April 28, 2024

කරළියෙන් එහා: ගල උඩ සටන ඇරඹෙයි! මහින්ද - විමල් ගැටුමක

November 11, 2018

ජනාධිපතිවරයා සිදුකළ බලපෙරළිය තුළින් හටගත් දේශපාලන නොසන්සුන් තත්ත්වය තවදුරටත් කරළියෙන් එහා උණුසුම් කළේය. පසුගිය 26වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදීමෙන් පසුව ඇති වී දේශපාලන අර්බුදය තවමත් සමහන් වී නොමැත. සමහන් වෙනවා වෙනුවට දිනෙන් දින අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තිබේ. මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණද දැඩි අවධානයකින් පසුවෙන අතර බොහෝ දේශපාලන පක්ෂද ජනතාවද ජවිපෙ හැසිරීම පිළිබඳව විශාල අවධානයකින් පසුවෙයි. ඇති වෙමින් තිබෙන නව තත්වය පිළිබඳව ජවිපෙ නායකයින්ද විවිධ අවස්ථාවල හමුවී සාකච්ඡා පවත්වති. ක‍්‍රියාමාර්ග ගනිති. පසුගිය අඟහරුවාදා දිනයේදීද ජවිපෙ නායකයෝ ජවිපෙ කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ.

”26වෙනිදා ඇතිවුණ බල සූදුව තවමත් ඉවරයක් කර ගන්න බැරිවෙලා තිබෙනවා. දවසින් දවස දේශපාලන අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ගන්න ක‍්‍රියාමාර්ග ඉතාම තීරණාත්මක වෙලා තිබෙනවා. ජනතාව වගේම අනෙක් දේශපාලන පක්ෂත් අපි ගන්න ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශාල අවධානයකින් ඉන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”අපිට සමීප පිරිස්, මහින්ද විරෝධී පිරිස්, මහින්දට සහය පළකරන පිරිස් මේ හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් අය කියනවා මේක ඒ අයගේ ප‍්‍රශ්නයක් අපි පැත්තකට වෙලා ඉන්න ඕනෑ කියාලා. රාජපක්ෂවාදීන් අපිට ලොකු ප‍්‍රහාරයක් දෙන්න උත්සහ කරනවා. එජාපයේ පිරිස් අපේ සහය ගන්න බලාගෙන ඉන්නවා. මෛත‍්‍රී මහින්ද රනිල් බල සූදුව පරාජය කරන්න ඕනෑ. මේ කළු සල්ලි එහාට මෙහාට වීසි කරලා ආණ්ඩු හදන ඒවට අපි සහය දෙන්න ඕන නැහැ. නමුත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි. වමේ ව්‍යාපාර කවදත් කුමන්ත‍්‍රණවලින් බලය ගැනීම ප‍්‍රතික්ෂේප කරනවා.” පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේය. ”මන්ත‍්‍රීවරු විකිණෙන එක පුදුමයක් නෙවෙයි එක අතකට. ඡුන්ද කාලේ ජනතාව තමන්ගෙ ඡුන්ද ටකරන් සීට් එකට, සාරියට, දේශපාලන පත්වීමට වික්කා. දැන් මන්ත‍්‍රීලා, මන්ත‍්‍රීකම විකුණනවා ඊළඟ ඡුන්දෙට සල්ලි හොයාගන්න. ඒ නිසා මේ විකිණෙන අයටත්, ගන්න අයටත්, කුමන්ත‍්‍රවලින් බලය අල්ලන අයටත් මීට පස්සේ අපි මන්ත‍්‍රීතුමා, ඇමතිතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා කියලා නොකියා ඉන්න ඕනෑ. මොකද ඒ තනතුරුවලට තියෙන ගෞරවය දැන් කළු සල්ලිවලට යටවෙලා ඉවරයි.” සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේය.

