May 05, 2024

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති කළ කතාව

February 07, 2019

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව – 2019-02-06

මෙහිදී වචන ස්වල්පයක් හෝ කතාකිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. පසුගිය සභා වාරයක දී මන්ත්‍රීවරයෙක් විමසීමක් කරලා තිබුණා ජනාධිපතිතුමා සභා වාරයට මාස තුනකට හෝ සැරයක් පැමිණිය යුතුයි, නමුත් දැන් මාස තුනකින් පැමිණිලා නැහැ කියලා. ඒ අඩුපාඩුව මගේ අතින් සිදුවෙලා තියෙනවා. ඒ ඇතිවූ ප්‍රමාද දෝෂය ගැන මගේ කණගාටුව පළකරනවා.

අද දවසේ සාකච්ඡාවට ගැණෙන අධිකරණ අමාත්‍යාංශයේ තලතා අතුකෝරාළ ඇමතිතුමිය ඉදිරිපත් කර ඇති 95 අංක 05 දරන වරදකරුවන් භාරදීමේ පනතේ දෙවන වගන්තිය පිළිබඳව බලතළ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබෙන මේ යෝජනාව ඉතාම වැදගත්. එයට මගෙත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව මා ප්‍රකාශ කරන්නට ඕනෑ. එය ඉතා අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ඊයෙත් අදත් පාර්ලිමේන්තුවේ ඇතිවූ යම් යම් සාකච්ඡා තුළ මා කල්පනා කළා කරුණු කිහිපයක් පිළිබඳව මගේ අදහස පැහැදිලි කිරීමක් මා මේ ගරු සභාවට පැමිණ කළ යුතුයි කියා. ඒ අනුව තමයි මම හදිසියේම තීරණය කළේ මේ සන්ධ්‍යාවේ මේ ගරු සභාවට පැමිණීමට.

බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මා විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳ ඊයේ මේ ගරු සභාවේ විවාදයට ලක්වී තිබුණා. මේ එක්කම මම පැහැදිළිව කියන්නට ඕනෑ. ඊයේ ඇතිවෙච්ච සාකච්ඡාව තුළ මට ලැබ්ච්ච තොරතුරු අනුව සමහර ගරු මැති ඇමතිවරුන්ගේ කතාවන් තුළ මේ කොමිෂන් සභා වාර්තාවේ කටයුතු ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් මගේ අතිනුත් යම් ප්‍රමාදයක් සිදු වුණාය කියන චෝදනාත්මක ස්වරූපයක් මටත් එල්ලවෙලා තිබුණා . මම එය පැහැදිළි කරන්නට ඕනෑ. මහ බැංකුව වෙනුවෙන් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවත් ඒ වගේම පසුගිය රජයේ බරපතළ වංචා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවත් කියන මේ කොමිෂන් සභා වාර්තා දෙකම එකවර තමයි මේ ගරු සභාවට ඉදිරිපත් කර සභාගත කළේ. මම දැනට සතියකට කලින් පත් කළා ජනාධිපති කොමිෂන් සභාවක් 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට. ඒ කොමිෂන් සභාව පත්කිරීමෙන් පසුව පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී අමාත්‍යතුමාලා කිහිපදෙනෙක් මගෙන් විමසීමක් කළා, මේ රජය යටතේ වංචා දූෂණ හොයන්න කොමිෂන් සභාවක් පත්කිරීම බොහොම හොඳයි. නමුත් ඇයි පහුගිය රජය සම්බන්ධයෙන් මෙවැනි කොමිෂන් සභාවක් පත් නොකළේ කියලා. ඒ වෙලාවේ මම කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා ඒ කටයුත්ත මම කරලා ඉවර වෙලා ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකම එකවර තමයි සභාගත කළේ කියන එක. ඉන් පසුව ඒ කොමිෂන් සභා වාර්තාවල ඉදිරියට යාමේ කටයුතු පැහැදිලි ලෙසම පැවරෙන්නේ නීතිපතිතුමාට අධිකරණ අමාත්‍යාංශයට. මෙය අතුකෝරළ ඇමතිතුමිය අතින් සිදුවූ ප්‍රමාදයක් කියලා මම හිතන්නේ නැහැ. ඒ මොකද එදා කැබිනට් මණ්ඩලයේ දී මට තේරුම් ගියා එවැනි කොමිෂන් සභාවක් පත් කරලා වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළා ද කියන එකත් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු අමතක වෙලා තිබුණා. ඒ එක්කම මට මතකයි ඔය වාර්තා ඉදිරිපත් කරපු වෙලාවේම මේ ගරු සභාවේ දී ඒ පිළිබඳ විවාදත් ඇති වුණා. සමහර ඒවා අතරමග නැවතුනා. මොකද ඒ කාලය තුළ රටේ වැඩිපුරම දේශපාලන අංශවලත් රටේ ජනතාව සහ මාධ්‍යවලත් වැඩිපුර අවධානය යොමුව තිබුණේ මහබැංකු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු. ඒ නිසා මේ කොමිෂන් සභාවේ කටයුතු බොහෝ අයට අමතක වුණා. ඒ නිසා යටගියා. ඒක තමයි වෙච්ච සිද්ධිය. පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් පසුව සම්ප්‍රදායිකව ඒ සියලුම අමාත්‍යාංශවල මැති ඇමතිවරු දකිනවා එය අමාත්‍යාංශ හරහා සිදුවිය යුතු දෙයක් බව.තලතා අතුකෝරාළ ඇමතිතුමිය නෙවෙයි මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ හිටියේ අධිකරණ ඇමති විදියට. එතුමිය මෑතකදී පත් වුණේ. ඒ නිසා ඒ කාලය තුළ සිටි කවුරුන් හෝ අධිකරණ ඇමතිවරයා විසින් කළ යුතු කාර්යයක් තමයි ප්‍රමාදවීමක් හෝ අතපසුවීමක් සිද්ධවෙලා තියෙන්නේ කියලා මා පැහැදිලි කරන්නට ඕනෑ.

ඒ වගේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතු බව පසුගිය අවුරුදු කිහිපයේ මම අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළා. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, බරපතළ විදියට මු`එ රටම විනාශ කරන ජාතික ඛේදවාචකයක් වී ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය මර්ජුවානා, කොකේන් හෂීෂ්, අයිස් වැනි ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍ය රට පුරා පැතිරිලා තියෙනවා.

අද මරණීය දණ්ඩනය බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාව, සිංගප්පූරුව, වැනි රටවලත් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල විදුලි පුටුව ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල එන්නත් කිරීම් ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක වෙනවා. මේ තිබෙන ආර්ථික හා සමාජ බලවේගයන් තුළ ඇතිවන යහපත් පැත්ත වගේම වඩාත් විහිදී යන අයහපත් පැත්ත තුළ සමාජය විනයගරුක සමාජයක් කරන්න, නීතිගරුක සමාජයක් කරන්න, හොඳ රටක් කරන්න, තද නීති රීති ක්‍රියාත්මක වීම අවශ්‍යයි. අපි බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, දර්ශනයන් තුළ ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න විශාල කැපකිරීමක් කරනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඒ කටයුතු කරනවා. නමුත් ආධ්‍යාත්මික දර්ශනයන් වගේම නීති රීති ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා තමයි මම තීරණය කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. පසුගිය මාස ගණනාවකම මම ඉල්ලා සිටියා අදාළ ආයතනවලින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන් වෙලා මරණීය දණ්ඩනය නියමවූවන්ගේ ලේඛනයක් මා වෙත එවන්න කියලා. මේ ලේඛන එවීමත් එකදිගටම ප්‍රමාද වූණා. ඒකට තලතා අතුකෝරළ මහත්මිය ම වගකියන්න ඕන නැහැ. බොහොම කල් ඉඳලා මේ වාර්තා ගැන ඉල්ලීම් කළේ.

