May 07, 2024

කරළියෙන් එහා: ආණ්ඩුවේ අර්බුදය පුපුරායාමට ආසන්නයි! රනිල්ගෙන් වෙල්ගමට ලැබුුණු ලිපි ගොනුවේ රහස් රැසක්

November 30, 2018

මේවන විට දේශපාලන කරළියේ අළුයට ගිනි පුපුරු නැගෙමින් පවතින මොහොතක තවදුරටත් උග්‍ර තත්ත්වයකට පත්වී තිබේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වය දින කිහිපයක් ගිය පසුව විසඳෙනු ඇති බවට ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වුවද එය එසේ සිදු නොවුණි. නමුත් එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ සටන අතහරින වගක් හෝ පාවා දෙන වග පෙනෙන්නට නැති තැන නොසිතූ අයුරින් එය විපක්ෂයේ වාසියට හැරෙන අතක් පෙනී ගොස් තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වර්ජනය උපක්‍රමශීලී පියවරක් මිස පසු බැසීමක් නොවන බව ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ප්‍රකාශ කරයි. ආණ්ඩුව ඇතුළේ අර්බුදය ඉකුත් දින කිහිපය තුළ උත්සන්න වන්නට පටන් ගෙන ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණු රජයක් සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන බවයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14දෙනාගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබිණි. මේ අතර විජයදාස ඇමැතිවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් පැවසූවේ පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයට කතානායකවරයා මැදිහත්වෙමින් විසදුමක් ලබා දිය හැකි බවයි. ඒ අනුව ජනාධිපතිවරයාද නිවැරදි ක්‍රම්වේදයකට අනුව මෙම ගැටලුව විසඳීමට දැඩි කැමැත්තකින් පසුවන බවත් ඒ සඳහා මැදිහත්විමක් කළ හැකි බවත් අවධාරණය කළේය. ඊයේ පස්වරුවේදීම කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවිය. එම හමුවෙන් පසු කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටතුළ උද්ගතව  තිබෙන අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා කඩිනම් විසඳුමකට එළඹීමේ ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟතාවය පළකළ බවයි. මේ අතර එම සාකච්ඡාවේදී තීරණය කර ගත් පරිදි විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟද වෙන වෙනම අද (30) සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට නියමිතය.

මේ උණුසුමත් සමග අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව වාර්තා නොවිණි. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමු සඳහා වෙලාවන් වෙන් කර තිබේ. අද පස්වරු 6 ජනපතිවරයා හා TNA හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වීමට නියමිතය.

මේ අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් කතානායකවරයාගේ ක්‍රියා කලාපය දිගින් දිගටම විවේචනය කරමින් සිටිති. එම ඇමැතිවරුන් සඳහන් කරනුයේ “කතානායකවරයා සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහීව කටයුතු කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ කතානායකවරයා නෙවෙයි. එජාප කතානායකවරයෙක්. පාර්ලිමේන්තු නීති රීති මෙන්ම සම්ප්‍රදායන් ඔහු ගණන් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු නීති විරෝධී ලෙස සිදුවන නිසා අපි රැස්වීම්වලට සහභාගි වන්නේ නැහැ” යැයි කියාය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වන්නේ. “හැමදාම කට්ටි පනින්න බැහැ. කවද හරි පාර්ලිමේන්තුවට එන්න වෙනවා. තව කී දවසක් ඔය විදියට කට්ටි පනින්නද?”

