May 08, 2024

කරළියෙන් එහා: එජාපය ඇතුළේ ගිනි ඇවිලේ! යාපාට පොහොට්ටුවෙන් කැපිල්ලක්

දේශපාලන අර්බුදයේ උණුසුම පහව යාමත් සමග මැතිවරණ උණුසුම ඇති වෙමින් තිබෙන වකවානුවක යළිත් ජනපති අපේක්ෂකත්වය ගැන දැඩි කතාබහක් ඇතිව තිබේ. එහෙත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි යන්න ප්‍රධාන පක්ෂ දෙකෙන්ම තවමත් නිල ප්‍රකාශයක් කර නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සඳහන් කරනුයේ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල ජනාධිපතිවරයා බවය. එජාපය තවමත් අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොතිබුණද පසුපෙල මන්ත්‍රීවරු සහ ප්‍රබලයින් කිහිපදෙනෙකු එජාපයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔවුන් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු  බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වනවාට මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකර නොමැති බවත්ය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සටහනක් දිය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වන බවත්, දෙකට තුනට බෙදී වෙන්වී කටයුතු කළහොත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට ඒ තුළින් වාසි අත්විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයේ එකඟතාව වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වයට නම්කර මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීමය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකිනෙකාට සැක කෙරෙන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවක් ප්‍රදර්ශනය වන බව ද දේශපාලන විචාරකයන්ගේ අදහසය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වී ඇත්තේ එම පක්ෂයේ ප්‍රබලයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමය. ඒ අනුව අනිවාර්යයෙන්ම රාජපක්ෂවරයකු සටනට ඉදිරිපත්වනු ඇතැයි ද පැවැසේ.

මහින්ද අගමැති - මෛත්‍රී ජනපති

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු මෑතක දී හිතවතුන් පිරිසක් සමග පැවති සුහද හමුවක දී කියා ඇත්තේ “මෛත්‍රී ජනාධිපති වෙලා මහින්ද අගමැති කරනවාය කියන එකඟතාවයක් තියෙනවා. ඒනිසා මේ වන විට ජනාධිපතිවරයා මහින්ද පාර්ශ්වයට එළිපිටම උදව් කරන තත්ත්වයකට පත්වෙලා වැඩ කරනවා. මහින්දගෙ පිරිස එතුමාගෙන් වැඩගන්නවා. ඊට පස්සේ වෙලාව ආවම රාජපක්ෂ කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා කරනවා” යනුවෙනි. කෙසේ වෙතත් එහි ඇත්ත නැත්ත බලාගත හැකිවනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුවය.

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 120 වැනි ජන්ම දින සැමරුමක් ඉකුත් අඟහරුවාදා පැවැත්විණ. කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක ප්‍රතිමාව අසල පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපතිවරයාය. එහෙත් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිනිය අතර එහිදී හමුවීමක් සිදු නොවුණේ එදිනම ජනපති පදවි ප්‍රාප්තිය සැමරුම වෙනුවෙන් නව ලග්ගල හරිත නගරය සහ කළුගග ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට හදිසියේම ජනාධිපතිවරයා පිටත් ව යාම නිසාවෙනි. ජනාධිපතිවරයා සැමරුමට පැමිණ මල්දම් තබා උපහාර දැක්වූ අතර ඉක්මනින්ම පිටත්ව යන්නට සූදානම් වූයේය. ජනාධිපතිවරයා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේම චන්ද්‍රිකා කුමාරතුංග මෝටර් රථයෙන් පැමිණියාය. චන්ද්‍රිකා රථයෙන් නොබැසම ජනාධිපතිවරයා පිටත්ව යන දෙස බලා සිටියාය. එම සමරු උත්සවය අවසානයේ දී චන්ද්‍රිකාට විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා හමුවූයේය. එහිදී හිටපු ජනාධිපතිනිය මන්ත්‍රීවරයාට නෝක්කාඩු ස්වරයෙන් යමක් කීවාය. “ගිය අවුරුද්දෙම ඔයාට කතා කරන්න බැරි වුණා. මේ අවුරුද්දෙවත් පුළුවන් වේවිද දන්නේ නැහැ” යැයි චන්ද්‍රිකා කියද්දී විජිතමුණි මන්ත්‍රීවරයා සිනාසෙමින් කීවේ “මැඩම් කෝල් එකක් දෙන්න. මම කතා කරන්න එන්නම්” කියාය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ජනක රණවක එලෙස මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූයේ අලුත් තනතුරක් බාර ගැනීමටය. ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරයයි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරයේ මෙතෙක් කටයුතු කළේ හිටපු පාර්ලිමේන්තුි මන්ත්‍රී එරික් වීරවර්ධනය. එරික් වීරවර්ධන ප්‍රකාශ කර ඇත්තේ තමාට නැවත ක්‍රියාකාරී දේශපාලනයට ඒමට අවශ්‍ය හෙයින් තනතුරෙන් ඉවත් වූ බවය. 

