May 07, 2024

කරළියෙන් එහා: ෆොන්සේකාගෙන් රනිල්ට දෝස්මුරයක්! ගෝඨා එනවට මහින්ද - බැසිල් අකමැතියි

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ නැවතත් ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්නයි. මේ වසර මැතිවරණ වර්ෂයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා ශ්‍රීලනිප සංවිධායකවරුන් හමුවේදී ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණයකට සූදානම් වන ලෙසයි. ඒ අනුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මැතිවරණයකට ලහි ලහියේ සූදානම් වන බව පෙනීයයි. මේවන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සියලු දේශපාලන පක්ෂ නායකයෝත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කැමැත්ත පළ කර තිබේ. මේ අතර ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වූ බවය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා නිල සංචාරකයක් සඳහා පිලිපීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් පිලිපීනයට ගිය ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එහිදී විශේෂ පිළිගැනීමක් ද ලැබිණ. ජනාධිපතිවරයා සහ පිලිපීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති අතර ඒවා ඵලදායක වූ බව ද වාර්තා වේ. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය කරුණු දෙකක් හේතුවෙන් වැදගත් වන බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ඉන් පළමුවැන්න වන්නේ ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව ජනාධිපතිවරයා කළ පළමු විදේශ සංචාරය වීමය. අනෙක් කරුණ නම් මෙවර ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සිය විදේශ සංචාරයට එක් කර ගැනීමය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත සහ විජිත බේරුගොඩ ජනාධිපතිවරයා සමග පිලිපීනයට ගොස් සිටිති. පියල් නිශාන්ත කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර බේරුගොඩ නියෝජනය කරන්නේ මොණරාගල දිස්ත්‍රික්කය ය. ඉකුත් දිනවල ප්‍රචාරය වී තිබුණේ මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් බවය.  

ගෝඨාගේ ජනපති සිහිනයට මහින්ද - බැසිල් හරස් වෙයි 

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වතාවට තමා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බව පසුගිය දා ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කර ඇත්තේ ඉදිරි මාස තුන ඇතුළත කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ගෝඨාභය සැලසුමක් සකස් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම එජනිස මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීම ගෝඨාභයගේ අදහසය. 

ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම් බව ප්‍රකාශ කළ ද මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ එය අනුමත කළේ නැත. “ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව ගත්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා” යැයි බැසිල් කීවේය. චමල් රාජපක්ෂ ද තමා ද ජනාධිපතිවරණයට සූදානම් බව කියමින් යන්නේය. මේ අතර බැසිල් රාජපක්ෂගේ අදහස වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය තමාට ලබා ගැනීමටය. රාජපක්ෂ සහෝදරයන් අතර පවතින මේ සීතල යුද්ධය ද පක්ෂයේ කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙන බව ද මේ වනවිට තත්ත්වය වඩාත් බරපතළ වී ඇති බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි. ඒ අනුව විපක්ෂයේ පොදු සන්ධානයට ජනාධිපතිවරණ තරගයට මුහුණදීමට පෙර අපේක්ෂකයන්ගේ තරගයට මුහුණ දීමට සිදුව තිබේ. දිනෙන් දින තත්ත්වය බරපතළ විය හැකි බව ද ඔවුහු ප්‍රකාශ කරති. 