මේ වාර්තා අපිට සොයාගන්න බැරිවුණා. මම හිතන්නේ ඒකත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිබෙන ප්‍රබලත්වය මත ඒ වාර්තා සොයාගත නොහැකි තත්වයක් උදාවෙලා තිබෙනවා. අද විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය ගැන මම වගකීමකින්ම ප්‍රකාශ කරනවා ඒ බන්ධනාගාරය මේ රටේ මත්කුඩු, මත්පෙති, නීතිවිරෝධී මත්ද්‍රව්‍යවල මූලස්ථානය. එතැනින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි අධිකරණ ඇමතිතුමියත් අපිත් කතාකරලා වැඩපිළිවෙළක් හදාගෙන යනවා. ඒ තත්වය වෙනස් කරන්න බූස්ස ප්‍රදේශයේ සිරකරුවන් සිටින ප්‍රදේශයට ඉතාමත් බරපතළ වැරදිකරපු අපරාධකරුවන් ගෙනියන්න කටයුතු කරලා වැලිකඩ බන්ධනාගාරය වඩාත් නියමිත පරිදි සකස්කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ලැබිලා තිබෙන වාර්තා ජනවාරි මාසයේ තමයි හරිහැටි වාර්තා ලැබුණේ. බලපුවාම ඒවායේත් ප්‍රශ්න තිබෙනවා. මරණීය දණ්ඩනය දෙනවා කියලා මම ප්‍රකාශ කළාට පස්සේ මරණීය දණ්ඩනය නියමවෙලා සිරගෙවල් වල හිටපු අභියාචනා නොකළ සියලුදෙනාම අභියාචනා කරලා. ඒ අනුව තමයි මේ ගැටලු ඇතිවුණේ. ඒ නිසා නීත්‍යානුකූලව, නිවැරදිව ඒ දේවල් කළයුතු වෙනවා.

පහසුලෙසම නීත්‍යානුකූලව තොරතුරු ලැබුණේ සිරගෙදර සිටින පකිස්ථාන ජාතිකයෙක් ගැන. මම ඒකට එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. මොකද තවත් රටක පුරවැසියෙක් නිසා පකිස්ථාන රජයට අපි දන්වලා තිබෙනවා මේ මරණීය දණ්ඩනයට නියම කරලා තිබෙන පුද්ගලයා ඒ රටට භාරගන්න කියලා. ඒ පුද්ගලයා කියනවා පකිස්ථානයට යන්න බැහැ කියලා. බැහැයි කියලා කියන්නේ තිබෙන නීති එහේ බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වෙන නිසා. විදේශිකයෙක් මරණීය දණ්ඩනයට යොමුකරන්න තරම් මගෙත් ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන බොහෝ වෙලාවට අපිට පු`එවන්කම ලැබෙයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. මාසයක් දෙකක් කාලය තුළ එය ස්ථීර වශයෙන්ම ක්‍රියාත්මක කරන්න මම තීරණයක් ගෙන තිබෙනවා මොන විදියේ විරෝධතා ආවත්. විශේෂයෙන්ම මම කියන්නට ඕන මේ රටේ මානව හිමිකම් සංවිධාන වලින් මම ඉල්ලීමක් කරනවා අපරාධ, මත්ද්‍රව්‍ය, මත්කුඩු, ජාවාරම්, බරපතළ පාතාලය, මේවා මර්දනය කිරීමේ දී ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන පෙනී සිටිනවා නම් ඉතාමත්ම වැරදියි.

