April 28, 2024

කරළියෙන් එහා: පරාජය ගැන චම්පිකගෙන් රනිල් විග්‍රහයක්! මැතිවරණය කැඳවූ ගැසට් පත්‍රය ජනපති අවලංගු කරයිද?

November 23, 2018

රට තුළ ඇතිවූ අර්බුදය තවමත් ගිනි පුපුරු මෙන් ඇවිලෙමින් තිබේ. දැන් පාර්ලිමේන්තුව සාමකාමී වී තිබුණද කාගේත් අවධානය දෙසැම්බර් 07 වනදා ලබා දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙසය. පසුගිය සතියේත් දේශපාලන කරළියෙන් එහා උණුසුම් වූයේ දේශපාලන අර්බුදය නිසාය. මේ උණුසුමත් අතර පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ පිරිසට චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් දේශපාලන පාඩමක් ඉගැන්වීමට කටයුතු කර තිබිණි. එහිදී තම පිලට ඇති ධනාත්මක සහ සෘණාත්මක පැති පිළිබඳ විග්‍රහයක් කරමින් චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දැඩි අවාසි දායක තත්වයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරි මැතිවරණයට කෙසේ හෝ මුහුණ දීමට සැලසුම් සකස් කළ යුතු බවත්ය.

 “බලහත්කාරයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීම ගැන එජාප පාක්ෂිකයින් කුපිත වෙලා. එය මැතිවරණයකට වාසි දායකයි. හැබැයි අපි ඡන්දෙකට නොගොස් අපි මේ විදියට තවදුරටත් ඉදිරියට ගියොත් ඒ අය වැටෙනවා. අල්ලන් ඉන්න බෑ. අපිට වාසිම මැතිවරණය ජනාධිපතිවරණය අවාසිම පළාත් සභා මැතිවරණය. ජනාධිපතිවරණයක් නැත්නම් මහ මැතිවරණයකට හරි යා යුතුයි. පාවෙන ඡන්ද මේ වන විට හෙල්ලීමකට ලක්වෙලා. නමුත් ඒ ඡන්ද දිනා ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ නායකත්වයේ පවා වෙනසක් වියයුතුයි. නැත්නම් අපිට දරුණු පරාජයකට මුහුණ දෙන්න වෙයි. “ චම්පික රණවක මෙලෙස පරාජය වීමේ හැකියාව ගැන කියද්දී එජාප මන්ත්‍රීවරු පුදුමයෙන් බලා සිටියේය.

පසුව රාජිත සහ රනිල් එම විග්‍රහයේ සීඩී කොපි රැගෙන පිටව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සමග සර්ව පාක්ෂික රැස්වීමට ගිය අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පසුදින උදේ 10 වන විට රනිල් වික්‍රමසිංහට පක්ෂව 113ක් පෙන්වන බව කියා සිටියේය. ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 101 දෙනාගේ අත්සන් ගැනීම ආරම්භ කළේය. අනතුරුව දෙමල ජාතික සන්ධානයේ 14 දෙනාගේ අත්සන් ගැනීමට සුමන්තිරන් මන්ත්‍රීවරයා උත්සාහ ගැනීමෙන් හය දෙනෙකු ඊට විරුද්ධ විය. “ඔබතුමාලා පැත්තක් ගත්තොත් අපි ස්වාධින වෙනවා. ඡන්දය දීමෙන් පවා වලකිනවා. දෙමල ජනතාව වෙනුවෙන් රනිල් කරපු දෙයක් නෑ. ඔබගේ තීරණයෙන් දෙමල ජාතික සන්ධානය දෙකඩ වෙන එක විතරයි වෙන්නේ.“ මෙලෙස දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 6දෙනෙකු විරුද්ධ වීම නිසා රනිල්ට පක්ෂව 113 හදා ගැනීමේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයාගේ උත්සාහය ලත් තැනම ලොප් වී තිබිණි.

ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.බී, තිලංග, ඩිලාන් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ස්ථාවරය සකස් කිරීමට විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි. “දැනට මුස්ලිම් මන්ත්‍රීවරු 06දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් එන්න හදනවා. ඒ අය ඡන්දෙකට යනවනම් එන්නේ නෑ. ඔබ තුමාගේ ගැසට් පත්‍රය අවලංගු කරන්න. එතකොට ඔවුන් ආණ්ඩුවට සහය දෙයි.“ එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ඊට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ “ බහුතර බලය පෙන්වනවානම් මම ගැසට් පත්‍රය අවලංගු කරන්නම්.“ “ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඡන්දයක් දුන්නොත් හොදයි නොදුන්නොත් අපි විපක්ෂයට යනවාද නැත්නම් බහුතරය පෙන්වා ආණ්ඩුව කරනවාද“ මන්ත්‍රීවරු ප්‍රශ්න කළේය.

