May 08, 2024

ජනපති කැමති එජාපෙ අගමැති කව්ද? ‌

December 03, 2018

රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අග්‍රාමාත්‍ය ධුරය යළි ලබානොදිය හැකි බවට වූ දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින අතර, අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ වෙනත් නායකයෙකු පත් කරන ලෙසටද ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයේ සිටියි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් එක්සත් ජාතික පෙරමුණවටා එක්ව සිටින බවට පෙනීගියත් එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ප්‍රධානතම බාධකය රනිල් වික්‍රමසිංහ මහතා බවද ජනාධිපතිවරයා එම පෙරමුණේ නායකයන්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ කණ්ඩායමට ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන දෙදෙනාගෙන් අයෙක් අග්‍රාමාත්‍ය ධුරය බාර නොගන්නේ නම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා තිලක් මාරපන යන මහත්වරුන් අතරින් අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවද ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණට දැනුම් දී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ පිරිස අතරින් ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්ත හිමිව ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සම්බන්ධයෙන් ඇති විශ්වාසය නිසා මීට පෙර ඇමති මණ්ඩල සංශෝධනයකදී වගකීම් සහගත අමාත්‍යාංශයක් වන නීතිය හා සාමය පිළිබඳ වගකීමද ඔහුට පැවරුවේද ඒ නිසා බව ප්‍රකාශ වේ.

පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදීමටද, පිහිටුවන කෙටි කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය පාඨලී චම්පික රණවක මහතාට ලබාදීම සුදුසු බවටද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය විසින් නම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට ලිඛිතව දැනුම් දී තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂීම් මහතා මෙම දැනුම් දීම කර ඇත.
ආර්. සම්බන්ධන් මහතාට යැවූ ලිපියේ පිටපත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යැවීමට කබීර් හෂීම් මහතා පියවර ගෙන තිබේ.

අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව නොවැම්බර් 29 වැනිදා ජනාධිපතිවරයාට යැවූ ලිපියට ප්‍රතිචාර ලෙස කබීර් හෂීම් මහතා ඉහත ලිපිය යැවීමට තීරණය කර තිබේ.

මේ අතර වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවැත්වීමට තිබූ සාකච්ඡාව අද (03) සවස දක්වා කල් ගියේය.

Rate this item
(1 Vote)