”ඒ වගේම මේ කළු සල්ලිවලින් හදන ආණ්ඩු අපි පිළිගත යුතු නැහැ. මහින්දලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත්, රනිල් වික‍්‍රමසිංහලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත් ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු නෙවෙයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව පත්කරන තනතුරු අපි පිළිගත යුතු නැහැ.” ලාල්කාන්ත පෙන්වා දුන්නේය. ”මේ වෙලාවේ සමහරු අපිට මඩ ගහනවා. කාගෙවත් මඩවලට බයේ අපි අපේ දේශපාලන තීන්දු වෙනස් කරලා නැහැ කවදත්. අපි හැමදාමත් රටේ තීරණාත්මක අවස්ථාවලදී හරියට කෙලින් හිටගත්තා. ඒ වගේම අපි කාටවත් සහය දෙන්නේ නැහැ කිවුවාම සමහරු ඒක වැරදි විදියට අර්ථකතනය කරගෙන. අපි රනිල්ට මහින්දට අගමැතිකම් ගන්න සහය නොදුන්නාට මේ කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත‍්‍රණය පරාජය කරන්න ගේන යෝජනාවවකට, විශ්වාසභංගයකට අපි ඡුන්දය දෙන්න ඕනෑ. ඒ වගේම නීති විරෝධීව ආණ්ඩුව හදාගෙන අයවැයක් ගෙනාවොත් අයවැය පරාජය කරන්න ඡුන්දය දිය යුතුයි.” විජිත හේරත් යෝජනා කළේය. ඒ විතරක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවේදී වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ කුමන්ත‍්‍රණයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න කියලා බලපෑමක් කරන්න විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුයි. මොකද ජනතාවත් මේ වෙලාවේ ව්‍යාකූල වෙලා ඉන්නේ. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙන්නෙත් අපිට. ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණයට විරුද්ධව වැඩකරන්න කැමති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියල්ල හමුවෙලා සාකච්ඡුා කරන්න ඕනෑ.” බිමල් රත්නායක යෝජනා කළේය.

ජවිපෙ ටීඑන්ඒ හමුවක්

ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හමුවීමට තීරණය කළ ජවිපෙ පසුගිය පස්වෙනිදා පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය හමුවිය. ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, බිමල් රත්නායක එදින පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට ගියහ. එහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ, සුමන්දිරන් මන්ත‍්‍රීවරයා ජවිපෙ නායකයින් සුහදව පිළිගත්හ. පසුව ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡුා කළහ. ”රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමෙන් විශාල ලෙස බැටකෑව පක්ෂයක් තමයි ජවිපෙ. ඒ වගේම උතුරේ ජනතාවත් විශාල පීඩාවකට ලක්වෙලා තිබෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමෙන්. ඒ නිසා අපිට මේ අවස්ථාවේ එක්ව සටනක් කළ හැකියි.” අනුර දිසානායක කියා සිටියේය. ”සිදුවීම වුණාට පස්සේ අපි අපේ ස්ථාවරය කිවුවා. එනිසා මේ ප‍්‍රශ්නය විසඳගන්න පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි.” විපක්ෂ නායක සම්බන්ධන එක්ව ක‍්‍රියාමාර්ග ගැනීමට තම සංවිධානය එකඟ බව ප‍්‍රකාශ කළේය.

පසුගිය හයවෙනිදා රාත‍්‍රීයේ විශේෂ රූපවාහිනි සංවාද වැඩසටහනක් සඳහා ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයසිංහ සහභාගි විය. එම වැඩසටහනටම කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකරද සහභාගි විය. වැඩසටහන ආරම්භ කිරීමට ප‍්‍රථම ජවිපෙ මන්ත‍්‍රීවරයා සහ ඩිව් ගුණසේකර අතර පවතින දේශපාලන තත්වය සම්බන්දයෙන්ද කතාබහක් ඇතිවිය. ”මේ කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ වැඩක්. මේ වෙලාවේ තමයි අපිට 20වෙනි සංශෝධනයේ වැදගත්කම තේරෙන්නේ. ඔබතුමාලා ගෙනාපු 20වැනි සංශෝධනය සම්මත කළා නම් මේ අර්බුද ඇතිවෙන්නේ නැහැ. තනි මිනිහෙක් බලය පාවිච්චි කරලා මේ වගේ වැඩ කළාම රටම අර්බුදයට යනවා. මම මේක රට ඉස්සරහ කියනවා.” ඩිව් ගුණසේකර වෛද්‍ය නලින්ද ජයතිස්සට කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතාබහක්