රට දිනවන අභියෝගයට අපි සූදානම්

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 02වැනිදා පැවැති මේ වසරේ පළමු මාධ්‍ය හමුවේදීම ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසන බලමණ්ඩල සහ දිස්ත‍්‍රික් බලමණ්ඩල කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් වෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී ද පක්ෂ නායකයින් රැස්වී මේ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීය. ”දිස්ත‍්‍රික් බලමණ්ඩල, ආසන බලමණ්ඩල කැඳවීම් පෙබරවාරි මුල් සතියේ ආරම්භ කරලා මාර්තු මාසේ අවසන් වනවිට සම්පූර්ණ කරන්න  ඕනෑ. මේ වෙනකොට පක්ෂය එක්ක වැඩකරන්න කැමැත්තෙන් බිම් මට්ටමේ විශාල පිරිසක් ඉන්න බව තේරෙනවා. ඒ නිසා ඒ අය පක්ෂ යාන්ත‍්‍රණයට සම්බන්ධ කරගන්න  ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”ඔව්, ජනාධිපතිවරයා කියලා තිබුණා පළාත් සභා මැතිවරණයක් ගැන. අලූත් ක‍්‍රමයට තියනවනම් සීමා නීර්ණය අවසන් කරන්න  ඕනෑ. පරණ ක‍්‍රමයට තියනවනම් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගන්න  ඕනෑ. ආණ්ඩුවේම අඩුපාඩු නිසා තමයි ඡන්දය කල් යන්නේ.” විජිත හේරත් කීවේය. ”බලමණ්ඩල සංවිධානය කරන්න තේමාවක්  ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”වසර 70ක් මාරුවෙන් මාරුවට මේ පක්ෂ දෙක රට කාලා දැම්මා. අපි දැන් ජනතාවට පණිවිඩයක් දෙන්න  ඕනෑ රට දිනවන්න අපි සූදානම් ඒකට එකතු වෙන්න කියලා.” ලාල්කාන්ත යෝජනා කළේය. ”රට දිනවන අභියෝගයට අපි සූදානම් කියලා තේමාව ගමු” ටිල්වින් සිල්වා යෝජනා කළේ ලාල්කාන්තගේ අදහස අනුමත කරමිනි. ”පෙබරවාරි මාර්තු මාස දෙකේ සියලූම දෙනා ප‍්‍රධාන කටයුතු ලෙස බලමණ්ඩල කැඳවන්න දින යොදාගමු. හැම දෙනාම පුළුවන් උපරිමයෙන් බලමණ්ඩලවලට දින වෙන්කරගමු. එතකොට මාස දෙකෙන් අපිට බල මණ්ඩල කැඳවලා ඉවර කරන්න පුළුවන්” අනුර දිසානායක කීවේය. ”අපිට දැන් උතුරෙත් බලමණ්ඩල පිහිටුවන්න පුළුවන්. වව්නියාව, මුලතිව්, කිලිනොච්චි ප‍්‍රදේශවලත් අපිට දැන් හොඳ සම්බන්ධයක් තියෙනවා. ජනතාව කැමැත්තෙන් ඉන්නවා.” රාමලිංගම් චන්ද්‍රසේකර උතුරේ දේශපාලන තත්වය ගැනද කරුණු පැහැදිලි කළේය.

