May 05, 2024

කරළියෙන් එහා: මහින්ද - චන්ද්‍රිකා හමුවෙයි! එජාපයේ ජාතික ආණ්ඩු සිහිනය බොඳවෙයි

February 08, 2019

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ යළිත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්ඩුව කටයුතු කිරීමත් සමගය. ඇමැති පට්ටම් වැඩි කරගැනීමේ අරමුණින් ආණ්ඩුවේ බහුතර බලය කෙසේ හෝ තබාගැනීමට ආණ්ඩුව දැන් ඕනෑම වැඩක් කරන තැනට පත්වී හමාරය. එහෙත් හිතූ පරිදි ජාතික ආණ්ඩු හැදීමේ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට එජාප ආණ්ඩුවට නොහැකි විය. විශේෂයෙන්ම ආණ්ඩුවේ නිල නොවන හවුල්කාරයා වන දෙමල ජාතික සන්ධානයද ජාතික් ආණ්ඩු ක්‍රියාවලියට විරෝධය පළ කර තිබිණි. ඒ හේතුවෙන් එජාප ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව කල් දැමීමට සිදුවිය. දේශපාලන විචාරකයින් පවසන්නේ දැන් ආණ්ඩුවට බහුතරය නොමැතිකමින් සියලු සැලසුම් නිෂ්ඵල වී ඇති බැවින් වහාම ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගැනීමට මහ මැතිවරණයකට යා යුතු බවයි. පසුගිය නිදහස් දිනයේ ජාතිය ඇමතූ ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවකට තමා තරයේ විරෝධය දක්වන බව පැවසී ය. ඒ අනුව ජනාධිපතිවරයා සහ එජාපය අතර පවතින නොහොඳ නොක්කාඩු හේතුවෙන් ජාතික ආණ්ඩුව යෝජනාව ලත් තැනම ලොප්වී තිබේ. දැන් එජාපයට ජාතික ආණ්ඩු යෝජනාව ගැන සිහිනය අතහැර දැමීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉකුත් මහා මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව අලියා ලකුණින් තරග කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ද මහා මැතිවරණයේදී තරග කළේ එක්සත් ජාතික පෙරමුණෙන්ය. එහෙත් මඩකළපු දිස්ත්‍රික්කයට පමණක් එක් අයෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ගස සළකුණෙන් තරග කළේය. ඔහු අල සහීර් මව්ලානාය. ඔහු දැන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකි. එජාපය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින පක්ෂයක් සමඟය. දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනයේ පවතින හිඩසකින් රිංගීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවය. මේ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමැතිධුර සංඛ්‍යාව ඉහළ දැමීමකින් තොරව ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ අපහසුතාවක් පවතින බවය. එජාපයේ මෙන්ම ආණ්ඩුවට සහාය දෙන අනෙක් සුළුතර පක්ෂවල මන්ත්‍රීවරුන් ද ඇමැතිධුර අපේක්ෂා කරමින් ආණ්ඩුවට බලපෑම් කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර එජාප ප්‍රබලයෙක් හිතවත්තු සමඟ ප්‍රකාශ කර තිබුණේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකිරීම දෝෂාභියෝගයකට හේතුවක් වන බවය.” 

ඇමතිකම් නැතුව මාසයක් ඉන්න බැරිද?

පසුගිය 06වැනිදා පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එහිදී අවධානය යොමු වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම සම්බන්ධවය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ප‍්‍රකාශ කර සිටියේ, ජාතික ආණ්ඩු යෝජනාව 07වැනිදා පාර්ලිමේන්තුවට ගෙනඑන බවයි. එමෙන්ම එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙනඒමටත් සැලසුම් කොට තිබෙන බව එහිදී අනාවරණය විය. එහිදී ජවිපෙ නායක අනුර දිසානායක සිය විරෝධය පළ කරමින් අදහස් දැක්වීය. ”පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා හදිසියේ ජාතික ආණ්ඩු යෝජනාවක් ගේන්න වුවමනාවක් පැනනැගිලා නැහැ. ඒ තරම් හදිස්සියක් මොකද? එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අවුල් විසඳගන්න ඇමතිකම් දෙන්න මේ හදන්නේ. ඒ අයට ඇමතිකමක් නැතුව මාසයක් ඉන්න බැරිද? මේ කරන්න යන්නේ ජනතා මුදල් කාබාසිනියා කරන එක වැඩි කරන ක‍්‍රමයක් හදාගන්න එක. අපි මේ ජාතික ආණ්ඩු යෝජනාව ගේන්න දෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ හිල් හොයන අයට ඒක පැහැදිලිව අපි කියනවා.” අනුර දිසානායක කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළකළේය.