මම කණගාටුවෙන් වුවත් කියන්නට ඕන කාරණයක් තිබෙනවා. බරපතල වැරදි කරලා පාලනය කළ නොහැකි තත්වයේ සිටින වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිස් අපි අගුණකොළපැලැස්ස ගෙනගියාට පසුව එතැනට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න තීරණය කළා. එහෙම දැම්මාට පසුව අපේ මානව හිමිකම් කොමිෂන් සභාව, අපි පත්කළ මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකාව රකින්න ඕන මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මත ද, කාගේ නියෝගයක් මත ද, කුමන කාර්යයක් සඳහා ද අගුණකොළපැලැස්සට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන්නේ කියලා. එතකොට එතැනදී මානව හිමිකම් කොමිෂන් සභාව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද? පොලිස් විශේෂ කාර්ය බළකාය කියන්නේ බොහොම අවංකව තමන්ගේ කටයුතු සිදුකරන පිරිසක්. ඒ නිසාම තමයි අපි ඇමති මණ්ඩලය එහි ප්‍රධානියා වන ලතීෆ් මහතාගේ සේවය වසරකින් දිගු කළාම ඇමති මණ්ඩලය කිව්වා ඒක ඉතා හොඳ තීරණයක් කියලා.

මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය, මර්දනය කිරීමේ දී අපේ රජය ඒකාබද්ධව මේ අදාළ අමාත්‍යාංශ එක්ව කරන කටයුත්තේ දී ඒ ආයතනවලින් අපට විශාල සහයෝගයක් ලැබෙනවා. නමුත් අපේ මානව හිමිකම් සභාව අහනවා ඇයි මේකට එස්ටීඑෆ් දැම්මේ කියලා. ලොකු ප්‍රශ්න පත්තරයක් එස්ටීඑෆ් එකට එවලා තිබෙනවා ඒ අයගෙන් උත්තර ඉල්ලලා අඟුණුකොළපැලැස්සට ගෙන යෑම පිළිබඳව.

අපේ ත්‍රිවිධ හමුදාව පොලීසියේ අය විදේශීය පුහුණුවීම්වලට, එක්සත් ජාතීන්ගේ සාම සාධක සංවිධානයේ කටයුතු කිරීමට යැවීම් වැනි කටයුතු මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රමාද කරනවා. මම හරිම කණගාටු වෙනවා ඊයේ භූමිදාන කළ අපේ රණවිරුවන් දෙදෙනා පිළිබඳව. මාලිවලට රාජකාරිවලට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරලා ඒ දෙදෙනා ලංකාවට එන්න හිටියේ මීට මාස 06 කට කලින්. ඒ කණ්ඩායම් මාරු කිරීම් කරන්න දෙන්නේ නැහැ, මේ සියලු දෙනාගේ තොරතුරු හොයලා මේ අය මෙහෙමයි යවන්න බැහැ, මේ විදියයි කියලා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාව ඒ කරදරය නොකළා නම් මම පැහැදිලිවම දන්නවා මේ මරණයට පත් වුණු පොළොන්නරුවේ මේජර්වරයා සහ කුරුණෑගල සොල්දාදුවා කිසිසේත් මරණයට පත් වෙන්නේ නැහැ. ඒ හුවමාරු කිරීම් වැඩසටහන හරියට කර ගන්න තිබුණා නම්. නමුත් මෙවැනි තත්ත්වයක් මේ පසුබිම්වල තිබෙනවා.

ඒ නිසා මම කියන්නට ඕනෑ මේ මරණීය දණ්ඩනය නියම කිරීමේ දී මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කොමිසම් සියල්ලම ලෝකයේ අනෙක් ප්‍රබල රාජ්‍යවල ක්‍රියාත්මක වෙනවා. අපි වගේ පුංචි මිනිස්සුන්ට තමයි මේ නීති රීති ඔක්කොම දාලා තර්ජනය කරන්නේ. ඒ නිසා අපේ රට හදා ගන්න විනයක් ඇති රටක් හදන්න, හොඳ රටක් හදන්න, මානව හිමිකම් සංවිධාන කරුණාකරලා බරපතළ වැරදි කරන අයට අපරාධකරුවන්ට දෙන දඬුවම් පාලනය කරන්න, සීමා කරන්න, ඒවාට මානව හිමිකම් ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම මම විශේෂයෙන් සියලුදෙනාගෙන් ම කරනවා.

