඒ හරහා මහ බැංකු වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

 

Rate this item
(3 votes)