“කොහොම වුණත් අපි ජනතාවගේ මතය උරගා බැලිය යුතුයි.“ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. “ජනමතය බලන්න පළාත් සභා මැතිවරණය තියමු එජාපය මැතිවරණයේදී ඉවරයටම ඉවර වෙනවා. ඊට පස්සේ අනිත් ඡන්ද ගැන හිතමු. “ එස්.බී කතාවට ජනපතිවරයාටද සිනහ ගියේය.

ෆවුසි - පියසේන පිල් මාරුවට හේතුව

ඒ.එච්.එම්. ෆවුසි හා පියසේන ගමගේ පසුගිය සතියේදී ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වූහ. ෆවුසි පසුගියදා ඇමැති ධුරයක දිවුරුම් දුන්නත් ඔහු ඇමැති ධුරයක දිවුරුම් දීමට වැඩි කැමැත්තක් තිබුණේ නැත. එහෙත් ඔහුට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ලවෙමින් තිබූ පීඩනය හමුවේ ඇමැති ධුරයේ දිවුරුම් දීමට සිදුවිය. ඇමැති ධුරයක් ගත්තද ඔහුට එහි තවදුරටත් රැඳී සිටීමේ අදහසක් තිබුණේ නැත.

මේ අතර පියසේන ගමගේ රාජ්‍ය ඇමැති ධුරයක දිවුරුම් දුන්නද ඔහු ආණ්ඩුව සමග සිටීමේ වැඩි කැමැත්තක් තිබුණේ නැත. ළමා කාන්තා හා තරුණ කටයුතු රාජ්‍ය ඇමැති ධුරය ලබාදුන්නද කැබිනට් ඇමැතිවරයෙක් පත් නොකළේ අමාත්‍යාංශයේ සියලුම වැඩ කටයුතු ඔහුට කරගෙන යාමට අවස්ථාව දීමටය. ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතවලට අතරව ගාලු උරුමය පදනම ඇතුළු තවත් ආයතන කිහිපයක් ඔහුගේ අමාත්‍යාංශය යටතේ ගැසට් කරන බවට මෛත්‍රී සහතිකයක්ද දී තිබුණේය. ඔහු එම සහතිකය පිළිබඳ සිය හිතවතුන්ටත් පවසා තිබුණේය. එහෙත් ගැසට් නිවේදනය නිකුත් වන විට ඔහුට දෙන බව කියූ අමාත්‍යාංශ ගැසට් වී තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේය.

1989 දී මෛත්‍රී සමග මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි ඔහු වැඩ භාරගන්නා අවස්ථාව වන විට මෛත්‍රී පැමිණ සිටියත් තමන්ට දෙන බවට සහතික වූ ආයතන නොලැබිම ගැන ඔහු සිටියේ එතරම් හිත හොඳකින් නොවේ. මේ අතරම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේය. ඒ වන විට පියසේන ගමගේට තිබූ රාජ්‍ය ඇමැතිධුරය අහිමි වී ඔහු සතුව තිබූ සියලුම බලතල කැබිනට් ඇමැතිවරයා වෙත හිමිවිය. මේ අතරම මහින්ද ‍පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමත් සමග පියසේන ගමගේගේ දේශපාලන අනාගතය පිළිබඳ ඇතිවූයේ තරමක සැකයකි. දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ තමන්ගේ පක්ෂයේම තමන්ගේම මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන ප්‍රතිවාදියා ලෙස ඉදිරියට පැමිණීමේ අවදානම පියසේන ගමගේ කල් ඇතිවම හඳුනාගත්තේය. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙ‍ලේ කිහිපදෙනෙක් සමග සාකච්ඡා කළේය. මලික් සමරවික්‍රම, වජිර අබේවර්ධන ඇතුළු පිරිස සමග කතා කළ ඔහු රනිල් හමුවීමට ගියේය. ඔයා එක්සත් ජාතික පක්ෂයට එන්න රනිල් කළ යෝජනාව ඔහු පිළිගත්තේය.  ඒ අනුව ගාල්ලෙන් ආසනයක් දීමේ ‍පොරොන්දුව මත ඔහු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළේය.