ටීඑන්ඒ එක කරන්නේ උතුරේ ජනතාව අවුස්සන වැඩක්

”සුමන්තිරන්ලා පහුගිය කාලේ කියපු කතාවලින් දැන් දකුණේ ජාතිවාදී කණ්ඩායම් ආයෙත් උඩට ඇවිල්ලා. ටීඑන්ඒ එක ජනතාවට වැඩක් කරලා නැහැ. ඒ නිසා ඒ අය ව්‍යවස්ථාව එක්ක පැටලෙනවා. ව්‍යවස්ථාව ගේන්න වැඩක් කළා කියලා පෙන්වන්න.” බිමල් රත්නායක කීවේය. ”දැන් පළාත් සභා මැතිවරණය ගැන සංවාදයක් තියෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඡන්ද කඩාගන්න උතුරේ ජනතාව අවුස්සන්න තමයි ටීඑන්ඒ එකේ මන්ත‍්‍රීවරු මේ කතා කියන්නේ. ඒකෙන් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ. ජාතිවාදීන්ට තළුමරන්න මාතෘකාවක් හැදෙනවා; එච්චරයි.” විජිත හේරත් කීවේය. ”ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් කිවුවාම ඒක අල්ලගෙන දකුණේ ජාතිවාදීන් දවස ගානේ වොයිස් කට් දුන්නා. දැන් ඒ කණ්ඩායමේම අය කියනවා අවුරුදු 03ක් ගිහිල්ලා මුදල් කාබාසිනියා කළා තවම ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැහැ කියලා. ඒක තමයි ඇත්ත. බොරු ව්‍යවස්ථා බිල්ලෝ මවනවා ව්‍යවස්ථාව ගැන කිසිම ලියවිල්ලක් නැතුව.” අනුර දිසානායක කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ, මාරුතයේ හඩ, ලංකා වෙළඳ කාර්මික සංගමය, සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කාන්තාවෝ, වමේ කේන්ද්‍රය, ශ‍්‍රී ලංකා විද්‍යාර්ථයින්ගේ හා වෘත්තිකයින්ගේ සංවිධානය, සමස්ත ලංකා තරුණ හින්දු සම්මේලනය, සීඞීආර් සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සමනල්ලූ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, දිදුලන හදවත, 52 ව්‍යාපාරය, ජාතික විද්වත් සංවිධානය, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, 71 සහෝදරත්ව සංසදය, අලූත් පරපුර යන සංවිධානවලින් සැදුම්ලත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජනතා පෙරමුණ පසුගිය 14වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට බලකරමින් උද්ඝෝෂණයක් සංවිධානය කළහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, බිමල් රත්නායක ඇතුළු පිරිසක්ද සහභාගි විය. උද්ඝෝෂණය අවසන් වූ පසුව අනෙකුත් සංවිධානවල නායකයින් සහ ජවිපෙ නායකයින් අතර සුහද කතාබහක් ඇතිවිය. ”දැන් ආයෙත් ජනාධිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේ සටනක් ආරම්භ වෙලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ආව කෙනත් නැවත ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා. රාජපක්ෂවරු අතරත් සටනක්.” සිවිල් සංවිධානයක නායකයෙක් පැවසීය. ”පොරොන්දු ඉටු නොකරන එක තමයි අපේ රටේ සාමාන්‍ය තත්වය. නමුත් ජනතාවගේ පැත්තෙන් අභියෝගයක් ආවොත් දේශපාලකයින්ට ඒක නොසලකා ඉන්න බැහැ.” ලාල්කාන්ත කීවේය. ”ඔව්, අපි වැඬේ පටන් ගත්තට පස්සේ තව තව සංවිධාන අපිට කතා කරනවා. එකතුවෙලා වැඩක් කරන්න ඒ සංවිධාන සූදානම්. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න හදන්න පුළුවන් පුළුල්ම සංවිධානය අපි හදමු.” බිමල් රත්නායක යෝජනා කළේය. ”මේ ජනාධිපතිවරයා කරපු පිස්සු වැඬේම ඇති විධායක ජනාධිපතිවරයෙක් අපේ රටට  ඕන නැහැ කියන්න. ඒ විතරක් නෙවෙයි දැන් අලූතෙන් ජනාධිපතිවරණයට එන කට්ටිය දිහා බැලූවාම ජනාතාවට තේරෙන්න  ඕනෑ මේ අය ජනාධිපති වෙලා රටට වැඩක් තියෙනවද කියලා.” තවත් සිවිල් සංවිධානයක නායකයෙක් සිටියේය.

දඩය නෙවෙයි ප‍්‍රශ්නේ.. හොරා බව ඔප්පු වීමයි වැදගත්

ජවිපෙ මධ්‍යමකාරක සභාවට ටිල්වින් සිල්වා විසින් ලියන ලද ලිපි හා ජවිපෙට අයත් ලිපි ලේඛන කිහිපයක් ඇතුළත් කරමින් පොතක් සම්පාදනය කළ විමල් වීරවංශයට එරෙහිව පසුගියදා කොළඹ වාණිජ මහාධිකරණය තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළේය. එමගින් ටිල්වින් සිල්වා හට වන්දි මුදලක් ප‍්‍රධාන කිරීමටත් නඩු ගාස්තු ගෙවීමටත් විමල් වීරවංශට සිදුව තිබේ. එපමණක් නොව පොත් මුද්‍රණය නැවැත්වීමටත් මුද්‍රණය කොට ඇති පිටපත් විනාශ කිරීමට නියෝග කර තිබෙන අතර කෘතිය මුද්‍රණයෙන් ලබාගත් මුදල් ගණනය කොට එම මුදල්ද පැමිණිලිකරුවන්ට ගෙවීමට නියෝග කොට තිබේ. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විවිධ ප‍්‍රකාශ කරමින් තිබේ. මේ පිළිබඳව නීතිඥ සුනිල් වටගලගෙන් මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න කළේය. ”මිලියන 10ක් කියනවා මිලියන එකක් කියනවා මොකක්ද මේ පටලවිල්ල මන්ත‍්‍රීතුමා” මාධ්‍යවේදියා විමසා සිටියේය. ”වන්දි මුදල නෙවෙයිනෙ ප‍්‍රශ්නේ. එයා දැන් බුද්ධිමය දේපළ හොරෙක් කියලා ඔප්පු වුණා. ඒ කතාව වහන්න වෙන වෙන මාතෘකා හදනවා. පාස්පෝට් දෙකයි, උප්පැන්න දෙකයි. ඒ මදිවට කෝටි හතක් හම්බකරගත්ත විදිය කියාගන්න බැහැ. නඩු ගොඩක පැටලිලා ඉන්නේ. දැන් හොරෙක් බව එකින් එක ඔප්පු වෙමින් යනවා. ඒකයි ඇත්ත කතාව. මුදල ගැන කතා කරනවානම් නඩු ගාස්තුවත් විශාල එකක්. අවුරුදු 10ක් ඇදුණ නඩුවක්. නඩු ගාස්තුවත් ගෙවන්න වෙනවා. ඒ වගේම පොත මුද්‍රණය කරලා උපයපු මුදල ගණනය කරන්නත් කොමිසමක් පත්කරනවා.” සුනිල් වටගල කියා සිටියේය. 