කටුනායකට ඇමරිකානු ගුවන්යානා ආවේ දෙපැත්තේම සහයෙන්

කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණීම පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමයේ ගුවන්තොටුපළ ශාඛාවේ සාමාජිකයෝ වසන්ත සමරසිංහ දැනුවත් කිරීමට කටයුතු කළෝය. මේ පිළිබඳව ජවිපෙ නායකයින්ගේ හමුවකදීද සාකච්ඡාවට බඳුන්විය. ”කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානා කිහිපයක් ගොඩබැස්සුවා. නමුත් ආපු සෙබළු ගියේ කොහෙද කියලා තොරතුරක් නැහැ.” වසන්ත සමරසිංහ කියා සිටියේය. ”ඇමරිකන් ආමි එකට පහසුකම් දෙන්න ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ 1995දී පොදු පෙරමුණ ආණ්ඩුව කාලේ. අද ශ‍්‍රීලනිපයේ ලේකම් එදත් ඒ ආණ්ඩුවේ ආයතනයක සභාපති කෙනෙක්. ජීඑල් පීරිස් හිටියෙත් ඒ ආණ්ඩුවේ. ඒ අයත් හිටපු ආණ්ඩුව කාලේ 2007 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, බ්ලේක් එක්සත් ජනපද තානාපතිවරයා සමඟ මේ වගේම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා.” බිමල් රත්නායක කීවේය. ”ඒ විතරක් නෙවෙයි. ඒ ගිවිසුම අවුරුදු 10කින් අවසන් වෙනවා 2017දී. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව නැවත වතාවක් ඒ ගිවිසුම අලූත් කරනවා. ඒ ගිවිසුම් අනුව තමයි අද ඇමරිකන් ගුවන් යානා ලංකාවට එන්නේ. මේ දෙගොල්ලම එකතු වෙලා තමයි බටහිර ගැති ගිවිසුම් අත්සන් කරන්නේ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. ”මේක සරලව ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලමු” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.

පාසල්වල මුදල් ගැරිල්ල තවදුරටත්

පාසල්වල දෙමාපියන්ගෙන් මුදල් අයකරමින් විවිධ ව්‍යාපෘති සිදුකිරීම සම්බන්ධව විවිධ ප‍්‍රදේශවලදී ජනතාවගේ මැසිවිලි ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්වීම තිබේ. විජිත හේරත් මන්ත‍්‍රීවරයාටද මේවැනි දුක්ගැනවිලි ගණනාවක් ලිපි මගින්ද වාචිකවද ලැබී තිබිණ. මේ සම්බන්ධයෙන් විජිත හේරත් මන්ත‍්‍රීවරයා ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගෙන් විමසීමක් කළේය. ”අකිල විරාජ් ඇමතිවරයා දෙමාපියන්ගෙන් පාසල්වලට මුදල් ගැනීමේ චක‍්‍රලේඛයක් අහෝසි කළා කියලා කලින් කතාවක් තිබුණා. නමුත් දෙමාපියන් කිහිප දෙනෙක් මට කිවුවා තවමත් පාසල්වල මුදල් ගැනීම නතර කරලා නැහැ කියලා. මොකක්ද මේ කතාව.” විජිත හේරත් විමසා සිටියේ මහින්ද ජයසිංහට දුරකතන ඇමතුමක් ලබාදෙමිනි. 2015ට කලින් තිබුණ චක‍්‍රලේඛයක් අහෝසි කළා. නමුත් 2015 නැවත අලූත් චක‍්‍රලේඛයක් ගහලා තියෙනවා. ඒ චක‍්‍රලේඛය අනුව  ඕනෑ තරම් මුදල් අය කරගන්න ප‍්‍රතිපාදන හදල දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් අකිල විරාජ් ජාතික පාසල් තුන්සිය ගාණකම විදුහල්පතිවරුන් එකසැරේ ස්ථානමාරු කරන්න යනවා. මේකෙන් වෙන්නේ ජාතික පාසල් පද්ධතියම කඩා වැටෙන එකයි. ඒ ගැනත් මොකක් හරි කරන්න වෙනවා.” මහින්ද ජයසිංහ දුරකතන මාර්ගයේ එහා කොණේ සිට පිළිතුරු දුන්නේය.