ඒ අනුව පසුදා උදෑසන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල වාඩිවීමට ඔවුහු දෙදෙනා තීරණය කළහ. පාර්ලිමේන්තුව ආරම්භ වන විටත් ඔවුන් දෙදෙනා සිටියේ විපක්ෂයේ අසුන් දෙකකය. එහෙත් කලින්ම ආණ්ඩුවෙන් ඉවත්වූ මනුෂ නානායක්කාර සිටියේ ආණ්ඩු පක්ෂයේය. වේත්‍රධාරියා සෙංකෝලය රැගෙන පැමිණීමෙන් පසුව ඔහු සභා ගර්භය මැදින් විපක්ෂයට පැමිණියේය.

මේ අතර ආණ්ඩුවේ සිටි තවත් ඇමැතිවරු දෙදෙනෙක් සඳුදා දිනයේදීම විපක්ෂයට පැමිණියහ. ඒ වඩිවෙල් සුරේෂ් සහ වසන්ත සේනානායකය. වඩිවෙල් සුරේෂ් නැවත එක්සත් ජාතික පක්ෂයට ගැනීමේ කපුකම කළේ හරින් ප්‍රනාන්දුය. ඔවුන් දෙදෙනාම බදුල්‍ලේය. කලින් දින රාත්‍රියේදී තමන්ගේ හිතවතුන් පිරිසක් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඒ තමන් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් බව වඩිවෙල් පවසමින්ය. ඒ අනුව පසුදා උදෑසන  පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට හරීන් ගොස් වඩුවෙල් කැඳවාගෙන ආවේය. ඔහු කැඳවාගෙන පැමිණියේ ඒ වනවිටත් අත්සන් කරමින් තිබූ විශ්වාසභංග යෝජනාවට අත්සනක් ගැනීමටය. විශ්වාසභංග යෝජනාවේ අත්සන් කළ යුතු පිටපතක් වඩිවෙල්ගේ අතට පත්විය. එහෙත් එය අත්සන් කිරීමට ඔහුගේ අතේ පෑනක් නොවීය. එවිට හරීන් දුටුවේ ඒ අසල සිටි මාධ්‍යවේදියෙකි.

මචං, පෑන ‍පොඩ්ඩක් දෙන්න. මේක අත්සන් කරවාගන්න. නැත්නම් පෑනක් හොයාගෙන එන්න යන ටිකට මේකා අනික් පැත්තේ ගිහින් වාඩිවේවිද කියලා කියන්න බෑ පෑන තමන්ගේ අතට ලබාගනිමින් හරින් කීවේ සිනාසෙමිනි.

එජාපයට සාටක ඇන්දූ මන්ත්‍රී

මේ අතර කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන කමිටු කාමරය ඉදිරිපිට කාමරයකට තවත් අයෙක් පැමිණ සිටියේය. ඒ වසන්ත සේනානායක මන්ත්‍රීවරයාය. ඔහු පැමිණ ටික වේලාවකින් එතැනට ආවේ රවි කරුණානායක මන්ත්‍රීවරයාය. ඒ වන විට මාධ්‍යවේදීන් ඇතුළු කිහිපදෙනෙක් එම කාමරය තුළ විය. රවි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ටික වේලාවකට කාමරයෙන් පිටතට යන ලෙසය. ඒ අනුව සියල්ලෝම කාමරයෙන් පිටතට ගිය විට සජිත් ප්‍රේමදාස එහි පැමිණියේය. වසන්ත සමග ටික වේලාවක් කතා කරමින් සිටි ඔහු රවිට යමක් කීවේය. ඒ අනුව රවි එතැනින් නැගිට ගිය අතර නැවත පැමිණියේ සුදු පැහැති කොළ කිහිපයක් රැගෙනය. එම කොළ අතට ගත් වසන්ත සේනානායක කිසියම් ලිපියක් ලියුවේය. එම ලිපිය ලියා භාරදුන් ඔහු එම කාමරයෙන් එළියට ආවේ මාධ්‍යයට අදහස් දැක්වීමටය.

