May 07, 2024

කරළියෙන් එහා: ජනපතිවරණය මේ වසරේ - ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනත් දේශපාලනයට

නව වසර ආරම්භයත්  සමග ආණ්ඩුවේද යම් යම් වෙනස්කම් සිදු කරමින් අලුත් ගමනක් යාමට ක්‍රියා කිරීමට කටයුතු කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. විශේෂයෙන් මේ වසර මැතිවරණ වසරක් බවට පත්වන බවට ඉඟිපල වී තිබේ. ඒ අනුව පළමුවෙන්ම පළාත් සභා මැතිවරණයත්, මහ මැතිවරණයත් මේ වසරේ අග පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මේ වසර සුවිශේෂ වන්නේය. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වසරේදී යම් හෙයකින් මැතිවරණ එකක් හෝ දෙකක් පැවැත්වීමේ ඉඩකඩක් තිබිය යුතු බවය. එහෙත් මැතිවරණ පැවැත්වීමට තිබෙන නීතිමය බාධා ප්‍රායෝගික ගැටලු ආදිය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනතුරු මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කක් නොවන බව ද පැවසේ.

පළාත් සභා කිහිපයකම නිල කාලය අවසන්වී ඇති අතර මේ වසරේ මුල් මාස කිහිපයේදී තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන්වීමට නියමිතය. ආණ්ඩුවට අවශ්‍යනම් පළාත් සභා මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දිය හැකිය. මීට අමතරව පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකඟතාවයෙන් හා තුනෙන් දෙකකින් කරන යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. එසේ වුවහොත් මේ වසරේදීම පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ අවස්ථාව හිමිවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයකට ඕනෑම අවස්ථාවක මුහුණදීමට සුදානම්ව සිටින බව නිතර නිතර ප්‍රකාශ කරමින් සිටියි. එක්සත් ජාතික පක්‍ෂය ද මාස කිහිපයකින් පසුව මහා මැතිවරණයක් පැවැත්වීමට කැමැත්තක් දක්වන බවට ඉඟි කෙරෙන ප්‍රකාශ කිහිපයක්ම  කර තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කිවේ “ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කළා. දැන් අපට නිත්‍යානුකූලව මහා මැතිවරණයකට යාමේ අවස්ථාවක් තිබෙනවා.” යනුවෙනි. ඒ අනුව යම් හෙයකින් මේ  වසරේදී මහා මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය ද නැතිවම නොවේ. පළාත්  සභා මැතිවරණයත් මහා මැතිවරණයත් යන මැතිවරණ දෙකම නොපැවැත්වුණද අනිවාර්යයෙන්ම මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වූයේ 2015 වසරේ ජනවාරි මස 8 වැනි දින පැවැති  මැතිවරණයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. දහනව වැනි සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් ගිය විට තමාද නැවත තරග කරන බව දන්වා ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. එසේ කරන්නේ නම් මේ වසරේ ජුනි මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩක් තිබේ. ජනාධිතිවරයා එසේ නොකරන්නේ නම් ඔහුගේ ධුර කාලය අවසන්වන මේ වසරේ නොවැම්බර් මාසයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. 

දේශපාලන විචාරකයින් සඳහන් කරනුයේ මේ වසරේ නොවැම්බර් මස 8 වැනි දිනත් දෙසැම්බර් මස 8 වැනි දිනත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම නව ජනාධිපතිවරයා 2020 වසරේදී ජනවාරි මාසයේදී දිවුරුම්දිය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අනුව 2019 වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් හෝ දෙකක් හෝ පැවැත්වීමට ඉඩ තිබෙන නිසා මේ වසර මැතිවරණ වසරක් ලෙස නම් කිරීම වරදක් නැතැයිද දේශපාලන විචාරකයින් පවසති. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනුයේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බවය. මේ වසරේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා භාවිතා කරනුයේ 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි. 2018 ඡන්ද හිමි නාම ලේඛනය ඉකුත් නොවැම්බර් මාසය වනවිට සනාථ කර තිබේ. 2018 ඡන්ද හිමි නාමලේඛණයට අනුව මීළඟ මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයෝ ලක්‍ෂ 159ක් සුදුසුකම් ලබා සිටිති. මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව ලක්‍ෂ 17 කට අධිකය. කොළඹ  දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ 16කට වැඩිය. දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්කවලට අනුව ත්‍රිකුණාමලය අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කය වේ. ත්‍රිකුණාමලයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව දෙලක්‍ෂ අසු දහස් ගණනකි. මේ අතර ඉකුත් වසරේ දිවයිනේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ 157ක් වූ අතර ඒ අනුව 2017 වසරට සාපේක්‍ෂව 2018 වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව ලක්‍ෂ දෙකකින් පමණ වැඩිවී ඇතැයිද පැවසේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ වැඩිවී ඇත්තේ තරුණ ඡන්ද බවය. 