මෛත්‍රී - රනිල් - මහින්ද හදිසියේ හමුවෙයි

මේ අතර ජනප්‍රිය ගායන ශිල්පී භාතිය-සන්තුෂ් සිය 20 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී “ඔබ නිසා” නමින් ප්‍රසංගයක් පැවැත්විණි. එහිදී දේශපාලනයේ තවත් සුවිශේෂ සිදුවීමක් සිදුවිය. එම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස පැමිණ සිටියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය. ඔවුන් ප්‍රසංගය නැරඹූ අතර එහිදී සිදුවූ කතාබහ පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූනේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී අවධානය යොමූ වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයින් පත්කිරීම පිළිබඳවයි. ”දැන් විපක්ෂයේ මන්ත‍්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා බැගින් පත්කරන්න  ඕනෑ.” අනුර දිසානායක කීවේය. ”පාර්ලිමේන්තුව කල් තියපු නිසා කෝප් සභපති තනතුරත් දැන් අහෝසි වෙලා. කෝප් කමිටුවේ සභාපති ධුරයට මොකද වෙන්නේ. කෝප් කමිටුවට අපි කවුද යන්නේ.” විජිත හේරත් විමසීය. ”හඳුන්නෙත්ති සහෝදරයාම කෝප් කමිටුවට යන එක හොඳයි. නමුත් සභාපති ධුරය භාරගන්නවද කියන ප‍්‍රශ්නය තියෙනවා නේද?” වෛද්‍ය නලින්ද ජයතිස්ස වීමසීය. ”කෝප් කමිටුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. වංචා දූෂණ විශාල ප‍්‍රමාණයක් විමර්ශනය කෙරෙනවා. ඒ නිසා සභාපති ධුරයේ වැඩ කරන්න ලැබුණොත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් අනෙක් මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ.” අනුර දිසානායක කීවේය. ”අනෙක් මන්ත‍්‍රීවරු කැමති නම් අපි සභාපති ධුරය භාරගමු” විජිත හේරත්ද කියා සිටියේය.

නව ව්‍යවස්ථාව ගැන විද්වත් කමිටු වාර්තාවට ජවිපෙ විවාදයක් ඉල්ලයි

”අලූත් ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කරපු ප‍්‍රකාශයෙන් මුළු රටම ඇවිලිලා. ඒක අසත්‍ය ප‍්‍රකාශයක්.” බිමල් රත්නායක කියා සිටියේය. ”අලූත් ව්‍යවස්ථාවක් එන්නේ කොහොමද? ඒක ලොකු ක‍්‍රියාවලියක්. අඩුම තරමේ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. නමුත් විද්වතුන්ගේ වාර්තාවක් එන්න නියමිතයි. ඒක විද්වතුන්ගේ වාර්තාවක් විතරක්. අනෙක් දේශපාලන පක්ෂ ඒකට එකඟ නැද්ද කියලා තීරණය කරලා නැහැ.”  අනුර දිසානායක කීවේය. ”ව්‍යවස්ථාදායක සභාවේ මේ ගැන කතාබහ වුනා. ඒ වෙලාවෙත් අපි යෝජනා කළා මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විතරක් මදි ඒ ගැන විවාදයක්  ඕනෑ කියලා. මොකද එම වාර්තාව ගැන කියන්න අදහස් අපිටත් තියෙනවා” බිමල් රත්නායක කීවේය. ”ඔව්, ව්‍යවස්ථාවක් එනවා කියලා බොරු මත හදන වෙලාවේ මේ වගේ වාර්තා වැරදියට අර්ථකතනය කරනවා ජාතිවාදී කණ්ඩායම්. ඒ නිසා ව්‍යවස්ථාව ගැන එන  ඕනෑම වාර්තාවක ඇත්ත තත්වය කියන්න අපිටත් අවස්ථාවක් හදාගන්න  ඕනෑ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලමු.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ජවිපෙ මන්ත‍්‍රීන්ට කියූ කතාව