පොහොට්ටුවේ ගැටුම් දැඩිවෙයි

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා පසුව රාජපක්ෂ පිලට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හටගෙන ඇතැයි ද පැවසේ. “පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මුල ඉඳගෙනම කැපවුණා. අනිත් පිරිස ආණ්ඩුවේ ඉඳලා පස්සේ ආවේ. ඒ අය එදා ආණ්ඩුවට ගියෙත් වාසියට. අද අපේ පිලට ආවෙත් වාසියට. ඒ අයට කලින්, තැන දෙන්න ඕනෙ අපිටයි. අග්‍රාමාත්‍යතුමා ඒ බව දන්නවා.” යැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක් හිතවතුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර තිබිණ. මේ අතර ආණ්ඩුවේ කලක් ඇමැතිධුර හොබවා පසුව මහින්ද රාජපක්ෂ පිලට එක්වූ මන්ත්‍රී දහසයේ කණ්ඩායම ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ කෙනෙහිලිකම් ගැන අසතුටෙන් පසුවන බවද පැවසේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ඇතැයි ඇමැති එස්.බී. දිසානායක ඉකුත් දා ප්‍රකාශ කළේය. එස්. බී. ඇමැතිවරයා ඉඟිකර තිබුණේ ජනාධිපතිවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් ප්‍රකාශකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අහෝසි කරවීමේ වෑයමක් ගැනය. එස්.බී. දිසානායකගේ ප්‍රකාශය මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ආණ්ඩුවට දැඩි විවේචන එල්ල වන්නට විය. ආණ්ඩුවට පමණක් නොව ජනාධිපතිවරයාට ද ඇතැම් පිරිස් විවේචන එල්ල කරන්නට වූයේ ජනාධිපතිවරයා එවැන්නක් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවක් තහවුරුවනු ඇත කියාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම පදනම් කර ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් වුවද ගෙන ඒමේ හැකියාවක් ඇතැයි ද විචාරකයන් පෙන්වා දී තිබුණේය. එස්.බී. ගේ කතාව විවිධාකාර ලෙස අර්ථ නිරූපණය වෙද්දී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් එස්.බී. ඒ ගැන කියමින් දොස් නැගූහ. “ඔබතුමා අවශ්‍ය දේවල් විතරක් කියන්න. ගැසට් නිවේදනය අහෝසි කරන බවක් ජනාධිපතිතුමා කියලත් නැහැ. දැන් ඒක හෝ හෝ ගාලා පත්තු වෙනවා. මීට පස්සේ ඔය වගේ කතා කියන්න එපා” යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් එස්.බී.ට දොස් නගද්දී ඔහු කිසිවක් නොකියාම ඊට එකඟතාවය පළකළ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දුමින්දගේ කළකිරීම 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටින බවට පසුගිය දිනවල කතාබහක් පැතිර ගියේය. “දුමින්ද දිසානායක ඇමැතිතුමා පාර්ලිමේන්තු රැස්වීම්වලට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීම ගැන එතුමා කලකිරිලයි ඉන්නේ. දේශපාලන වැඩ කටයුත්තකට නැත්නම් ආණ්ඩුවේ වැඩ කටයුත්තකට ඇමැතිතුමා සහභාගි වන්නේ ඉතාම අඩුවෙන්.” යැයි දුමින්දගේ හිටපු ලේකම්වරයෙක් මාධ්‍යවේදීන් පිරිසක් සමග ප්‍රකාශ කළේය. මේ අතර ආරංචි පැතිර ගියේ දුමින්ද දිසානායක අද හෙටම ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවය. බොහෝවිට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පැවැත්ම හා නව ආණ්ඩුවේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවනු ඇතැයි ද පැවසේ. මේ අතර කුමාර වෙල්ගම ආණ්ඩුව සම්බන්ධයෙන් තවදුරටත් වෙනත් අදහසක් ප්‍රකාශ කරමින් සිටින්නේය. 

රනිල්ගෙන් වෙල්ගමට ලිපි ගොනුවක්

ආණ්ඩුවේ  බොහෝ පිරිසකගේ විරෝධය මැද වුවද වෙල්ගම දිගින් දිගටම ඔහුගේ මතවාදය ප්‍රකාශ කරන්නේය. “බහුතරය නැත්නම් තියෙන පැත්තට දීලා අපි යන්න ඕනේ. පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය හොඳ වැඩක් නෙවෙයි” වෙල්ගම ප්‍රකාශ කරන්නේය. මේ අතර පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මුණ ගැසුණේය. එහිදී රනිල් වික්‍රමසිංහ කුමාර වෙල්ගමට ලිපි ගොනුවක් දුන්නේය. මන්ත්‍රීවරයා එම ලිපි ගොනුව සුරක්ෂිතව තබා ගනිමින් එජාප නායකයාට යමක් කියමින් එතනින් ඉවත්ව ගියේය.

රෝසිට විරෝධයක්

ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ග ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය කොළඹ සත්‍යග්‍රහයක් මේ දිනවල පවත්වමින් තිබේ. එජාප ආධාරකරුවන් පිරිසක් එම සත්‍යග්‍රහය පවත්වන අතර යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා උපකාර කළ විවිධ සංවිධානවල නියෝජිතයෝ සත්‍යග්‍රහයට එක්ව සිටිති. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිම වහන්සේ අසල සත්‍යග්‍රහය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇත්තේ කොළඹ නගර සභා ශාලාවේදීය. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියගේ නිල සාකච්ඡා ශාලාවේදී සත්‍යග්‍රහයේ පිඹුරුපත් සකස් කර ඇති බවද අනෙකුත් සාකච්ඡා ද එහි පවත්වා ඇතැයි ද වාර්තාවේ.

