May 08, 2024

කරළියෙන් එහා: ඇමැති පුටු පටලැවිල්ලෙන් එජාපය දෙදරයි! පසුපෙල මන්ත්‍රීවරු ස්වාධීනවීමට සැරසෙයි

December 29, 2018

අළු යට ගිනි පුපුරු මෙන් තවමත් දේශපාලන කරළිය උණුසුම් වෙමින් පවතී. මේවන විට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකුත් එජාප පසුපෙල මන්ත්‍රීවරුනුත් තමන්ට ආණ්ඩුව තුළ කිසිදු සැලකීමක් නොමැති බවත් එසේ වුවහොත් ඉදිරියේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව ආණ්ඩුව වැඩි කල් නොගොස්ම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති. නව කැබිනට් ඇමැතිවරුන්ට අයත්  විෂයන් හා ආයතන සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේවන විට කටයුතු කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බව සඳහන් වේ. එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබේ. ගැටුම් වලින් හානියට පත් දේපළ හා තැනැත්තන් පුනරුත්තාපනය කිරීම, ත්‍රස්ථවාදී ක්‍රියා වල යෙදී සිටි තැනැත්තන් නැවත සමාජගත කිරීම සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම අග්‍රාමාත්‍යවරයාට පවරා ඇති විෂයන් හා කාර්යයන් යටතට අයත් වෙයි. එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ද පවරා ඇති බව සඳහන්ය. 

ශ්‍රීලනිපය කණපිට හරවන්න මෛත්‍රීගෙන් තීන්දුවක්

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් නිවාඩුව ගත කිරීම සඳහා සිංගප්පූරුවට  ගොස් සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පෞද්ගලික එකක් වූ හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට ආවරණය වූයේ නැත.  ජනාධිපතිවරයා විදේශ ගත වූයේ සඳුදා පස්වරුවේය. එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත් වුණේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. පෙරවරු නවයයි තිහට පමණ ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ පැමිණ සිටියහ. පෙරවරු නවයයි හතලිස් පහට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කෙරිණ. 

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එකට එකතු වෙලා පුළුල් සන්ධානයක් හදනවා. ඉදිරියේදී පැවැත්වෙන හැම මැතිවරණයකටම අපි ඉදිරිපත් වෙන්නේ ඒ සන්ධානයෙන්. කාටහරි ඊට එකඟවෙන්න බැරිනම් පක්‍ෂයෙන් යන්න පුළුවන්. ආසන සංවිධායකවරුන්  ගැන විශේෂයෙන් බලනවා. වැඩ නොකරන සංවිධායවරුන් ගැන තීන්දුවක් ගන්න වේවි.  දිස්ත්‍රික් සංවිධායකයන්ට අපි වෙනත් තනතුරක් ලබාදෙනවා. ඔවුන් කළමනාකරුවන් ලෙස පත්කරලා වගකීම් පවරනවා” යැයි ආදි වශයෙන් ජනාධිපතිවරයා තද කතාවක් කළේය. ජනාධිපතිවරයාගේ කතාව තරමක් උද්වේගකර වූ අවස්ථාවේ ඇතැම් සංවිධායකවරු ඊට බාධා කරමින් අදහස් පළ කරන්නනටද පටන් ගත්හ.

එහිදී ඇතැම් සංවිධායකවරු ජනාධිපතිවරයා යෝජනා කළ පොදු සන්ධානයට විරෝධයක් දැක්වූහ. ඔවුන් කියා සිටියේ ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිවම  තරග කළ යුතු බවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය කතාව කිරීමෙන් පසුව සභාවෙන් පිටත්ව ගියේය. එහෙත් සංවිධායකවරුන් පිරිසක් කීවේ ජනාධිපතිවරයා පිටත්ව නොගොස් පිළිතුරුදීමට සිටියා නම් වඩාත් හොඳ බවය. එහෙත් ජනාධිපතිවරයාට ඊට පැය කිහිපයකට පසුව ගුවන්තොටුපලට යාමට තිබිණි. ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන්ට කීවේ ශ්‍රීලනිප ඉදිරි පෙළ ඇමැතිවරුන් සමඟ තවදුරටත් කරුණු සාකච්ඡා කරගන්නා ලෙසය. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර එහිදී අදහස් දැක්වූහ. එහෙත් අතරමගදී ඔවුන්ට පසුපෙළ සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධතා එල්ල විය. “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටුවට විකුණන්න එපා”, “ඉහළින් එකතු වුණාට අපට ගම්වල එකතු වෙන්න බැහැ.

