April 28, 2024

විශ්වාසභංගය සම්මත වන හැටි මෙන්න

November 17, 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසය. එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙස ද ජනාධිපතිවරයා පෙරේදා (15) කථානායක කරු ජයසූරිය මහතා සහ පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී දැනුම් දී තිබුණි.

කතානායක කරු ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පෙරේදා (15) හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඒ බව දැනුම් දී තිබුණි.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි. එහි දී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ජනාධිපතිjවරයාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳත් මෙහි දී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේය.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව තුළ ඊයේ දිනයේ විශ්වාසභංගය සම්මත කර ගැනීමට ක්‍රියාකළ ආකාරය අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසී ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යනුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් පහතින් සදහන් වේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා පිලිගැනීම මූලිකම කාරණාව වෙයි.

  1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
  2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
  3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
  4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
  5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
  6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
  7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
  8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
  9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
  10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
  11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.
  12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

(ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.)

Rate this item
(1 Vote)