මේ අතර නගරාධිපතිනියගේ නිල සාකච්ඡා ශාලාව පෞද්ගලික දේශපාලන සාකච්ඡා හා සංවිධාන සඳහා භාවිතකිරීම පිළිබඳව කොළඹ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධ පළ කර ඇතැයි ද පැවසේ.

ඉකුත් අඟහරුවාදා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය. කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය. ඒ අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට බඳුන්විය. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ නව ආණ්ඩුවේ සංචාරක ඇමැති වසන්ත සේනානායක එහි නොසිටියේය. ඒ වනවිට ඔහු නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට එකතුවන්නට ගොස් සිටියේය. එහිදී ජනාධිපතිවරයා තරමක් කුතුහලයකින් වසන්ත සේනානායක සොයන්නට පටන්ගත්තේය. “කෝ මේ වසන්ත ඇමැතිතුමා නැද්ද, සංචාරක ඇමැති නැතිව කොහොමද මේවා සාකච්ඡා කරන්නේ” යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් අනෙක් ඇමැතිවරුන් සඳහන් කළේ “එයා ආයෙත් ගිහින් හෙට එන්න පුළුවන්“ කියාය. ජනාධිපතිවරයාගේ එම කතාවට සිනා ගියේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට ගියේ ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමටය. එම රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී ඇමැති දිනේෂ් ගුණවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළේය. “අපි පාර්ලිමේන්තු රැස්වීමට යමු. ගිහින් ආරම්භ වූ සැනින් විරෝධය පළකරලා එමු” යැයි දිනේෂ් කළ යෝජනාවට තවත් මැති ඇමැතිවරු පිරිසක් එකඟතාවය පළකළහ. එහෙත් තවත් මැති ඇමැතිවරුන් පිරිසක් දිනේෂ්ට විරෝධය පළ කළහ. “අපි පාර්ලිමේන්තුවට ගියොත් රැස්වීම පිළිගන්න වෙනවා. අපි කියන්නේ මේ පාර්ලිමේන්තු රැස්වීම නීතිවිරෝධී කියලයි. එහෙම නම් අපි යන්නේ ඇයි? අපි නොගිහින් ඉමු” යැයි එම මැති ඇමැතිවරු කීහ. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ කීවේ “හඬ අනුව මට පෙනී යන්නේ රැස්වීමට නොගිහින් ඉන්න එක වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි” කියාය. අගමැතිවරයා එසේ කියද්දී ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්හ. 

සජිත්ට එජාප නායකකම නෑ

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ගුණසේකර සහ එජාපයෙන් ආණ්ඩුවට එක් වූ ආනන්ද අලුත්ගමගේ ඊයේ එකම වාහනයක නැගී ගමන් ගත්තේය. ආනන්ද අලුත්ගමගේට එජාප ප්‍රබලයකුගෙන් දුරකතන ඇමතුමක් ආවේය. එජාප ප්‍රබලයා ඉතා සුහදශීලීව ආමන්ත්‍රණය කරමින් කාරුණික ඉල්ලීමක් ද කළේය. “ඔයා ආයෙත් එන්න. අපට ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?” ආදී වශයෙන් ඔහු අලුත්ගමගේට ඇවිටිලි කරන්නට විය. එවිට ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වීය. “ඔව්, මට ආයෙත් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මට තව කීපදෙනෙක් එක්ක වුණත් එන්න පුළුවන්. හැබැයි එක ඉල්ලීමක් තිබෙනවා. සජිත් ප්‍රේමදාසට නායකත්වය දෙන්න ඕනේ. මගේ එකම ඉල්ලීම ඒකයි. ඒක කරන්න පුළුවන්ද”. එවිට එජාප ප්‍රබලයා කීවේ “අනේ මචං ඒකනම් කීයටවත් වෙන්නේ නැහැ. ඒක කෙරෙන වැඩක් නෙවෙයි” කියාය. ආනන්ද අලුත්ගමගේ සහ එජාප ප්‍රබලයාගේ දුරකතන ඇමතුම විසන්ධි වී ගියේය.