පසුගිය හත්වෙනිදා රාත‍්‍රිය වනවිට පාර්ලිමේන්තුව විසුරුවීමේ සාකච්ඡුාවක් යන බවට තොරතුරු කණින් කොණින් ජවිපෙ නායකයින්ටද වාර්තා විය. ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ට රජයේ මුද්‍රණාලයෙන් ලැබුණා යැයි කියන තොරතුරක් දුරකතනයට වාර්තා විය. එයින් කියැවුණේ එදින රාත‍්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක් පැමිණීමට නියමිත බැවින් කිහිප දෙනෙක් රාත‍්‍රී වැඩමුරයේ රැුඳී සිටිය යුතු බව ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු විසින් දන්වා තිබෙන බවයි. ”එක ව්‍යවස්ථා විරෝධී වැඩක් කරලා තවත් එකක් කරන්න යන්නේ. පාර්ලිමේන්තුව විසුරුවන්න වගේ හදන්නේ.” විජිත හේරත් අසල සිටි ටිල්වින් සිල්වාට කියා සිටියේය. ”පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට මේ මොහොතේ ප‍්‍රතිපාදන නැහැ. පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනෑ. මේ හදන්නේ මන්ත‍්‍රීවරු බය කරලා තමන්ගේ පැත්තට බිලීබාගන්න. අනෙක නීති විරෝධී අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඡුන්ද කරන්නේ කොහොමද?” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”මේ කරනවා ඇත්තේ ඊළඟ ඡුන්දෙන් දිනන්න බැරිවෙයි කියන මන්ත‍්‍රීවරු ටික තමන්ගෙ පැත්තට බිලිබාගන්න කරන මගඩියක් වෙන්නත් පුළුවන්” විජිත හේරත් කීය.

කඩින් කඩ ඇමැතිවරු දිවුරුම් දෙයි

පසුගිය සති අන්තය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී සමග සිටි විසි තුන් දෙනොගේ කණ්ඩායමෙන් බොහෝ දෙනෙකුත් ඇමැති ධුරවල දිවුරුම්දී තිබුණහ. එහෙත් ඔවුන් ඇමැති ධුරවල දිවුරුම්දී තිබුණේ වැඩි කැමැත්තකින් නොවේ. දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම ඇමැති ධුරවල දිවුරුම් නොදී සිටීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණි. “අපි පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ අයට දැඩි විවේචන එල්ල කළා. ඒ අයට නොයෙක් චෝදනා එල්ල කළා. මේ අයත් එක්ක එකට අපි කැබිනට් මණ්ඩලයේ වාඩිවෙන්නේ කොහොමද?” කියමින් මෙම කණ්ඩායම සිටියේ ඇමැති ධුර නොගන්නා ස්ථාවරයකය.

එහෙත් ඇමැති ධුර නොගෙන සිටීම ගැන ඔවුන්ට එල්ලවූයේ දැඩි බලපෑමකි. පැමිණ ඇමැති ධුරවල දිවුරුම් දෙන්නැයි ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබුණි. එහෙත් එම කණ්ඩායම විවිධ හේතු දක්වමින් ඇමැති ධුරවල දිවුරුම් දීම තරමක් කල් දැමුවේය. දිගින් දිගටම ඇමැති ධුරවල දිවුරුම් නොදී සිටින විට ශ්‍රී ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇමැතිවරයාගේ නිවසට පැමිණියේ බැසිල් රාජපක්ෂය. පැය ගණනාවක් දුමින්දගේ නිවසේ ඉහළ මාලයේ කාමරයකට වී ඔවුන් දෙදෙනා සාකච්ඡා කළේ ඇතිවෙමින් පවතින තත්ත්වයන්ය. පැය දෙක පුරාම බැසිල් කළේ දුමින්දට ඇමැති ධුරයක් ගැනීම කෙරෙහි කරුණු දැක්වීමය. බැසිල්ගේ කරුණු දැක්වීමෙන් පසුවත් දුමින්දගේ ස්ථාවරයේ දැඩි වෙනසක් ඇතිවූයේ නැත. ආණ්ඩු පෙරළියත් සමග මහින්ද පිළේ හුන් එස්.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේදී කළ දේවල් ගැන දුමින්දගේ හිත පෑරී තිබුණේය. 