මැතිවරණ කොමිෂන් සභාව නව වසරේ තවත් අලුත් වැඩකට අතගසා තිබේ. ඒ මැතිවරණ පැමිණිලි නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ “මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ කාර්යාංශයක්” ස්ථාපිත කරන බවය. “මැතිවරණ පැමිණිලි විමර්ශනය කරන එක අපි කොහොමටත් කරනවා. හැබැයි මෙතෙක් ස්ථිර අංශයක් තිබ්බේ නැහැ. මේ අංශය අපි ස්ථිර ලෙසම ස්ථාපිත කරනවා. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කළා. මාර්ග සැලැස්මක් සකස් කළා. බස්නාහිර පළාතේ දිසාපතිවරුන් හා තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරපු දැනට අමාත්‍යාංශ ලේකම්ධුර දරන නිලධාරීන් කැඳවා මේ මස 8 වැනිදා සාකච්ඡා කරනවා” යැයිද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා සඳහන් කරයි.

 ඡන්ද පැවැත්වෙන සමයේදී මැතිවරණ පැමිණිලි ලැබීම සාමාන්‍ය දෙයක් වුවද ඡන්දයක් නොපැවැත්වෙන කාලවලදීද මැතිවරණ පැමිණිලි ලැබෙන බව මැතිවරණ කොමිසමේ අදහසය. “ඡන්ද හිමි ලියාපදිංචි නාම ලේඛන සකස් කිරීමේදී ප්‍රශ්න මතුවෙනවා. ඡන්ද හිමියන් හා ග්‍රාමනිලධාරීන් අතර ප්‍රශ්න ඇති වෙනවා. දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර අර්බුද එම පක්‍ෂවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න ආදිය තියෙනවා. මේ හැමදේම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්.” යැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 

ජනපති ආණ්ඩුකාරවරු මාරු කරයි

මේ අතර නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණ. එදින වැඩිපුරම සාකච්ඡාවට භාජන වූයේ මුදල් අමාත්‍යාංශයට අයත් කැබිනට් පත්‍රිකා වන අතර ඇමති මංගල සමරවීරට අය-වැය විසර්ජණ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. 

මීට අමතරව ආණ්ඩුවේ ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගම්පෙරළිය නැවත ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැති ඉල්ලා මුදල් ඇමති මංගල සමරවීර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිණි. ගම්පෙරළිය යළි ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්තක් නොදැක්වූ බවද වාර්තා වේ. ආණ්ඩුවේ අදහස වී ඇත්තේ දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම ඉතා කඩිනමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. “ගමේ වැව් ටික හදන්නෙ නැතිව පාරවල් හදන්නේ නැතිව අපට ගමට යන්න බැහැ. ගමට ගිහින් කියන්න දෙයන් නැහැ” ආදී වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ  මැති ඇමතිවරු ඉකුත් කාලය පුරාම චෝදනා කරන්නට වූහ. ඒ හේතුවෙන් ආණ්ඩුවට ගම්පෙරළිය ක්‍රියාත්මක කරන්නට සිදුවූ අතර එය ආරම්භ කළද එතරම් ප්‍රතිඵලයක් ලබන්නට නොහැකි වූ බව දේශපාලන මතධාරීන්ගේ අදහසය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ  ආණ්ඩුව මේ වසරේ දී  කඩිනම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට අපේක්‍ෂා කරමින් සිටින බවය.

මේ අතර අද(04) දිනයේ ජනාධිපතිවරයා තවත් තීරණයක් ගෙන තිබිණි. ඒ පළාත් 05 ක් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීමයි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරු දිවුරුම් දුන්හ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා, මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා, උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා, නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත් කර තිබේ.

ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලෝ

පසුගිය දිනවල සිදුවූ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග පිළිබඳ සංවාදය මැකී යමින් තිබියදී මේ දිනවල මාතෘකාව බවට පත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගැනය. ඇතැම්හු කියා සිටින්නේ එය ෆෙඩරල් හා රට බෙදන ව්‍යවස්ථාවක් බවය. තවත් පිරිසකට මර උගුලකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු ජවිපෙටත් චෝදනාවක් එල්ල කරති. ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය පළවෙනිදා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළහ. ”සුමන්තිරන් කියලා තිබුණා පෙබරවාරි 04ට කලින් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපිවත් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඒක අල්ලගෙන ජවිපෙට ගහන්න පටන් අරගෙන.” බිමල් රත්නායක කීවේය. ” අපේ රටේ බොරු බිල්ලෝ මවන කණ්ඩායමක් ඉන්නවා. රාජපක්ෂ කණ්ඩායමට ජාතිවාදය නැතුව දේශපාලනයක් නෑ. ඒ අය තමයි මේ බොරු මත හදන්නේ. ජවිපෙ රට බෙදන යෝජනා ගේන හැමවෙලාවෙම පාරට බැහැලා ඒවා පැරද්දුවා. ඒවා දේශපාලනය ගැන අවබෝදයක් තියෙන ජනතාව දන්නවා. පැකේජයට එරෙහිව මුලින්ම පාරට බැස්සේ අපි. සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව ඇමතිකම් දාලා ආණ්ඩුවෙන් එළියට බැස්සා. සමහරු ඇඳන් යට හැංගිලා ඉන්නකොට උතුර නැගෙනහිර වෙන්කරන්න නඩු කිව්වේ අපි. ඒ නිසා රට බෙදන යෝජනාවලට අපි විරුද්ධයි කියලා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැමදාමත් ජවිපෙට මඩ ගහන අය අලූත් විදියට මඩ අවලාද පොම්ප කරනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

”නව ව්‍යවස්ථාවක්  ඕනෑ කියන එක අපි ඉන්න ස්ථාවරය. 78 ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාව වෙනුවට සියලූම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු ව්‍යවස්ථාවක් දැන් රටට  ඕනෑ. නමුත් රනිල්ගෙ, සුමන්තිරන්ගෙ හෝ මහින්දගේ ඔලූවේ ඇතිවෙන හිතලූවලට අනුව ව්‍යවස්ථා හදන්න බැහැ. පාර්ලිමේන්තුවේ 2016 යෝජනා කළේ මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරන්න. ඒ අනුව තමයි ක‍්‍රමවේදය සකස් වෙන්නේ. මහින්දගේ කණ්ඩායමත් ඒකෙ ඉන්නවා. විශාල ක‍්‍රියාවලියක් තියෙනවා. අඩුම තරමේ තවම කෙටුම්පතක්වත් නැහැ. ඒක හැදුවත් පාර්ලිමේන්තුවේ 2/3ක්  ඕනෑ. මහින්දගෙ කණ්ඩායම නැතුව 2/3ක් ගන්නත් බැහැ. ජනමතවිචාරණයක්  ඕනෑ. එහෙම තියෙද්දී බොරු බිල්ලෝ මවනවා. කණගාටුවට කරුණ බොරු සමාජගත කරන්න මාධ්‍යත් හවුල් වෙන එකයි.” අනුර දිසානායක කීවේය. ”කුමන්ත‍්‍රණ කරලා කුජීත වෙලා ඉන්න රාජපක්ෂ කණ්ඩායම දැන් පරාජය වහගන්න ජාතිවාදය වපුරනවා දකුණේ. ඒකට හරියන්න උතුරේ කණ්ඩායම් ජාතිවාදී ප‍්‍රකාශ කරනවා. මේ අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. 2019 මැතිවරණ වසරක් නිසා ඡන්ද ගොඩ වැඩිකරගන්න හදන්නේ ජාතිවාදය වපුරලා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”අපේ රටේ මාධ්‍යයත් වගකීමෙන් වාර්තා කරන්න  ඕනෑ. ඇතැම් දේශපාලන කණ්ඩායම් කියන  ඕනෑම බොරුවක් ප‍්‍රචාරය කරන්න ගියාම බොරු මතයක් තමයි සමාජගත වෙන්නේ. අද ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යටගිහින්. ව්‍යාජ ප‍්‍රශ්න වොයිස්කට්වලින් ප‍්‍රශ්න බවට පත්කරනවා. ඒ නිසා අපේ අරමුණ විය යුත්තේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න උඩට ගන්න එකයි. මේ අවුරුද්දට අයවැයක් නැහැ. වැටුප් වැඩිවීම් නැහැ. ගොවියගෙ ධීවරයගේ ප‍්‍රශ්න කතා කෙරෙන්නේ නැහැ. බොරු මාධ්‍ය සංදර්ශන ටිකක් විතරයි පේන්න තියෙන්නේ.” ලාල්කාන්ත කියා සිටියේය.