අනුරගේ කතාවට සෙසු පක්ෂවල පසුපෙළ මන්ත‍්‍රීන්ගෙන් උණුසුම් ප‍්‍රතිචාර

පසුගිය 23වෙනිදා පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර දිසානායක විසින් විශේෂ ප‍්‍රකාශයක් සඳහා අවස්ථාව ලබාගත්තේය. සිය කතාවේදී ජවිපෙ නායකයා විසින් පවතින දේශපාලන තත්වයත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමෙන් ඇතිවිය හැකි භයානක ප‍්‍රතිඵල පිළිබඳවත් දීර්ඝ කතාවක් සිදුකළේය. එමෙන්ම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් දූෂිතයින් ආරක්ෂා කළ ආකාරය පිළිබඳවත් රාජපක්ෂ කණ්ඩායම බලහත්කාරයෙන් ආණ්ඩුවක් හදාගැනීමට හදිසි වුවමනාව වූයේ වංචා දූෂණ වසාගැනීමට බවත් සිය පැයකට ආසන්න පාර්ලිමේන්තු කතාවේදී පැහැදිලි කරන ලදී. ජවිපෙ නායකයාගේ කතාව අතරතුරදී දූෂිතයින් ආරක්ෂා කළ අයගේ නම් හෙළි කරන ලෙසත් සෙසු පක්ෂවල පසුපෙළ මන්ත‍්‍රීවරු ඉල්ලීම් කළහ. අනුර දිසානායක මන්ත‍්‍රීවරයාගේ කතාවෙන් අනතුරුව පසුපෙළ මන්ත‍්‍රීවරුන් විස්සකට වැඩි ප‍්‍රමාණයක් ඔහු අසලට පැමිණ ප‍්‍රශංසනාත්මකව සුභපැතූහ.

හඳුන්නෙත්තිට රජයේ මුද්‍රණාලයෙන් හොද කෑමක්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ දින දෙකක් වෙන් කරගෙන තිබුණේ රටේ ඇති වී තිබෙන දේශපාලන තත්වය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීම සඳහාය. ඒ අනුව රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය, බැංකු, දුම්රිය සහ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වෘත්තීය සමිති විශාල ප‍්‍රමාණයක් හමුවීමට ජවිපෙ මන්ත‍්‍රීවරයාට හැකි විය. මෙහි විශේෂත්වය වූයේ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමු සඳහා ජවිපෙ නියෝජනය කරන වෘත්තීය සමිති පමණක් නොව දේශපාලන භේදයකින් තොරව වෘත්තීය සමිති නායකයින් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටීමයි. රජයේ මුද්‍රණාලයේ පැවැති සාක්ච්ඡුාව සඳහා ශ‍්‍රවණාගාරය වෙන් කර තිබුණි. ඒ අවස්ථාවට වෘත්තීය සමිති නායකයින් සාමාජිකයින් විශාල ප‍්‍රමාණයක් සහභාගි විය. ”මේ දේශපාලන අර්බුදය පැන නැගුණේ පාර්ලිමේන්තුවේ ක‍්‍රියාවලියක් ලෙසයි. එම අර්බුදය පාර්ලිමේන්තුවේදීම විසඳාගත යුතු ප‍්‍රශ්නයක් ලෙස දකින්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්තොත් රටේ ජනතාව මේ අර්බුදය විසඳීමට බලපෑම් කළ යුතුයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන කාරණය ඉතාම වැදගත්. මේ විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට ගියොත් වැඩ කරන ජනතාවට මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න  ඕන නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔබතුමාලට වගකීමක් තියෙනවා පාරට බැහැලා මේ අර්බුදය විසඳන්න බලපෑම් කරන්න.” සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි කළේය. ”මේ වෙලාවේ අපිට නායකත්වය දෙන්න කවුරුත් නැහැ. ඔබතුමාලා අපිට නායකත්වය දෙන්න. අපි වැඩ කරන්න සූදානම්. මේ විදියට අපිව දැනුවත් කරන්න ආවෙත් ඔබතුමාලා විතරයි.” වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට ස්තූතිය පළකරමින් කියා සිටියෝය.

සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් සමඟ මන්ත‍්‍රීවරයා රජයේ මුද්‍රණාලයේ සේවක භෝජනාගාරයට ගියේ දිවා ආහාරය ලබා ගැනීම සඳහාය. මන්ත‍්‍රීවරයා වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් සමඟ දිවා ආහාර ගනිමින් සිටියහ. එතන පැමිණි වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෙක් ”මන්ත‍්‍රීතුමා මම ඔයාගෙ ෆොටෝ එකක් ගන්නද? අපේ නායකයෝ නම් අපිත් එක්ක කනවා තියා අපි කන විදිය කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ අතින් ඔබතුමාලා අපිට ගොඩක් වටිනවා.” යැයි කියමින් තම ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ලබාගත්තේය.

එජාපයට වාසිය හදල දුන්නේ මහින්ද-මෛත‍්‍රී කණ්ඩායම

මේ දිනවල ජවිපෙ විසින් ගනු ලබන තීන්දු තීරණවල වාසිය එජාපය ලබාගන්නවා යැයි විශාල වශයෙන් ජවිපෙට චෝදනා එල්ල වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ පවත්වන මාධ්‍යහමුවලදීද, වෙනත් සාකච්ඡුාවලදීද නිතර දෙවේලේ ප‍්‍රශ්න කෙරෙමින් තිබේ. ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදියෙක් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සමඟ කතාබහක නිරත වෙමින් සිටියදී ඔහු මේ ගැන විමසා සිටියේය. ”ගොඩක් අය තේරුම් නොගන්න දෙයක් තියෙනවා. ධනපති පක්ෂ දෙකක් දෙපැත්තෙන් ඉන්න වෙලාවක අපි ගන්න  ඕනෑම ක‍්‍රියාමාර්ගයක් එක පැත්තකට වාසි ගේනවා. ඒක අපිට වළක්වන්න බැහැ. මේ කුමන්ත‍්‍රණය වෙලාවේ අපි පැත්තකට වෙලා හිටියොත් ඒකේ වාසිය රාජපක්ෂ කණ්ඩායමට. අපි කුමන්ත‍්‍රණය පරාජය කරන්න කටයුතු කරනකොට ඒකේ වාසිය එජාපය ගන්න උත්සහකරනවා. නමුත් ඇත්තටම එජාපයට වාසි වෙලා තියෙන්නේ ජවිපෙ ක‍්‍රියාමාර්ග නෙවෙයි. දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ ජනතාවට එපාවෙලා, පීචං වෙලා බලයෙන් විසිවෙන්න හිටපු එක්සත් ජාතික පක්ෂයට නැවත අවධානයක් හදල දුන්නේ කවුද? මෛත‍්‍රීපාල මහත්තයා. ඊළඟ මැතිවරණයෙන් අතුගෑවිලා යන්න හිටපු එජාපයට නැති අවධානයක් හදල දුන්නේ මෛත‍්‍රීලගෙ කුමන්ත‍්‍රණයෙන්. ජවිපෙට එජාපය එක්ක කිසි ගනුදෙනුවක් තිබිලත් නැහැ. ඇතිවෙන්නෙත් නැහැ. අපිට නඩු නැහැ. පහුගිය අවුරුදු තුනහමාර තුළ අයවැය තුනක් ගෙනාවා. අයවැය තුනටම ජවිපෙ විරුද්ධව ඡුන්දය දුන්නා. මහින්ද ඡුන්දෙ දෙන්න ආවේ නැහැ. රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය වෙලාවේ ජවිපෙ ඡුන්දය දුන්නා. නොදුන්නේ මෛත‍්‍රී කණ්ඩායම. ඒක තමයි ඇත්ත. විමල්ගෙ පාස්පොර්ට් සිද්ධිය, ශිරන්තිගේ නඩු බේරගත්තේ රනිල්ට කියලා. නමුත් දැන් ජවිපෙ එජාපයට සම්බන්ධ කරන්න හදනවා. එජාපයට ජවිපෙ උදව් කරනවා කියලා මත හදන එකේ වාසිය එජාපයටම තමයි. රාජපක්ෂ කණ්ඩායම තමයි ඒ වාසිය හදන්නේ.” ටිල්වින් සිල්වා පැහැදිලි කළේය. ”ඇත්තනේ ලේකම්තුමා, ඒත් මිනිස්සු මේවා ගැන අවබෝධයක් නැහැ.” මාධ්‍යවේදියා කියා සිටියේය. ”ඇත්තටම මිනිස්සුන්ගෙ වැරදිම නෙවෙයි, මේවා මත හදන පිරිස්වල වැඩ. ඒ ගැන අපි අවධානයෙන් ඉන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 November 2018 12:53