මේ අතර අනෙක් මැති ඇමැතිවරුන්ටද ඒ ආකාරයේ බලපෑම් එල්ලවෙමින් තිබුණි. එක්වරම ඇමැති ධුරයේ දිවුරුම්දෙන දිනට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. “තවම අර කලින් ඉඳපු ගෙදරම නේද ඉන්නේ” අරුන්දික දුරකතන ඇමතුම අවසන් කළේ මනුෂගේ ගෙදර ගේට්ටුව අසලට පැමිණි විටය. “මනුෂ හෙට ගිහින් දිවුරුම් දෙන්න. දැන් ගිහින් මහින්ද මහත්තයා හමුවෙලා එමු” අරුන්දික මනුෂ රැගෙන යාමට දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් එයට මනුෂගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත. එවිට අරුන්දික දුරකථනයෙන් මහින්දට ඇමතුමක් ගෙන මනුෂට දුරකථනය දුන්නේය. මනුෂ ඔහු සමග කතා කිරීමෙන් පසුව බැසිල් ද දුරකථන  ඇමතුමක් ගත්තේය. ඔවුන් දෙදෙනාම කීවේ පසුදින ගොස් දිවුරුම් දෙන ලෙසය.

පසුදින සවස හයට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගොස් දිවුරුම් දෙන්නැයි ඒ වන විටත් ‍ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් තිබුණි. එහෙත් දිවුරුම්දීමට යාමේ වැඩි සූදානමක් තිබුණේ නැත. දුමින්දත් තමන්ගේ නිවසට වී සිටි නමුත් දිවරුම්දීමට යාමේ සූදානමක් තිබුණේ නැත. එහෙත් එදින දවස පුරාම දුමින්දගේ නිවසට පැමිණි මැති ඇමැතිවරු දිවුරුම්දීමට යන්නැයි ඉල්ලා සිටියහ. ඒ වන විටත් කණ්ඩායම දුරකථන ඇමතුම් ලබාගනිමින් ඇමැති ධුරවල දිවුරුම් නොදී සිටිය යුතු බව සාකච්ඡා කරමින් සිටි නමුත් අවසානයේදී දුමින්ද තීරණය කළේ දිවුරුම් දෙන අවස්ථාවට සහභාවීමටය. ඒ සියලුදෙනාගෙන්ම පැමිණෙන ඉල්ලීම් හමුවේය. ඒ වන විට සවස පහයි තිහත් පසුවී තිබුණි. දුමින්ද අනෙක් අයටත් දුරකථන ඇමතුම් ලබාදී කියා තිබුණේ තමන් දිවුරුම දීමට යන බවය. ඒ අනුව මනුෂත් දුමින්ද සමග ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියහ. එහෙත් ඒ.එච්.එම්. ෆවුසි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වූයේ නැත. මනුෂ නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව නැවත නිවසට පැමිණියත් ඔහු සිටියේ වැඩි සතුටකින් නොවේ. අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳ ඒ වන විට සිවිල් සමාජයෙන් හා ජාත්‍යන්තරයෙන් එල්ලවෙමින් තිබූ බලපෑම් පිළිබඳවත් ඔහු සිටියේ දැඩි අවධානයෙනි. අලුත් ආණ්ඩුව පිළි නොගන්නා බව ජාත්‍යන්තරයෙන් නිකුත් කළ නිවේදනත් හොඳින් අධ්‍යයනය කළ මනුෂ තමන්ගේ දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා කළේය. මේ අතර කථානායක කරු ජයසූරියත් නිවේදනයක් නිකුත් කරමින් කලින් සිටි අගමැතිවරයා නීත්‍යනුකූල අගමැතිවරයා ලෙස පිළගන්නා බව පැවැසුවේය. මෙම නිවේදනය නිකුත් කිරීමත් සමග මනුෂ අවසන් තීරණයක් ගත්තේය. ඒ තමන්ට හිමව තිබූ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමටය.