පොහොට්ටු සංවිධායකවරුන් අපට ඉඩක් දෙන්නේ නැහැ.” ආදී නොයෙකුත් දේ සහ තවත් තද ප්‍රකාශ කරමින් පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස කලහකාරි අයුරින් හැසිරෙන්නට වූහ. ඔවුහු ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාසට ද දෝෂාරෝපණය කළහ. “මහින්ද රාජපක්‍ෂගේ ඉත්තන් පිරිසක් පක්‍ෂයට රිංගාගෙන පක්‍ෂය විනාශ කරන්න හදනවා” ආදී නොයෙකුත් කතා කියමින් ශ්‍රීලනිප සංවිධායකවරුන් හැසිරෙද්දී ආසන සංවිධායක රැස්වීම අතරමඟ නතර කිරීමටද සිදුවිය.

ඇමති ධුර වැඩිකරගන්න දහං ගැට

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30දක්වා සීමා කිරීමටත් එම ප‍්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේදී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට විවිධ උපක‍්‍රම අනුගමනය කරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අතරද කතාබහක් ඇතිවිය. ”එජාපය දැන් උත්සහ කරන්නේ, ජාතික ආණ්ඩු කතාවක් දාලා ඇමති ධුර වැඩිකරගන්න. පැනපු අයටත් ඇමතිකමක් දෙන්න දහං ගැට ගහනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ප‍්‍රගතිශීලි මිනිස්සු එකතුවෙලා දේශපාලන කුමන්ත‍්‍රණය පැරද්දුවා. දැන් එජාපය හදන්නේ ඉහගෙන කන්න. ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පිළිගත්තා ඇමති ධූර සඳහා 35 ලිස්ට් එකක් ජනාධිපතිට යැව්වා කියලා. කොහොමද එහෙම කරන්නේ. ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. 19න් රිංගලා ජාතික ආණ්ඩු කතා දාලා සන්ධාන කතා දාලා ඇමතිකම් වැඩි කරගන්නයි මේ හදන්නේ.” අනුර දිසානායක පැහැදිලි කළේය. ”ඇමති ධුර 30 සීමාවේ තියන්න කියලා අපි 19 හදන වෙලාවේ ලොකු ෆයිට් එකක් දුන්නා. එජාපය ශ‍්‍රීලනිපය එකතුවෙලා අන්තිම වෙලාවේ තමයි ජාතික ආණ්ඩුව කියන කතාව දාලා ඇමති ධුර 45ක් හදාගන්න වගන්ති දැම්මේ. අපි ඒ වෙලාවෙත් විරුද්ධ වුණා. නමුත් එයාලා බහුතරය නිසා වැඬේ කරගත්තා.” විජිත හේරත් කීවේය. ”ඒ විතරක් නෙවෙයි අපි ඒ වෙලාවේ කිව්වේ අමාත්‍යංශ 30යි ඒ අමාත්‍යංශවලට අදාළ විෂයන් ටිකයි නිශ්චිතව නම් කරමු කියලා. එහෙම වුනානම් අමුතුවෙන් අමාත්‍යංශවල විෂයන් නම් කරලා ගැසට් ගහන්න  ඕන නැහැ. ඇමති පත් කළාම විෂයන් ටික නිශ්චිතයි. ඒකට විරුද්ධ වුණේ එජාපය. දැන් එජාපයටම ඒක පාරාවළල්ලක් වෙලා. දැන් අමාත්‍යංශ බෙදිල්ල විකාරයක් වෙලා. ජනපතිට  ඕනෑ ඒවා එයා ළඟ. ”පරිවාස ආණ්ඩුව හදපු වෙලාවේ ආණ්ඩුවේ ඇමති ධුර 20යි. එදා ඉඳලම අපි අරගල කළේ ඇමති ධුර ව්‍යවස්ථාවට ඇතුල් කරන්න  ඕනෑ කියලා.” බිමල් රත්නායක කීවේය.