ආණ්ඩු කුමන්ත‍්‍රණ අස්සේ ‘ගුරුගෙදර’ කුමන්ත‍්‍රණයත් පරාදයි

”පක්ෂය මැදිහත් වෙලා රටේ කුමන්ත‍්‍රණය පරද්දනකොට ගුරු සංගමය ‘ගුරුගෙදර’ කුමන්ත‍්‍රණයත් පරාජය කළා.” ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ ජයසිංහ විජිත හේරත්ට මෙසේ පැවසුවේ ‘ගුරුගෙදර’ සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් අතරතුරය.

‘ගුරුගෙදර’ හෙවත් අධ්‍යාපන සේවා වෘත්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ පාලනය හොබවන්නේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරුසේවා සංගමය විසිනි. එහි 2016 පැවැති ඡන්දයෙන් දෙවැනි වරටත් ලංකා ගුරු සේවා සංගමය 90% අධික ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන පාලනය බලය දිනාගන්නා ලදී. කෙසේ වෙතත් පළමු වතාවේ 2009දී ඡන්දයෙන් බලයට පත් ලංකා ගුරුසේවා සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් 2011 බලහත්කාරයෙන් සමූපකාර සමිතිය පවරාගත්තේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වෙළඳ ඇමතිවූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දුය. ඔහු විසින් පත්කළ අතුරුපාලක මණ්ඩලය 2016 දක්වා ගුරුගෙදර පාලනය කළහ. අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ වර්තමානයේ පොදු ජන පෙරමුණේ ලේකම්වරයා බවද පැවසේ. එවකට මිලියන 500ක පමණ ආදායමක් ලැබූ ගුරුගෙදර ආදායම් මට්ටමද පහළ දැමූ අතුරු පාලක මණ්ඩලය වාංචා දූෂණ නාස්තියෙන් විශාල මුදලක් ගුරුගෙදරට අහිමි කර තිබේ. කෙසේ වෙතත් 2016න් පසුව බලය ලබාගත් ගුරුසේවා සංගමය 2011 සිට 2016 දක්වා ගුරුගෙදර සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යෑම ආරම්භ කිරීමත් සමග ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ හිටපු සභාපතිනිය ලවා නඩුවක් ගොනු කොට ගුරුගෙදර වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය වාරණය කරන ලදී. නමුත් ලංකා ගුරුසේවා සංගමය විසින් කරුණු දැක්වීමෙන් පසුව අධිකරණය විසින් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා තිබූ වාරණය ඉවත් කරන ලදී. දැන් ලංකා ගුරු සේවා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය නැවත පාලන කටයුතු ආරම්භ කර ඇති අතර රාජපක්ෂ කණ්ඩායම අවලාද ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. ”බලාගෙන ගියාම ආණ්ඩු ගන්නත් කුමන්ත‍්‍රණ කළේ රාජපක්ෂ කණ්ඩායම. ගුරුගෙදර බලය ගන්නත්, ජවිපෙ සමිතියට මඩ ගහන්නත් කුමන්ත‍්‍රණ කරන්නේ රාජපක්ෂ කණ්ඩායම.” විජිත හේරත් කියා සිටියේය. 

ඩඩ්ලි සිරිසේන දේශපාලනයට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව වසරේ රාජකාරී පළමුවැනිදා ආරම්භ කෙරුණේ පක්‍ෂ නිර්මාතෘ බැසි්ල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙනි. එහිදී ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව කැවුම් කිරිබත් කා බැසිල් රාජපක්‍ෂ හා පක්‍ෂ ක්‍රියාකාරීහු නව වසරට රාජකාරී ආරම්භ කළහ. එහිදී බැසිල් රාජපක්‍ෂ කතාවක් කළේය.