ඒ අනුව මනුෂ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කළේය. ඒ තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක් සමග එක්වය. එම ලිපිය සකස් කළ මනුෂ එය ජනාධිපතිවරයාගේ අතට පත් කිරීම සඳහා භාරදුන්නේය. අස්වීමේ ලිපිය යැවීමෙන් පසුව මනුෂ ගියේ අරලියග මන්දිරයටය. ඒ රනිල් වික්‍රමසිංහ හමුවීමටය. රනිල් හමුවීමට යන විට රවි කරුණායාක මන්ත්‍රීවරයාත්, මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාත් රනිල් සමග විය. “මම කථානායකතුමාගේ නිවේදනය පිළිගන්නවා. මට හෘදය සාක්ෂියක් ඇතිව අලුත් ආණ්ඩුවේ ඉන්න බෑ. ඒ නිසා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය මම ජනාධිපතිතුමට යැවීමට කටයුතු සූදානම් කළා” මනුෂ රනිල්ට කීවේය. එතැන සිටි රනිල්ගේ හිතවතෙක් මනුෂ සහ රනිල් සමග සාකච්ඡා කරන ආකාරය වීඩියෝ ගත කළේය. ඉන් පසුව ඉල්ලා අස්වීමෙන් පසුව මාධ්‍යය වෙත නිකුත් කළ යුතු ප්‍රකාශයත් මනුෂ දුන්නේය. ඒ අරලියගහ මන්දිරයේදීමය.එම ප්‍රකාශය දුන් මනුෂ එතැනින් පිටතට පැමිණියේ සිය පවු‍ලේ සාමාජිකයන් සමග විදේශගතවීමටය. ආරක්ෂාව පතා මනුෂ විදේශ ගතවීමෙන් පසුව අරලියගහ මන්දිරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මනුෂ පැය කිහිපයකට පෙර ලබාදුන් ප්‍රකාශය මාධ්‍යයට ලබාදුන්නේය.

මනුෂ විදේශගතවීමෙන් පසුව මෛත්‍රී අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගෙන තිබුණේය. එහෙත් එම උත්සාහය සාර්ථකවී නොතිබුණේ ඒ වන විටත් ඔහු තමන්ගේ දුරකථනය විසන්ධි කර තැබිම නිසාය. පසුගිය ආණ්ඩුවල කැබිනට් ඇමැති ධුර දැරූ බොහෝ දෙනෙක්ට රාජ්‍ය ඇමැති ධුරවලින් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. 19 වැනි සංශෝධනය අනුව කැබිනට් මණ්ඩලය තිහකට සීමා කිරීමට සිදුවීම නිසා රාජ්‍ය ඇමැති ධුර ගැනීමට කැමැති මැති ඇමැතිවරුන්ට රාජ්‍ය ඇමැති ධුර දීමට මෛත්‍රී තීරණය කර තිබේ. රාජ්‍ය ඇමැති ධුර ගන්නා අයට හිමිවන දේ ගැන මෛත්‍රී කල් ඇතිවම ඔවුන්ට දැනුම්දී තිබුණේය. “රාජ්‍ය ඇමැති ධුර ලබාගන්නා අයගේ කැබිනට් අමාත්‍යාංශය කාටවත් දෙන්නේ නෑ. කැබිනට් ඇමැතිවරයා වෙන්නේ මම. හැබැයි මම කිසිම කෙනෙක්ගේ වැඩවලට මැදිහත්වෙන්නේ නෑ. තමන්ගේ යටතේ තිබෙන ආයතනවලට තමන්ට වුවමනා අය දාගන්න පුළුවන්. අමාත්‍යාංශයේ වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට අරගෙන යන්න. ඕනම කැබිනට් පේපර් එකක් අරගෙන එන්න. මම ඒ හැම කැබිනට් පේපර් එකකටම අත්සන් කරන්නම්” මෛත්‍රී සහතිකයක් ලබාදී තිබුණේය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දී තිබුණේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. ඇමැති ධුරයේ දිවුරුම්දුන් කෙහෙළිය කෙළින්ම පැමිණියේ අගමැති කාර්යාලයටය. ඒ වන විට එහි සිටි මාධ්‍යවේදීන් පිරිසක් ඔහුට හමුවිය. “වැඩක් නෑනේ සර්. අපි හිතුවා කැබිනට් ඇමැතිකමක් ලැබේවි කියලා” මාධ්‍යවේදීහු පැවැසූහ.