මහින්දගේ අලූත් කැමරාමන්

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ අවසන් දිනයවූ සිකුරාදා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තු ලොබියේදී කතාබහක නිරත වෙමින් සිටියහ. විජිත හේරත්ද ඒ අසල විය. මේ කතාබහ යන අතරතුර විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සිය ජංගම දුරකතනයෙන් අනුර සහ මහින්දගේ කතාබහේ ඡායාරූප ගැනීමට උත්සහ කළේය. ”ඔබතුමාගේ අලූත් කැමරාමන් දැන් හැම තැනම ඔබතුමාගෙන් පස්සෙන් එනවා නේද? පාර්ලිමේන්තුවට එක්කරගෙන එනවද?” යැයි අනුර දිසානායක, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේය. මහින්ද සිනාසුනේය. ඡායාරූප ශිල්පියාට එම කතාව අසුණද නොඇසුණා සේ එම ස්ථානයෙන් නොපෙනී ගියේය.

මේ අතර එදිනම මහින්ද සමරසිංහ, අනුර, මහින්ද අමරවීර, දුමින්ද, විජිත යන අයද පාර්ලිමේන්තු ලොබියේදී සුහද කතාබහක නිරත වෙමින් සිටියේය. ”ඔබතුමාලා අයවැයට ඡන්දයක් ඉල්ලනවද?” ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් අනුරගෙන් විමසීය. ”ඔව්, අපි ඡන්දයක් ගන්නවා” අනුර කීවේය. විජිත හේරත් අමුතු කතාවක් දැම්මේ එම අවස්ථාවේදීය. ”පොඞ්ඩක් ඉවසගෙන හිටියනම් අයවැයේදී රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න තිබුණා. ජවිපෙ අපි අයවැයට විරුද්ධයි. ඔබතුමාලත් විරුද්ධ වෙලා ආණ්ඩුව වට්ටන්න තිබුණා. හදිස්සි වෙලා අනාගත්තා නේද?” විජිත කීවේය. ”ඒක නම් හරි” ශ‍්‍රීලනිප මන්ත්‍රීහු කීහ. කෙසේ වෙතත් ඔවුන්ගේ කතාබහෙන් වැටහී ගියේ ජනාධිපතිවරයා විසින් ගත් ක‍්‍රියාමාර්ග ශ‍්‍රීලනිප ඉහළ නායකයින් පවා දැන නොසිටි බවය. මේ අතර ජවිපෙ මන්ත‍්‍රීන්ට දැන ගැනීමට ලැබුණේ ජනාධිපති නීති උපදේශක තනතුරේ සිටි ෆයිසර් මුස්තාපා මීට මාස දෙකකට පමණ පෙර ජනාධිපති නීති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

විජිත හේරත් කිලිනොච්චි යයි

කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ඇරීමෙන් ඇති වූ ගංවතුරින් අවතැන් වූ භාරතීපුරම්, රත්නපුරම්, කනකම්බිගෙයිකුලම්, ධර්මපුරම් ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ජනතාව තාවකාලිකව වාසය කරන අවතැන් කඳවුරු නිරීක්ෂණය කිරීම සඳහා විජිත හේරත් මන්ත‍්‍රීවරයා සහ රාමලිංගම් චන්ද්‍රෙස්කර් හිටපු මන්ත‍්‍රීවරයා දෙසැම්බර් විසිහයවෙනිදා කිලිනොච්චිය ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූහ. එහිදී ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලූ අතර දිස්ත‍්‍රික් ලේකම්වරයා හමුවී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිළිබඳවද සාකච්ඡා කළේය.

ඉරණමඩු ජලාශය වාන් දොරටු විවෘත කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් සහ නොදන්වා විවෘත කිරීම හේතුවෙන් මෙම ගැටලූව මතුව ඇති බව ප‍්‍රදේශයේ කළ සංචාරයේදී අනාවරණය වී තිබේ. ”එක පාරම ගංවතුරක් ආවා. අපිට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ගොඩක් අය, වාරිමාර්ග නිලධාරීන් පවා ගංවතුරට අහුවෙලා තිබුණා.” ප‍්‍රදේශවාසියෙක් මන්ත‍්‍රීවරයාට විස්තර කළේය. ”වාරිමාර්ගයේ මහත්වරු කලින් දැනුම් දෙන්න තිබුණා වාන් දොරටු අරිනවා කියලා නමුත් එහෙම කිසිම දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ. අපි මීට කලින් මේ වගේ අත්දැකීමක් අත්විඳලා නැහැ” තවත් ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය. ”දැන් අපිට  ඕනෑ ආධාර ටික ඉක්මනින් ලබාගන්න එකයි. සමහර ආධාර ආණ්ඩුවෙන් බෙදන්නේ  ඕන කාලෙට නෙවෙයි. වියලි සහනාධාර එන්නේ වැස්ස කාලෙට. එහෙම සහන අපිට වැඩක් නැහැ.” ගංවතුරෙන් අවතැන් වූවෙක් කියා සිටියේය. වාර්මාර්ග නිලධාරීන් අවශ්‍ය මොහොතේ ක‍්‍රියාත්මක වුවානම් මෙම තත්වය ඇති නොවෙන බව ප‍්‍රදේශවාසීහු මෙහිදී මන්ත‍්‍රීවරයාට අවධාරණය කර සිටියහ.

