May 05, 2024

මංගලගේ කැබ්නට් යෝජනාවට ජනපතිගෙන් දැඩි විරෝධයක්

February 01, 2019

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි විරෝධය පල කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පැවසී ය.

මුදල් ඇමතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාවට විරෝධය දක්වමින් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කල යුතුව ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) අයෙකු බවත් ඉන් පිටස්තර විශ්‍රාමිකයන් පත් කිරීම හේතුවෙන් රේගු නිලධාරීන් පසුබැසීමට හේතු වී ඇති බවත් රාජ්‍ය සේවයේ මෙවැනි පත් කිරීම් නුසුදුසු බවත් ජනාධිපතිවරයා එම නිර්දේශ මගින් පෙන්වා දී ඇත.

මෙම තනතුරට සුදුසුකම් ඇති නිලධාරීන් එම සේවාව තුලම උවමනා තරම් සිටින බවත් මෙම පත් කිරීමට තමන් එකග නොවන බවත් ජනාධිපතිවරයා දන්වා ඇති බවද වාර්තා වේ.

මෙරට සිදු වූ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 16ක බී.එම්.ඩබ්. වාහන වංචාව සොයා ගන්නා ලද්දේද චාල්ස් මහත්මියයි.

කෙසේ වෙතත් සිය ධූරයෙන් ඉවත් කරන බවට මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මියට මීට පෙර තර්ජනය කර ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසී ය.

රාජ්‍ය පරිපාලනයේ ඉහලම තනතුරකට පත්වූ දමිල ජාතිකයෙකු වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය දූෂණයට විරුද්ධව කටයුතු කළ නිලධාරිනියකි.

Rate this item
(0 votes)