මම ආණ්ඩුවට ගියේ ‍පොළොන්නරුවේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවයක් කිරීමටයි. ආණ්ඩුවක් නැතිව ඒ අයට සේවයක් කරන්න බෑ. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයට එනවාවසන්ත කීවේය. මේ සිද්ධියත් සමග යළිදු වරක් ආණ්ඩුවේ හා විපක්ෂයේ ඔළුගෙඩි ගණන වෙනස් විය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණියේ සාටකයක් පැළඳගෙනය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා යනුවෙන් සටහන් කර තිබූ එය භාෂා තුනෙන්ම සඳහන් කර තිබුණේය. එම සාටකය පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබුණේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාය.

එය පාර්ලිමේන්තුවට රැගෙන එන දිනයට පෙර දිනයේදී වජිර එම සාටක සියල්ල සකස් කර රැගෙන ආවේ තමන්ගේ නිවසටය. තමන්ගේ නිල නිවසේ කාර්යාලය තුළට රැගෙන ආ සාටක පැලඳගත් විට එය කෙසේ දිස් වන්නේ දැයි බැලීමට වජිරට අවශ්‍ය විය. වජිර එය තමන්ගේ නිවසේ සිටි අයෙක්ට පැලඳවා බැලුවේය. අවුරුදු කුමාරියකට සාටකයක් පලඳවන ආකාරයට ඔහු එය රැගෙන තමන්ගේ හිතවතාට පැලඳවූවේය. මේක ලස්සනට තියෙනවා. පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් මේක පැලඳගෙන ඉන්නකොට අපිට තියෙන බහුතරය පැහැදිලිව බලාගන්න පුළුවන් වජිරගේ අදහස විය.

මහින්දගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලකාරී වාතාවරණය නිසා අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබුණි. මහින්දගේ ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුවේ සෑම තැනකම සිටි අතර ඔහු කමිටු කාමර වෙත යන සෑම අවස්ථාවකදීම ගියේ ආරක්ෂක නිලධාරීන් වට කරගෙනය. එහෙත් පාර්ලිමේන්තු සභා ගර්භයේදී මහින්දගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව තිබුණේය. ඊට හේතු වූයේ මන්ත්‍රීවරුන් හැර ආරක්ෂකයන්ට සභා ගර්භය තහනම් කලාපයක් වන නිසාය.

ලොහාන් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන බලාගන්න ඕන. හදිසියේවත් කවුරු හරි මහින්ද මහත්තයාට ගහන්න එහෙම ආවොත් බලාගන්න මන්ත්‍රීවරයෙක් අවදානමක් ගැන අනතුරු ඇඟවූවේය. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණොත් මහින්ද මහත්තයා ළඟින්ම ඉන්න කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු ලොහාන්ට උපදෙස් දුන්හ. ඒ අනුව මහින්දගේ ආරක්ෂාව භාරවූයේ ලොහාන්ටය. පසුගිය පාර්ලිමේන්තුවේ උද්ගත වූ ගැටුම අතරතුරේ පාඨලී චම්පික රණවක පැමිණ මහින්ද සමග සුහදව කතා කරමින් සිටියදී ලොහාන් පැමිණ පාඨලී සමග ගැටුමක් ඇති කරගත්තේය. ඒ අවස්ථාවේදී මහින්ද ලොහාන් පසකට කරමින් පාඨලීගේ අතට අත දෙමින් සුහදත්වය පළ කළේය.

වෙල්ගමගේ කතාව මැදදී මහින්ද පිටව යයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතියේදී පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදීය. කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ මහින්ද ටික වේලාවක් එහි සිට එතැනින් පිටත්ව ආවේය. ඒ කණ්ඩායම් රැස්වීම ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබාදෙමින්ය. මෙම කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක්ද එම ස්ථානයේම සූදානම් කර තිබුණි. කණ්ඩායම් රැස්වීම දිගින් දිගටම ඇදී යමින් තිබිම නිසා දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල මාධ්‍යවේදීන් සිටි තැනට වරින් වර පැමිණියහ.

කණ්ඩායම් රැස්වීම ටිකක් ඇදෙනවා. ‍පොඩ්ඩක් ඉන්න. අපි ටික වේලාවකින් පටන් ගනිමු තිලංග සුපුරුදු පරිදි මාධ්‍යයට සිය සුහදත්වය දැක්වූවේය. ඒ අතර කණ්ඩායම් රැස්වීම කෙමින් කෙමින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා දැක්වූ අදහස් නිසාය. වෙල්ගම අදහස් දැක්වීම ආරම්භ කරන විට මහින්ද සිටියත් ඔහුගේ අදහස් දැක්වීම අවසන් වන විට මහින්ද එහි සිටියේ නැත.