ඇමති ඇමතිවරු විදෙස් ගතවෙද්දී ජවිපෙ ගෙන් ගෙට යයි

”නත්තල් කාලේ, අලූත් අවුරුදු කාලේ මැති ඇමතිවරු රට සවාරි යනවා. ඔයාලට විතරයි අපේ ගෙවල් මතක් වෙන්නේ. ජනාධිපතිතුමත් රටම අවුල් කරලා දැන් විදේශ සංචාරවල යනවා. අපිට වැලේ වැල් නැතුව ඉන්නේ.”දෙහිවල ප‍්‍රදේශයේ අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහනකට එක් වූ ජවිපෙ නාගරික මන්ත‍්‍රී සමන්මලී ගුණසිංහට ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය. ”අපි හැමදාමත් ජනතාව පැත්තේ ඉඳලා වැඩ කරන අයනේ. අපි තමයි රටේ ප‍්‍රශ්නයක් වුණාම පළවෙනියට මාධ්‍ය සාකච්ඡුාවක්, පෝස්ටරයක්, අත්පත‍්‍රිකාවක් බෙදලා ජනතාව දැනුවත් කරන්නේ. අපි දැනුත් කරන්නේ රටේ ජනතාව දැනුවත් කරන එක. දෙසැම්බර් 31 වෙනකල් අපි මේ අත්පත‍්‍රිකා බෙදන වැඩසටහන කරනවා. ජනවාරි ඉඳලා අපේ රටේ ජනතාව අලූත් පියවරක් තියන්න  ඕනෑ. ඒ වෙනුවෙන් තමයි අපි මේ දැනුවත් කිරීම කරන්නේ.” සමන්මලී ගුණසිංහ කියා සිටියේය.

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ ‘කුමන්ත‍්‍රණය පරාදයි, සැබෑ ජනතා ජයග‍්‍රහණයට පෙළගැසෙමු’ මැයෙන් අත්පත‍්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහිදී ගෙන් ගෙට යමින් ජවිපෙ සාමාජිකයින් විසින් මෙම පත‍්‍රිකා බෙදාහැරීම සිදුකරන අතර පළාත් සභා මන්ත‍්‍රීවරුන් පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු මේ සඳහා සහභාගි වෙති. දෙසැම්බර් 31 දක්වා මෙම වැඩසටහන ජවිපෙ විසින් ක‍්‍රියාත්මක කරමින් සිටියි. 

ජනපති ආරක්ෂා කරන්න පොහොට්ටුවේ තීන්දුවක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් තීන්දුවක් ගෙන ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ කුමන කාරණාවක් මත වුවද කොන්දේසි විරහිතව ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීමටය. යම් හෙයකින් එක්සත් ජාතික පක්‍ෂයෙන් එල්ලවන අභියෝගවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමත් ඔහු වෙනුවෙන් ජනතාවට කරුණු කීමට පොහොට්ටු පක්‍ෂය නිල නොවන මට්ටමින් තීන්දුවක් ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
 තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ දුමින්ද දිසානායක සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එජාප ආණ්ඩුවට සහාය ලබාදීමේ අරමුණින් පසුන බවය. 

“දුමින්ද මන්ත්‍රීතුමා සමග තවත් කිහිප දෙනෙක් ඉන්නවා. ආණ්ඩුවට සහාය දක්වනවා. හැබැයි ඇමැති ධුර ලබාගන්නේ නැහැ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත්හැරලා යන්නෙත් නැහැ” යැයි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ සමීපතමයෙක් ප්‍රකාශ කර තිබිණ.

රුසියානු විදේශ ඇමැති සර්ෆෝ ලැව්රෝව් ඉකුත්දා එරටදී ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක හමුවූයේය. රුසියානු විදේශ ඇමැතිවරයා දයාන් ජයතිලක අසලට ඇවිත් “හා කොහොමද සැප සනීප” ආදී වශයෙන් සිංහලෙන් කතා කරන්නට පටන් ගත්තේය. දයාන් ජයතිලක පුදුමයටත් සතුටටත් පත්වූයේය. රුසියානු විදේශ ඇමැතිවරයා තමන් සමග සිංහල භාෂාවෙන් කතා කරනු ඇතැයි ඔහු කිසිසේත් සිතුවේ නැත.