පසුගිය පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූයේ අටවෙනිදාය. මේ සභාවාරය අතරතුර පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අතර විවිධ කතාබහ, අදහස් හුවමාරුවීම් සිදුවිය. මේ අතර පසුගිය 09වෙනිදා ජවිපෙ මන්ත‍්‍රීන් තිදෙනකු සහ ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් අහම්බෙන් මුහුණට මුහුණ හමුවිය. ශ‍්‍රීලනිප ප‍්‍රබලයාද ජවිපෙ මන්ත‍්‍රීන් මඟහැර නොයා මොහොතක් නතර වූයේ සුහද කතාබහක නිරත වීමටය. ජවිපෙ මන්ත‍්‍රීන්ද ගමන නතර කළේය. ”ඉතිං කොහොමද වැඩකටයුතු. මොන ඡන්දෙද ඉස්සරවෙලා එන්නේ.” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීගෙන් විමසීය. ”වෙච්ච දේවල් ඔබතුමාලා දන්නවනේ. අපි දන්නෙත් නැහැ දැන් මොනවද වෙන්නේ කියලා. මමත් ජනාධිපතිතුමාගෙන් ඇහුවා. එතුමා කිව්වේ ඒවා වෙලාවට එයි කියලා. ගමට ගියාම අපේ පාක්ෂිකයොත් අපෙන් අහන්නේ ඒ කතාව. අපිත් කියනවා කලබල වෙන්න එලා ඒවා වෙලාවට එයි කියලා. කොහොමත් මම හිතන්නේ පාර්ලිමේන්තු ඡන්දෙ ඉක්මනට එන එකක නෑ. අලූත් මන්ත‍්‍රීලා ඒකට කැමති නෑනේ.” ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා කීය. ”ඒක නෙවෙයි ජනාධිපතිතුමා පුද්ගලික ලේකම් අයින් කළේ ඇයි?” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් වීමසීය. ”එහෙම එකක් මම දන්නේ නෑනේ.” කියූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා දුරකතන ඇමතුමක් ගෙන එම කතාව තහවුරු කරගත්තේය. ”ශ‍්‍රීලනිපය ගැන අපි තරම්වත් ඔබතුමාලා දන්නේ නැහැනේ. දැන් පත්කරගෙන තියෙන්නේ ජනක රණවක. ජනක රණවක කියන්නේ ඇවන් ගාඞ් වංචාවේ චූදිතයෙක්. වංචාවට දූෂණයට විරුද්ධයි කියලා හොරු ළං කරගන්නවා.” ජවිපෙ මන්ත‍්‍රීවරයා කීය.