ඒවගේම තුන්වෙනි කාරණය තමයි අද අධිකරණ අමාත්‍යාංශය යටතේ කෙරෙන සාකච්ඡාවක් නිසා මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නට ඕනෑ අපේ විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේ දී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. ව්‍යවස්ථා සභාව තමයි මම එවන නම් අනුමත කරන්නේ. මම එවන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා මට එවන අයගේ නම්. මේ රටේ කිසිම දවසක ඇති නොවුණු තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. මේ වන විට විනිශ්චයකාරවරුන් 12 ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා ව්‍යවස්ථා සභාව. ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නැහැ. ඒ විනිශ්චයකාරවරුන්ට දන්වලත් නැහැ. මේ නිසා මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය ප්‍රාථමික අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණ, විනිසුරුවරුන් අද අපේක්ෂාභංගත්වයට පත් වෙලා තිබෙනවා. ඒ මොකද ඔවුන් කොතෙක් අවංක ව සේවය කළත් ඔවුන්ගේ උසස්වීම්වල දී කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා ඒ උසස්වීම් ප්‍රතික්ෂේප කිරීම නිසා අද ඔවුන් දැඩි කණස්සල්ලට පත් වෙලා තිබෙනවා. යම් විනිශ්චයකාර තනතුරක සිටින පුද්ගලයෙක් එම උසස්වීම සඳහා ඔහු සුදුසුනම් ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැත්නම් මම කණගාටු වෙනවා ගරු කථානායකතුමා අද මෙතන නැතිවීම පිළිබඳව.

මේ සිද්ධිය පිළිබඳව මම කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා මට පිටු 04 ක ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියේ සඳහන් වෙලා තිබෙනවා විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේ දී ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත කියලා. කුසලතා, දක්ෂතා, හැකියාවන් සලකලා තමයි ව්‍යවස්ථා සභාව උසස්වීම් දෙන්නේ කියලා. ඒ කුසලතා, දක්ෂතා, හැකියාවන් තීරණය කරන්නේ ව්‍යවස්ථා සභාව මොන මඟපෙන්වීම් තුළ ද? ව්‍යවස්ථා සභාව විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ස්වාධීන කොමිෂන් සභා ඉතාම හොඳ දෙයක්. නමුත් මේවා පිහිටෙව්වට පස්සේ 19 වෙනි සංශෝධනයෙන් ඒවායේ තිබෙන ප්‍රතිපත්තිමය කරුණු, ඒවායේ සීමාවන්, අවශ්‍ය මගපෙන්වීම්, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් රෙගුලාසි කිසිවක් සම්මත කරලා නැහැ. ඒ නිසා කිසිම සීමාවක් නැති ආකාරයට තමයි මේ ආයතනවල කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේ ගරු සභාවෙත්, මැති ඇමතිතුමන්ලාගෙත්, ගරු කථානායකතුමාගෙත් අවධානයට යොමු කරනවා

විනිශ්චකාරවරුන්ට උසස්වීම්දීමේ දී අතීතයේ යම් යම් නඩු තීන්දු දීම් පිළිබඳව, චෝදනා කරමින් මේ අය උසස්වීම්වලට නුසුදුසුයි කියන මතය තුළ විනිශ්චයකරුවරුන්ගේ උසස්වීම් ලබා නොදෙනවා නම් එය මේ රටේ අධිකරණ ක්‍ෂේත්‍රයේ බරපතළ ඛේදවාචකයක් බවට පත්වේවි කියලා මා විශ්වාස කරනවා.