මැතිවරණ කොමිසම ඡන්දෙට සූදානම්

මේ අතර ඉකුත් දා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවරක් ගැනීම සඳහා විකල්ප යෝජනා හතරක් ගැන සාකච්ඡා කෙරිණ. දේශපාලන පක්ෂ නායකයන් එම විකල්ප හතර අනුමත කර ඇතැයි ද පැවැසේ. ඉන් පළමු යෝජනාව අලුත් ක්‍රමයකට පළාත් සභා ඡන්දය පැවැත්වීමය. ඒ සඳහා ආඩුපාඩුවක්ව තිබෙන්නේ සමාලෝචන වාර්තාවක් නොමැතිකමය. සමාලෝචන වාර්තාවක් නොමැතිව වුව ද ජනාධිපතිවරයා එය අනුමත කරන්නේ නම් ඊට විසඳුමක් ලැබෙන බව ද පක්ෂ නායකයන් පවසා ඇත. කෙසේ වෙතත් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එහිදී බලපාන්නේ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතය. 

ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ සීමා නිර්ණය වාර්තාව සැලකිල්ලට ගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට නම් එම වාර්තාව ද නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකෙන් සම්මත කරගත යුතුය. දෙවැනි විකල්පය වන්නේ පළාත් සභා ඡන්දය ඉල්ලා උසාවි යෑමය. එම උසාවි යෑම් සිදු කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි. සාකච්ඡාවේදී දේශපාලන නායකයන් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව උසාවි යා යුතු බවය. දේශපාලන නායකයන්ගේ තෙවැනි විකල්පය අගතියට පත්  පාර්ශ්වයක් උසාවියේ නඩු පැවැරීමය. දැනට පළාත් සභා අක්‍රියව පවතින ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයකුට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම නිසා තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව කියමින් නඩු පැවැරිය හැකිය. දේශපාලන පක්ෂ නායකයන් පෙන්වා දී ඇත්තේ උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ සබරගමුව යන විසුරුවා හැර ඇති පළාත් සභාවල හිටපු මහ ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ නැතිනම් ඡන්දදායකයකුට හෝ උසාවි යාමේ හැකියාවක් පවතින බවය. දේශපාලන පක්ෂ නායකයන්ගේ සිව්වැනි යෝජනාව වී ඇත්තේ දැනට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති කෙටි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉක්මණින් සම්මත කරවා ගැනීමය. එසේ වුවහොත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට ඉක්මණින් පැවැත්විය හැකි බවය. ආරංචි මාර්ග සඳහන් කළේ හතරවැනි විකල්පය වඩාත් සුදුසු බවට දේශපාලන පක්ෂ නායකයන් යෝජනා කර තිබෙන බවය. 

කෙසේ වෙතත් සිදුවන ක්‍රියාවලිය ඒ අයුරින්ම සිදුවන්නේ නම් මේ වසරේ අප්‍රේල් මාසයේදී හෝ මැයි මාසයේදී හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව ද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි. එසේ වුවහොත් මැයි මාසයේදී පළාත් සභා මැතිවරණයත් දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණයත් යන මැතිවරණ දෙකම පැවැත්වීමට ඉඩ තිබෙන බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.  

එජාපයට දෙකට කැඩෙයි

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් කරළියට පැමිණ තිබේ. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ සඳහන් කරනුයේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව දේශපාලන පක්ෂය කටයුතු කරන බවය. “ඉදිරියේදී අපි අපේ පක්ෂය ලියාපදිංචි කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය කරලයි තිබෙන්නේ. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. දැනටමත් රට පුරා සංවිධායක කටයුතු දියත් කර තිබෙනවා. පළාත් සභා පළාත් පාලන ආයතනවල හිටපු එජාප මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් අප වටා එකතු වෙමින් සිටිනවා” යැයි ද සුගත් හේවාපතිරණ කියයි. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා බී.එම්. දසනායක ය. ඔහු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ තම පක්ෂය විජාතීකරණයට විරුද්ධව කටයුතු කිරීමට සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන වැඩපිළිවෙළට ද තම පක්ෂය විරෝධය දක්වන බව පක්ෂ නායකයෝ සඳහන් කරති.  