සුළු මොහොතකින් කතාව ඔක්තෝබර් 26දිනට ඇදී ගියේය. ”අපි එදා ශ‍්‍රීලනිප නායකයින්ගේ විශේෂ රැස්වීමක හිටියේ. ජනාධිපතිතුමා විශේෂ මොකුත් කිව්වේ නැහැ. කියපු එකම දේ රට වෙනුවෙන් විශේෂ තීන්දු ටිකක් ගන්න හිතාගෙන ඉන්නවා කියපු එක. හවස පහහමාරට විතර රැස්වීම ඉවරවුනා. මම ගෙදර ගියා. හවස හයහමාර ජවෙනකොට නිවුස් එකක් ගියා මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ දිවුරුම් දෙනවා කියලා. ඇත්තටම මට දේශපාලනය එපා වුනා. මොකද අපිත් කාලයක් දේශපාලනයේ හිටපු අය. අපි මොකුත්ම දන්නේ නැතුව අපේ නායකයා මහින්දට අගමැතිකම දෙනවා.” ශ‍්‍රීලනිප ප‍්‍රබලයා කියා සිටියේ මහත් කළකිරීමෙනි. ”අපිත් දැනගෙන හිටියේ ජනාධිපතිතුමා මේක හොරෙන් කරපු වැඩක් කියලා.” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් කීය. ”හොරෙන්මත් නෙවෙයි. මේකේ ඞීල් එක කළේ එස්බීලා ඇතුළු කණ්ඩායමක්. එස්බීලා ජනාධිපතිතුමාට කියලා තිබුණා මහින්දට අගමැතිකම දුන්නොත් එයාලා ජනාධිපතිතුමාට නැවත ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා පස්සේ මේ ගැන බැසිල්ගෙන් අහලා තියෙනවා මම ඔයාලට උදව් කළා ඇයි දැන් මට අපේක්ෂකකම දෙන එක එකඟතාවයක් නැත්තේ කියලා. නමුත් බැසිල් කියලා තියෙන්නේ එහෙම එකඟතාවයක් තිබුණේ නැහැ කියලා. කොහොමත් මේ ගත්ත තීන්දු කිසිම දේශපාලන පරිනතකමකින් ගත්තේ නෑ කියලා දැන් මුළු රටම දන්නවා.” ශ‍්‍රීලනිප ප‍්‍රබලයා ජවිපෙ මන්ත‍්‍රීන්ට කියා සිටියේය.

කීර්තිගේ ආණ්ඩුකාර පුටුවට ඌව මහ ඇමතිගෙන් විරෝධය

මේ අතර නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ද විවේචන එල්ලවෙමින් තිබේ. ඌව පළාතේ මහ ඇමති චාමර සම්පත් දසනායක ගුරුවරියක දණගැස්සූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාතට පත්කළ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් එකල විශාල විරෝධතාවයක් ගෙන ගියේය. මහ ඇමැතිවරයාට එරෙහි ජනමාධ්‍ය ඔස්සේ කරුණු කීම, දැඩි විවේචන එල්ල කිරීම පමණක් නොව කීර්ති තෙන්නකෝන් මහ ඇමැතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළේය. මේ අතීත කරුණු කාරණා හේතුවෙන් ඌව පළාතට කලින් පත්කළ ආණ්ඩුකාරවරයාට සහ මහ ඇමතිවරයාට එක්ව කටයුතු කිරීමේ නොහැකියාවක් උද්ගතවී තිබිණ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ කීර්ති තෙන්නකෝන්ගේ ආණ්ඩුකාර පත්කිරීම පිළිබඳව මහ ඇමති චාමර සම්පත් දසනායක විරෝධයක් දක්වා තිබෙන බවය. මහ ඇමැතිවරයා සිය විරෝධය ජනාධිපතිවරයාට ද ප්‍රකාශ කර ඇත.
මේ අතර මහ ඇමතිවරයාගේ දකුණේ ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ මාර්ෂල් පෙරේරා ඌවට පත්කරනලෙස ඇමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව කීර්ති තෙන්නකෝන් දකුණේ ආණ්ඩුකාර ධුරයට පත්කර මාර්ෂල් පෙරේරා ඌවට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ලක්ෂ්මන් යාපාට පොහොට්ටුවෙන් කැපිල්ලක්

මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බල මණ්ඩල රැස්වීමක් ඉකුත්දා කැඳවා තිබිණ. එම බල මණ්ඩල රැස්වීමට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන මෙන්ම කාංචන විජේසේකර ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහෙත් එම රැස්වීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධනට ආරාධනා කර තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා කනගාටුවට පත්ව සිටින අතර ඔහු හිතවතුන් සමග ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුණ බව ද පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් දයාසිරි ජයසේකර ඉකුත්දා කටවරද්දා ගත්තේය. මහ ලේකම්වරයා කියා තිබුණේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද යන්න තීරණයක් ගත යුතුය කියාය. දයාසිරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පාර්ශ්වය තරමක් අමනාපයක් දැක්වූහ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා රැස්වූහ. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවක පැවැති එම රැස්වීම ආරම්භයේදීම දයාසිරි සිය ප්‍රකාශය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළේය. එහිදී මහින්ද රාජපක්ෂ දයාසිරි ජයසේකරට උත්තරයක් දුන්නේය.