“රටම මඩගොහුරාවක තිබුණු වේලාවක තමයි ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ පක්‍ෂය බිහිවුණේ. අපි බලාපොරොත්තු වෙනවා, සියලුම පක්‍ෂ සාමාජිකයන්ට වාර්ෂික ගිණුම් ප්‍රකාශයක් ලබාදෙන්න.  ඉතිහාසයේ කිසිම පක්‍ෂයක් එවැන්නක් කර නැහැ. අපේ පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන පක්‍ෂයක් යැයි බැසිල් කීවේය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාවජීව අනුශාසකවරයා ලෙස ප්‍රකාශකර තිබියදී නැවත වරක් බැසිල් රාජපක්‍ෂ එවැන්නක් ප්‍රකාශ කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ ඇතැම්   ක්‍රියාකාරීන් නොසතුටට පත්වූ බවද ආරංචි මාර්ග සඳහන්  කළේය. 

ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන දේශපාලනයට අවතීරණය වීමේ අදහසකින් කටයුතු කරන  බවට ඉකුත් දිනවල රාවයක් පැතිර ගියේය. එම රාවය පැතිර ගියේ ඩඞ්ලි සිරිසේන  ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි. “අද වනවිට  සමහර දේශපාලනඥයින්ට මුදල්  ගිජුකමින් රට ජාතිය පාවා දෙන තත්ත්වයකට පත්වෙලා. මේ රට කොටස් නවයකට වෙන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව මම දන්නවා. ඊට විරුද්ධව සටනට ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවත් සමග නායකත්වය දෙන්න මම සුදානම්”යැයි ඩඞ්ලි සිරිසේන කීවේය.  ඩඞ්ලි  එම කතාව කිරීමෙන් පසුව තවත් යමක් කීවේය. “මම මේ ප්‍රකාශය කළාම ඒක ප්‍රශ්නකාරි එකක් වන බව මම දන්නවා.”යැයිද ඩඞ්ලි සිරිසේන කීවේය. මේ අතර දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයක් ඩඞ්ලි සිරිසේනට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවය.  මීළඟ මහ මැතිවරණයේ දී පොළොන්නරුවෙන් තරග කිරීමට ඩඞ්ලි සිරිසේනට අවස්ථාවක් උදාවනු ඇතැයි ද දේශපාලන ආරංචි පැතිර යමින් තිබේ.

බන්දුලගේ කතාවට බැසිල්ගෙන් දොස්

අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හා ඒ සම්බන්ධ දේශපාලන කතා කීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා දක්‍ෂකම් දක්වන්නේය. ඔහු ඊටත් වඩා උනන්දුවන්නේ  ආර්ථිකය ගැන කිරීමටය. බන්දුල ගුණවර්ධන ඉකුත්දා කීවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගේ ප්‍රතිඵල එක්කර ගැනීම කුමන්ත්‍රණයක් බවය.  

“අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් මීට පෙර මෙවැන්නක් සිදුවී නැහැ. මේක නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට පටහැනියි.” ආදී වශයෙන් බන්දුල චෝදනා නගන්නට වූයේය. ජාත්‍යන්තර පාසලක සිසුවියක් මෙවර ඉහළම ප්‍රතිඵල ලබා දක්‍ෂයින් අතරට පත්ව සිටීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කළ එම කතාවට දේශපාලඥයින්ගෙන් ඉහළ -පහළ මාධ්‍ය පාංතිකයන්ගෙන් සරසවි ආචාර්යවරුන් ඇතුළු සමාජයේ නොයෙක් පැතිකඩවලින් දොස් ඇසීමට සිදුව තිබේ. බන්දුල ගුණවර්ධනගේ එම ප්‍රකාශයට නාමල් රාජපක්‍ෂ ද විරෝධය දක්වා තිබේ. නාමල්ගේ පෞද්ගලික ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ එවැනි ප්‍රකාශ පිළිගත නොහැකි බවය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බන්දුලගේ කතාවට බැසිල් රාජපක්‍ෂ ද දොස් නගා තිබෙන බවය. මින්පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකරන්නැයි බන්දුලට බැසිල් ප්‍රකාශ කළ බවට ද ආරංචි පැතිර ගියේය. 

 

 

 

 

 

Rate this item
(0 votes)