දයාන් ජයතිලක ද සිංහල භාෂාවෙන්ම ඔහුට පිළිතුරු දුන්නේය. සර්ෆෝ ලැව්රෝව් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට එක්වූ පසුව ඔහුට ලැබුණු මුල්ම පත්වීම ශ්‍රී ලංකාවය. ඔහු කොළඹට පැමිණ රුසියානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස කටයුතු කළේය. එහිදී හෙතෙම සිංහල භාෂාව උගෙන ගැනීමටද උනන්දුවක් දැක්වූයේය. ඒ අතර ලැව්රෝව් කැලණිය විශ්වවිද්‍යාලයේ ද අධ්‍යන කටයුතුවලට සම්බන්ධ වී සිටියේය.

එජාප ආණ්ඩුවේ අයවැයට TNA සහාය

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ක්‍රියා කලාප හා තීන්දු තීරණ සම්බන්ධයෙන් සමහර දේශපාලන විචාරකයන් උනන්දුවක් දක්වන බවක් පෙනෙයි.

“දෙමළ සන්ධානය ගන්න තීන්දු තීරණ පසුගිය කාලයේ දෙමළ පක්‍ෂ අතර විවේචනයට ලක්වුණා. ඇතැම් පිරිස් ඒ ගැන ප්‍රශංසා කළා. තවත් පිරිසක් දෝෂාරෝපණය කළා. හැබැයි එක දෙයක් තියෙනවා. දෙමළ ජාතික සන්ධානය දැන් ජාතික දේශපාලන ප්‍රවාහයට යොමු වෙලා තියෙනවා” යැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ඔවුන් සඳහන් කරනුයේ ව්‍යවස්ථා අර්බුදය ඇති වූ අවස්ථාවේ එහි ප්‍රධාන කාර්යභාරයක් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීම ආදි ජාතික දේශපාලන කාර්යයන්ට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වී තිබෙන බවය. “මීට පෙර දෙමළ සන්ධානය ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරගෙන සිටියා. ඔවුන්ගේ එකම අරමුණ වුණේ උතුරේ දෙමළ ඡන්ද ටික ලබාගැනීම ඒ වෙනුවෙන් වැඩ කළා. හැබැයි දැන් ඒ තත්ත්වයෙන් වෙනස් වෙලා. ආණ්ඩුවේ ඇතැම් කටයුතුවලට සම්බන්ධවීම නිසා ඇතැම්විට දෙමළ සන්ධානයට ඡන්ද අඩුවෙන්නත් පුළුවන්. ඒත් ඔවුන් ඒ ගැන නොබලා ඇතැම් කටයුතු කරනවා” යැයි ද දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ අලුත්ම තීන්දුව වී ඇත්තේ ආණ්ඩුවේ අයවැයට සහාය ලබාදීමටය. ආණ්ඩුව ලබන ජනවාරි මාසයේදී අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන අතර එහිදී අය-වැය සම්මත කරගැනීම සඳහා දෙමළ සන්ධානය ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ද දැනගන්නට තිබේ. 

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අදහස වී ඇත්තේ මෙවර අය-වැය ලේඛනයෙන් ජනතාවට සහන රැසක් ලබාදීමටය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීම ආදී සහන ලබාදීම සඳහා වන අය-වැය යෝජනා සකස් කරන බව ද  මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. ව්‍යවස්ථා අර්බුදය ඇතිවන අවස්ථාවේදී මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ඉදිරි වසර සඳහා වන අය-වැය සකස් කරමින් සිටියේය. “මම අය-වැය වැඩි ප්‍රමාණයක් හදලයි තිබුණේ. එක පාරටම මේ ප්‍රශ්නය ආවා. මම හදපු අය-වැය ලේඛනයේ කොළ ටික අරගෙන ගෙදර ගිහින් සුරක්‍ෂිතව තියාගත්තා. අල්මාරිය ඇරලා දැන් ඒ ටික එළියට ගන්න පුළුවන් වේවි” යැයි ද මංගල සමරවීර මීට පෙර ප්‍රකාශ කර තිබිණ

 

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 December 2018 10:33