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයක

කතානායක නිල නිවස ඉදිරිපස ඇති පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂිත කලාපයට අයත් ඉඩමක් හෙළිපෙහෙළි කිරීම පිළිබඳව ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින්වහන්සේ විසින් ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති වෙත දැනුම්දීමට කටයුතු කර තිබේ. ”මේක පාර්ලිමේන්තුවට අයිති ඉඩම් කෑල්ලක්. මේක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයේ. මේ ඉඩම් කෑල්ලට ඔප්පුව ලියලා තියෙන්නේ 2017දී. මීරිගම පුද්ගලයෙක්ට තමයි මේ පවරලා දීල තියෙන්නේ. වෙන කාටවත් කියලා වැඩක් නෑ. ඒ නිසයි ඔබතුමාටම කිවුවේ.” උන්වහන්සේ වැඩිදුරටත් විස්තර කළේය. මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් කතානායකවරයාට, ඉඩම් අමාත්‍යංශයට, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ වගකිව යුත්තන් වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කළේ මේ අතරතුරය. කතානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා තිබේ. ”මේ අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී සුනිල් හඳුන්නෙත්තිට ඒ සම්බන්ධව නීරීක්ෂණයට ගිය පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විස්තර කළේය. ”මේ ඉඩම් අධිආරක්ෂක කලාපයේ තියෙන්නේ. මෙතන වෙන බිල්ඩිමක් හැදුවොත් ඒක වෙනත් ගැටලූ මතුකරනවා. අනික පරිසර අමාත්‍යංශය අයිති ජනාධිපතිතුමාට. මේ විදියට අධිආරක්ෂක කලාපයේ ඉඩම් හෙළිකරනකොට කොහොමද පියවර ගන්නේ නැත්තේ. අනික පාර්ලිමේන්තු ළඟම ඉඩම් කෑල්ලක්. හයි හෑන්ඞ් එකක් මේ වැඬේ උඩින් තියෙනවා කියලා මට හිතෙනවා.” ඔහු කියා සිටියේය.

මහින්ද - චන්ද්‍රිකා මුහුණට මුහුණ හමුවෙයි

ඉන්දියානු ජනරජ දින සැමරුමට සමගාමීව සංස්කෘතික සංදර්ශනයක් ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී කලකට පසුව මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරුන් එකිනෙකාට මුහුණට මුහුණලා මුණ ගැසුණෝය. හිටපු ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂ මඟහැරීමට උත්සාහ ගත්ත ද උත්සවය ආරම්භ කිරීමට පොල්තෙල් පහන දල්වන අවස්ථාවේදී එය කළ නොහැකි විය. හිටපු ජනාධිපතිනියටත් හිටපු ජනාධිපතිවරයාටත් පොල්තෙල් පහන දල්වන ලෙස ආරාධනා කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ සිනාමුසු මුහුණින් චන්ද්‍රිකාට කතා කළේය.“හා කොහොමද මැඩම්” මහින්ද කී විට චන්ද්‍රිකා ඉවත බලාගෙන පිළිතුරු දුන්නාය. “කන්ග්‍රැජුලේෂන් හා හා මට වැරදුණා ඔයා නෙමෙයිනේ බැන්දේ. පුතානේ” යැයි ඉවත බලාගෙනම චන්ද්‍රිකා කීවාය.
ශ්‍රී ලංකාවේ හැත්තෑ එක්වැනි නිදහස් සමරු උත්සවය අභිමානවත් අයුරින් ඉකුත්දා කොළඹදී පැවැති අතර ඊට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ මාලදිවයින් ජනාධිපතිවරයාය. මාලදිවයින් ජනාධිපති මොහොමඞ් සෝලි එම ධුරයට පත්වූයේ පළමු වතාවටය. ඔහු බලයට පත්වූයේ විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ඇතිව පොදු අපේක්ෂකයකු ලෙස තරග කරමිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පොදු අපේක්ෂකයකු ලෙස ධුරයට පත්වූ හෙයින් ජනාධිපතිවරයා ද මාලදිවයිනේ නව ජනාධිපතිවරයා නිදහස් උත්සවයට ගෙන්වා ගැනීමට කැමැත්තක් දැක්වූයේය.