‘ඔබතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක් නෙමෙයි. පක්ෂයේ මහ ලේකම් තනතුරක් ගත්තම කියන කරන දේවල් ගැන දෙපාරක් හිතන්න ඕනේ’ යැයි මහින්ද කී කතාව දයාසිරි කිසිවක් නොකියාම පිළිගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එදින දුමින්ද දිසානායක පැමිණ සිටියේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද පක්ෂයේ වැදගත් රැස්වීම් හා සාකච්ඡා කීපයක්ම ඉකුත් දිනවල වර්ජනය කර තිබිණ. මේ අතර ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරු දුමින්ද දිසානායකගේ නම නොකියා ඔහු විවේචනය කිරීමට ද පටන්ගෙන සිටිති. ඇතැම් අය එක්සත් ජාතික පක්ෂයට කඬේ යනවා. චන්ද්‍රිකාට ඕන විදිහට වැඩ කරනවා. ඒ අය නැවතත් එජාපයට බලය අරගෙන දීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා ආදී වශයෙන් එම මන්ත්‍රීවරුන් ව්‍යංගයෙන් දුමින්ද දිසානායක විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.

මහින්දට කට වරදී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉකුත්දා රැස්වීමක් අමතන අවස්ථාවේ විශේෂයක් සිදුවූයේය. ආණමඩුවේ පැවැති එම රැස්වීමේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දොස් කීවේය. ආණ්ඩුව ජාතික සම්පත් විකුණාගෙන කන බවත් ආර්ථිකය විනාශ කළ බවත් කියමින් මහින්ද කතාව කරගෙන යද්දී රැස්වීමේ සිටි පුද්ගලයෙක් යමක් කීවේය. “ඒ හැමදේටම ජනාධිපතිතුමත් වගකියන්න ඕනේ” යැයි ඔහු කී කතාව ඇසුණු විට මහින්ද අපහසුතාවයට පත්වූයේය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කී කතාව පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ එම අවස්ථාවේ මහින්දට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මහින්ද සිනාසෙමින් විහිළුවක් කර කතාව වෙනත් පැත්තකට යොමුකළේය.

රනිල් ඉදිරියේ එජාප මන්ත්‍රී පිරිස ඇමැති මලික්ට බැනවදී

සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම් දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. මෙම කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව වාර්තා වේ.

එහිදී එජාප මන්ත්‍රීවරු මලික් සමරවික්‍රමට දොස් කීහ. එජාප මන්ත්‍රීවරු අවස්ථා කීපයකදීම මලික් විවේචනය කළහ. ‘ඇමැතිවරු හම්බ වෙන්න බැහැ. වෙලාවක් ඉල්ලුවොත් දෙන්නෙ නැහැ.’ ආදී වශයෙන් එජාප මන්ත්‍රීවරු මලික් සමරවික්‍රමටත් තවත් ඇමැතිවරුන් කීප දෙනෙකුටත් දොස් පැවැරූහ. තමා හමුවීමට ඕනෑම අවස්ථාවක හැකි බවත් තමන් හමුවීමට අවශ්‍ය නම් තමාට ඕනෑම අවස්ථාවක දුරකථනයෙන් කතා කළ හැකි බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ එම පිළිතුරෙන් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සෑහීමකට පත් වී නැත. මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු පිළිබඳව දැඩි සුපරික්ෂාවෙන් පසුවන බවත් එම මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත. මෙම කණ්ඩායම් රැස්වීමට ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුම සහභාගි නොවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දොස් පැවරීය. අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මතු වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී කමිටුවක්ද පත්කළේය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන මෙම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන අමාත්‍යවරුද අයත් වෙති.

මේ අතර එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී කබීර් හෂීම් එජාප මන්ත්‍රීවරුන්ට තරවටුවක් කළේය. ‘යමක් තියෙනවා නම් එළියේ කිය කියා ඉන්නේ නැතිව මෙතන කියන්න. එළියේ විවේචන කරන්න එපා. ඇතැම් අය ප්‍රවෘත්ති සාකච්ඡා තියලා වීරයෝ වෙන්න හදනවා. මීට පස්සේ ඒ වගේ දේවල් කරන්න එපා’ යැයි ඔහු පෙන්වා දුන්නේය.

 

 

 

Rate this item
(0 votes)