ෆොන්සේකා රනිල්ට දෙහි කපයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිී කණ්ඩායම පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් විය. එහිදී සරත් ෆොන්සේකා අගමැතිවරයාට දෝස් මුරයක් එල්ල කළේය. සරත් ෆොන්සේකා කීවේ තමාට ඇමැති ධුරයක් ලබා දීම සඳහා අගමැතිවරයා උත්සාහයක් නොගන්නා බවය. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයට පත් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ සලකා බලලයි ජනාධිපති ඒක කරන්නේ. ඒත් ජනාධිපතිට නම් 35ක් ඇරියා. එතුමාට අවශ්‍ය නම් පහක් කපන්න ඉඩක් සලසා දුන්නා. එසේ නොකර නම් තිහක් පමණක් යැව්වා නම් ඕක වෙන්නේ නැහැ” යැයි ෆොන්සේකා දෝස් මුරයක් ඇද්දේය.


මේ අතර දෙමළ ජාතික සන්ධානය හා අගමැතිවරයා අතර හමුවක් ද පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා දෙමළ සන්ධානයේ දායකත්වය ගැනය. දෙමළ සන්ධානය විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නිසා නිල වශයෙන් එවැන්නකට දායකත්වයක් දැක්විය නොහැකිය. එහෙත් ආණ්ඩුවේ සහාය ඇතිව උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට දායකත්වය ලබා දීම දෙමළ සන්ධානයේ අරමුණය. 

මේ අතර දෙමළ ජාතික සන්ධානය සමග විරසකයකට පැටලී සිටින ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් මේ මස 29 වැනි දින පැවැත්වීමට නියමිතය. “ටෙලෝ සංවිධානය අලුත් ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ ව්‍යවස්ථා සම්පාදනය නතර කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාවෙන් කියන්නෙත් ඒකීය රාජ්‍යයක්, බුද්ධාගමට මුල් තැන දෙනවා කියනවා. පරණ ව්‍යවස්ථාවත් අලුතින් හදන එකත් අතර වෙනසක් නැහැ. ඉතින් මොකටද අලුත් ව්‍යවස්ථාවක්” යැයි ටෙලෝ ප්‍රබලයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එම්.කේ. සිවාජිලංගම් සඳහන් කරයි. 

විමලවීර සිත් තැවුලෙන්

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිී විමලවීර දිසානායක මේ දිනවල කලකිරීමට පත්ව සිටියි. මන්ත්‍රීවරයා කලකිරීමට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. “මම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක. මගේ වැඩකට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා. එතුමා ඒක ගණන් ගත්තේ නැහැ. මට ගොඩක් හිතවත් උහන පන්සලේ උත්සවයකට මම හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒ උත්සවයටම සරත් වීරසේකර එතුමාට කළ ආරාධනාව මහ ඉහළින් පිළිගත්තා. සරත් වීරසේකර චොපර් එකක් යැව්වා. එතුමා උත්සවයට ආවා. මට ගමේ මිනිස්සුන්ටයි පන්සලේ හාමුදුරුවන්ටයි මූණ දෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම ලජ්ජාවට පත් වුණා” යැයි විමලවීර දිසානායක මන්ත්‍රීවරයා හිතවතුන් සමග දුක කියමින් සිටින්නේය. විමලවීර දිසානායක කියනුයේ “අමාරුම කාලේ හිටියේ මම. එතුමාට බැහැලා වැඩ කළේ මම. ඒත් අපිව ගණන් ගත්තේ නැහැ” යනුවෙනි. විමලවීර දිසානායක ඒ හේතුව නිසාම මේ දිනවල කොළඹ පැමිණීම ද අඩු කර තිබෙන බව පැවැසේ. කොහොම වුණත් හිතේ අමාරුවෙන් හරි තමා මහින්ද රාජපක්ෂ මහත්තයගේ පුතාගේ මංගල උත්සවයට යන බව ද මන්ත්‍රීවරයා කියන්නේය. 

 

 

 

 

Rate this item
(0 votes)