නිදහස් දිනයට මහින්ද එයි - චන්ද්‍රිකා නෑ

මේ අතර යහපාලන ආණ්ඩුව බලයට පත්වූ ගෙවී ගිය වසර තුනේදීම ජාතික නිදහස් උත්සවයට හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේ නැත. එහෙත් හිටපු ජනාධිපතිනිය සහභාගි වුවාය. මෙවර සිදුවූයේ එහි අනෙක් පැත්තය. මෙවර ජාතික නිදහස් උත්සවයට හිටපු ජනාධිපතිනිය නොපැමිණියාය. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහභාගිවූයේය. මහින්ද රාජපක්ෂ මෙවර ජාතික නිදහස් උත්සවයට පැමිණියේ විපක්ෂ නායකවරයා ලෙස නොව හිටපු ජනාධිපතිවරයා ලෙසය. ප්‍රමුඛතා අනු පිළිවෙළට අනුව විපක්ෂ නායකයාට වඩා හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන ගෞරවය ඉහළය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ලෙස පැමිණි මහින්ද රාජපක්ෂට නිදහස් උත්සවයේ ප්‍රධාන වේදිකාවේ ඉදිරි පෙළ අසුනක් පනවා තිබිණ.

මලික්ට දෝෂාභියෝගයක්

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමට ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහත් කලබලයකට පත්ව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් කිහිපයකට බෙදී වෙන්වී සිය මතයන් ඉදිරිපත් කරන බව ද මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඉන් පිරිසක් බලවත්සේ විරෝධය දක්වන බව ද පැවසේ. ඒ පිළිබඳව ඉකුත්දා වාසුදේව නානායක්කාර කීවේ ‘දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරලා තියෙනවා. “ඒක මහ මෝඩ යෝජනාවක්.” එහෙම යෝජනා කිරීම එජාපයට බෝලය පාස් කිරීමක්’ කියාය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ සූදානම ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. සිංගප්පූරු ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලවත් ව්‍යසනයක් වන බව සඳහන් කරමින් ඊට අත්සන් කළ මලික් සමරවික්‍රමට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර ඇත්තේ විමල් වීරවංශය. ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ විමල් වීරවංශ එම යෝජනාව ඉදිරිපත් කළේය. ඊට අනෙක් මන්ත්‍රීවරු ද එකඟතාවය පළ කළහ.

කැබිනට් එකේදී එජාප නායකයින්ට මෛත්‍රීගෙන් දොස්

මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා එජාපයේ නායකයන්ට දොස් කීවේය. රිෂාඞ් බදියුදින් ඇමැතිතුමාට නිපුණතා සංවර්ධන සහ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය දීලා. නිපුණතා සංවර්ධනයයි කර්මාන්ත වාණිජයි කොහොමද ගැළපෙන්නේ. කලින් මහා මාර්ගයි උසස් අධ්‍යාපනයයි එකතු කළා. දැන් ජල සම්පාදනයයි උසස් අධ්‍යාපනයයි එකතු කරලා. මේවා එකට ගැළපෙනවාද? මේවායේ විද්‍යාත්මක පදනමක් තියෙනවාද” ආදී වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් රැස්විමේදී දොස් කියන්නට වූයේය.

ඩඩ්ලිගේ දේශපාලන ආගමනයට මැති ඇමතීන් කලබල වෙයි

ජනාධිපතිවරයාගේ සොයුරු ඩඞ්ලි සිරිසේන දේශපාලනයට ඒමේ සූදානමක් පවතින බවට මේ දිනවල ආරංචි පැතිර යමින් තිබේ. ඉකුත් බදාදා ජනමාධ්‍යවේදීන් හමුවේ ඩඞ්ලි සිරිසේන කිවේ තමන්ට දේශපාලනයට ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. “මට ඕන තරම් සල්ලි තියෙනවා. සල්ලිත් ඇති ජීවත් වුණත් ඇති. මම දේශපාලනයට එන ආරංචියට සමහර දේශපාලනඥයන් පවා කලබලයට පත්වෙලා. මට මේ රටේ ඕනෑම දිස්ත්‍රික්කයකින් වුණත් ස්වාධීනව ඡන්දය ඉල්ලලා දිනන්න පුළුවන්. ගෙදරින් එළියට බහින්නේ නැතිව මට ඕන නම් ඡන්දය දිනන්න පුළුවන්.” යැයි ඩඞ්ලි කීවේය. මීට අමතරව ඩඞ්ලි තවත් කතාවක්ද කිවේය. “හැමෝම මට ඩඞ්ලි ඩඞ්ලි කියනවා. මගේ උප්පැන්න සහතිකයේ කිසිම තැනක ඩඞ්ලි කියන එකක් නැහැ. මගේ තාත්තා හොඳ යූඑන්පී පාක්ෂිකයෙක්. එතුමා ගොවි ජනපදවලට ගියා. විජයානන්ද දහනායක කියන්නේ එජාප අගමැතිවරයෙක්. එතුමාගේ නම මට දැම්මා. විජයානන්ද සිරිසේන කියලා.” යැයි ද ඩඞ්ලි කීවේය. තවද ඩඞ්ලි සිරිසේන කීවේ සිය සොයුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමට තමා ඡන්දය ප්‍රකාශ කළ ද එජාපයට මහ මැතිවරණයේදී ඡන්දය නොදුන් බවය.