ඒ නිසා රට ම බලාපොරොත්තු වන අන්තර්ජාතික වශයෙන් බලාපොරොත්තු වන අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය. ඉතාම අත්‍යවශ්‍ය වැදගත් වූ ආරක්ෂා කිරීමට නම් විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේ දි ව්‍යවස්ථා සභාවෙත් අග්‍රවිනිශ්චයකාරතුමාගේ කාර්යයත් පැහැදිලි ලෙස ම ඉටුවීමේ දී ඒ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි කෙනෙක් සුදුසු නැහැ කියනවා නම් අග්‍රවිනිශ්චයකාරතුමා හෝ අපිට දන්වන්නට ඕනෑ මෙයා මේ තනතුරට සුදුසු නැහැ. මෙයාට විනය පරීක්ෂණයක් තිබෙනවා. එහෙම නැත්නම් මෙයා ක්‍රියාශීලී නැහැ. මෙයාට භාරදුන් වගකීම් රාජකාරි ඉටු කෙරුවේ නැහැ කියන එක. එහෙම නම් ලිඛිත ව දන්වන්න වෙනවා. එහෙම දැන්වීමක් නොකිරීම නිසා ඒ සියලුම දෙනා මාව තමයි අල්ල ගන්නේ. එතකොට මාව මහ පාරෙදිත් අල්ලගන්න පුළුවන්. අග්‍රවිනිශ්චයකාරතුමා ළඟට යන්න බැහැ. ව්‍යවස්ථා සභාවට එන්න බැහැ, මේ නම් ප්‍රතික්ෂේප වෙන අයට. මාව හමුවෙන්න පුළුවන්. ඒ නිසා මේ අය මාව මුණගැහිලා බොහෝ දුක් ගැනවිලි කියනවා. වරින් වර අභියාචනා ඉදිරිපත් කරනවා. ඒ නිසා මම සමහර අය ගේ නම් දෙසැරේ තුන් සැරේ ව්‍යවස්ථා සභාවට එවලා තිබෙනවා. ඒ එවන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මගේ පුද්ගලික හේතු කාරණා නිසා නෙවෙයි. ඒ තමන්ට ඇති වුණු ප්‍රශ්නය පිළිබඳව තමන්ට ඇති වුණු දුක්ගැනවිලි මට අභියාචනා ඉදිරිපත් කරන අයට මට කළ හැකි එකම දේ මම කියනවා, මම මේ නම නැවත යවන්නම් බලන්න කියලා. නමුත් මේක පැහැදිලිව විසඳා ගත යුතු දෙයක්. ඒ ගැනත් එච්චරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ.

මම දැන් ආවට පස්සේ මෙතන වුණු සාකච්ඡාවක දී මා හිතවත් රිෂාඞ් බදියුදීන් ඇමතිතුමා කිව්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වැරදිකරුවන් ඉන්නවා නම් ඒ අය අල්ල ගන්න දැන් ජනාධිපතිතුමාට පුළුවන්නේ. පොලිසියත් එතුමා භාරයේනේ තියෙන්නේ කියලා. ඇත්තටම මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ කටයුතු කරනවා. මම පොලීසිය භාරගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් මේ මාස දෙකක වැනි කාලය තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉතාමත් ඉක්මන් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ තිබුණේ මගේ ප්‍රකාශයක් ගැනීම පමණයි. දැන් දවස් 04 ක ට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශයක් ගත්තා. ඒ නිසා මම හිතනවා ඉදිරි සති දෙකක් ඇතුළත වගේ රටට ම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරාවි. ඉන්පසු නීතිපතිතුමා එතනින් එහාට ඒ කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. කෙටියෙන් මේ කරුණු කිහිපය පැහැදිලි කිරීමයි බලාපොරොත්තු වුණේ.

ඒ නිසා මේ සභාවේ ඉන්න සියලු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ටත් නියෝජ්‍ය කතානායකතුමාටත් ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 February 2019 15:07

Related items