මම මේ දීගෙට කැමැති වුණේම නෑ. එකතුවෙන්න ඕන නෑ කියන එක තමයි මම දිගටම කිව්වේ. මෙහෙම එකතු වුණාට බහුතරයේ කැමැත්තක් නෑ. මහින්ද මහත්තයායි අපියි වට්ටන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේක අපි වට්ටන්න අටවපු උගුලක්. කවුරුවත් මේක තේරුම් ගන්නේ නෑ. සර් එක්ක ඉන්න අයම තමයි සර් මේ උගුලට ඇඳලා දාන්නේ වෙල්ගම කීවේ මහින්දට පසෙකින් සිටින විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඉලක්ක කරගනිමිනි. ඒ කතාව අවසන් වන විටම මහින්ද එතැනින් පිටත්ව ගියේය. මහින්ද පිටත්ව ගිය පසුවත් වෙල්ගම කතාව අවසන් කළේ නැත. බලන්න රටක් වටින මහින්ද මහත්තයාට ඔයාලා කරපු වැඩේ. ඒ මනුස්සයා දැන් විනාශ කරලා දානවා. නිකම් හැමෝගෙන්ම බැණුම් අහනවා. අවඥාවට ලක් කරනවා. අන්තිමේදී අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නෑ. ‍පොහොට්ටුවත් නෑ. දැන් ‍පොහොට්ටුවත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි. තොපිලා තමයි මේක කාලා දැම්මේ වෙල්ගම කීවේ දැඩි කේන්තියකිනි.

මහින්ද අගමැති ධුරයට පත්වීමෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ පසුගිය සතියේදීය. ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට පිළිගැනීමට පැමිණයේ අගමැති පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේය. හෙට්ටිගේ සමග අගමැති කාර්යාලයට ගිය මහින්ද මහින්දගේ අතට මල්වට්ටියක් දුන්නේය. ඒ අගමැති ‍ලේකම් කාර්යාලයේ බුදුන් වැඳීම සඳහාය.

මහින්ද එහි පැමිණ ටික වේලාවකින් මහින්ද සමග සිටින මන්ත්‍රීවරු පිරිසක් එතැනට පැමිණියහ. ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, ශෙහාන් සේමසිංහ, කනක හේරත්, එස්.බි. දිසානායක ඒ අතර වූහ.

“ජනාධිපතිතුමාට ආරංචිද දන්නේ නෑ. අද අපිට ලොකු පිළිගැනීමක් නොදී ඉන්න තමයි හදන්නේ. ඒ අය හොඳින් ඉඳලා අපි කේන්ති ගස්සන්න තමයි හදන්නේ. පාර්ලිමේන්තුව ගැටුම්කාරී තැනක් කියලා පෙන්වන්න හදන්න උත්සහ ගන්නවා කියලාත් ආරංචියි“ ගාමිණී ලොකුගේ තමන්ට ලැබුණ තොරතුරක් අනාවරණය කළේය. “මටත් ඕවා ආරංචියි. කලබල වෙන්න එපා. මොකද වෙන්නේ කියලා බලමු“මහින්ද කීවේය. “සර්ට අගැමතිගේ පිළිගැනීම නොදී ඉන්න තමයි හදන්නේ“ එස්.බි. පැවැසුවේය.

“මෙයාලා මොකටද එන්නේ කියලා බලමු. මම ඔය හැම තැනකම ඉඳලා තියෙනවා. මට අගමැතිකම මහ කජ්ජක් නමෛයි. මම මේක ආසාවෙන් භාරගත්ත දෙයක් නමෛයි. රනිල් ගෙන ආපු වැඩපිළිවෙළආපස්සට හරවන්න තමයි මම මේක භාරගත්තේ. මම හෙට වුණත් දාලා යනවා. මම කාටවත් බයේ දාලා යන්නේ නෑ. සටනක් තියනවානම් ඒ සටන කරලා තමයි යන්නේ“ මහින්ද කීවේය.

“අපි මේකට ආපු එක ගැන රටේ ලොකු පිබිදීමක් තියෙනවා. මේකට යූඑන්පී එකට රිදිලා“ පවිත්‍රා කීවාය. “අපි පාර්ලිමේන්තුව ඇතුළේ සටන් කරන්න ඕන ආණ්ඩුවක් ගන්න නමෛයි. මැතිවරණයක් ගන්නයි“ විමල් තවත් යෝජනාවක් කළේය.

 

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 November 2018 22:50