චන්දනට තිලංගගෙන් විරෝධයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවේ. මේ අතර ජනාධිපතිවරයාගේ අදහසවී ඇත්තේ සංවිධායක ධුර පුරප්පාඩුවී තිබෙන ආසනවලට නව සංවිධායකවරුන් පත්කිරීමටය. මේ අතර කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය ද පුරප්පාඩු වී තිබෙන අතර ඒ සඳහා හිටපු සංවිධායක චන්දන කත්‍රිආරච්චි පත්කිරීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි වාර්තාවේ. එහෙත් කැස්බෑව යළි චන්දන කත්‍රිආරච්චිට ලබාදීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල විරෝධයක් දක්වන බව ද පැවසේ. එම නිසා කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රාදේශීය වශයෙන් අර්බුදයක් හටගෙන තිබේ. කැස්බෑව ප්‍රාදේශීය සභා කණ්ඩායම ජනාධිපතිවරයාටත් ශ්‍රීලනිප මහලේකම්වරයාටත් ලිපියක් යවා ඇත්තේ කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය යළි චන්දනට ලබාදෙන ලෙසය. ‘චන්දන කත්‍රිආරච්චි කැස්බෑව ගොඩ ගත්තා. නිල්පාට රතුපාට කොඩියක් කැස්බෑවේ දාන්න පුළුවන් වුණේ චන්දන කත්‍රිආරච්චි නිසයි. ළඟ එන ජනාධිපතිවරණයේදී එතුමන් සමඟ එක්ව අපි ශ්‍රීලනිපය දිනවන්න කටයුතු කරනවා. චන්දන කත්‍රිආරච්චි මහතා කැස්බෑව වෙනුවෙන් හිරේ විලංගුවෙත් වැටුණා ආදී වශයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභා කණ්ඩායම ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප ප්‍රබලයන්ට යවා ඇති දීර්ඝ ලිපියෙහි සඳහන් කරතිබේ.

ජාතික ආණ්ඩු කසුකුසුව

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වැඩිම බලයට පත් පක්ෂයට තවත් පක්ෂයක් එකතු වුණොත් ප්‍රමාණවත්ය. ඒ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු සංඛ්‍යාව කොපමණ විය යුතු බවක්ද සඳහනක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පමණක් එකතුවිය යුතු බවක් ද සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පාර්ලිමේන්තු ක්‍රියාදාමයක්. ව්‍යවස්ථානුකූල දෙයක්. පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් කතානායකවරයා පිළිගත්තොත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ හැකියි. ඒකට බලපෑම් කරන්න විධායකයට හැකියාවක් නැතැයි” එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ සඳහන් කරති. එහෙත් ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ මතය වෙනත් එකකි. “පාර්ලිමේන්තුවේදි ජාතික ආණ්ඩුවක් සම්මත කරගත්තත් ජනාධිපතිවරයා ඒක පිළිගන්න ඕනේ. ඇමැතිධුර ලබාදෙන්නේ ජනාධිපති. එජාපයේ අරමුණ ජාතික ආණ්ඩුවකට වඩා ඇමැති තනතුරු ටික වැඩිකර ගැනිම. ඒත් ජනාධිපති ඇමැති තනතුරු දෙන්නේ නැහැ” යැයි ශ්‍රීලනිප ප්‍රබලයෝ කියති. දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුව යෝජනාව නිසා නැවතත් ජනාධිපතිවරයා සහ එජාපය අතර විරසකය වැඩි වී තිබෙන බවය.

Rate this item
(2 votes)