“ජනාධිපතිතුමා මේ ගැන මාත් එක්ක කතා කළා එයා මගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නෑ කියලා කිව්වා. මගේ අමාත්‍යාංශයේ තියෙන ආයතනවලට සභාපතිවරු දැම්මේ තාවකාලිකව, ඕන නම් අගමැතිතුමා එක්ක කතා කරලා ඒ අය වෙනස් කරගන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට ඕන වැඩ ටික කරන්නනේ” කෙහෙලිය කීවේය.

ජනරැලියට මහින්දගේ නමට ගැලපෙන නම තැබුවේ මෛත්‍රී

මනුෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කරන විට රටේ විවිධ ප්‍රදේශවලින් බස් රථ කොළඹට ළඟාවෙමින් තිබුණි. ඒ අගමැති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහාය. පාර්ලිමේන්තු වටරවුමෙදී පැවැති මෙම රැලිය සංවිධානය කිරීමේ වැඩි බරක් කරට ගෙන තිබුණේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාය. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් තිලංගගේ සහයට පැමිණ සිටියහ.

මෙම රැලිය පළමුවෙන්ම නම් කර තිබුණේ ජනවේගය නමිනි. “තිලංග කැමැති නම් අපි මේකට ‍පොඩි වෙනසක් කරමු” මෛත්‍රී යෝජනා කර තිබුණේය. “මොකක්ද ඒ වෙනස ජනාධිපතිතුමා” තිලංගත් විමසා තිබුණේය.

“මේකට ජනවේගය කියන නමට වඩා 'ජන මහිම' කියන වචනය ගැළපෙනවා. මොකද මේ රැලිය සංවිධානය කරන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්නේ. ඒක නිසා 'ජන මහිම' කියන නම ගැළපෙනවා” මෛත්‍රී යෝජනා කළ නමට සියල්ලෝම කැමැති වූහ. ඒ අනුව ඒකාබද්ධයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු එක්ව රැලියේ වැඩ කටයුතු සංවිධානය කළහ. “බලන්නකෝ අර රනිල්ගේ කට්ටිය අරලියගහ මන්දිරයට අරක්ගත්ත බූතයෝ රැලක් වගේයි. කොච්චර එළෙව්වත් යන්නේ නෑ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේ රාත්‍රියේ වේදිකාව සකස් කරන තැනට පැමිණි අනෙක් අය සමගය.

“කොහොම හරි ජනාධිපතිතුමා රනිල් අගමැතිකමින් එළවලා දැම්මානේ. දැන් ඉතිං අරලියහ මන්දිරයෙන් එළවන එක ඊට වඩා අමාරුයි වගේ” රෝහිත කීවේය. “පිරිත් කියලා එළවන්න බැරි බූතයෝ ටිකක් තමයි දැන් එතැන ඉන්නේ. ජනබලයක් නැති තැනක මොකට එල්ලිලා ඉන්නවාද දන්නේ නෑ” තිලංග කීවේය. “ඕක ඉතින් රනිල්ට අලුත් දෙයක් නමෛයිනේ. දැන් පක්ෂ නායකත්වයේ අවුරුදු විසි ගාණක් එල්ලිලා ඉන්නේ. ඇතුළෙන් කොච්චර කැරලි ආවත් ඒකෙම එල්ලිලා ඉන්නවානේ” ප්‍රසන්න කීවේය. “රනිල් කොහොමත් නූල් සූත්තරවලට දක්ෂයිනේ. 19 වැනි සංශෝධනය අරගෙන ඇවිත් අගමැතිකමේ දිගටම ඉන්න ඕන කියලා තමයි හිතුවේ. හැබැයි ඉතිං මේ පාර නම් වැරදුණා” රෝහිත රනිල්ගේ චරිත ලක්ෂණ පැහැදිලි කරන්න විය.

සඳුදා සවස දෙකට පමණ රැස්වීම ආරම්භ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල මාර්ගය වසා දැමීමට සිදුව තිබුණි. ජනතාව අතරින් මහින්ද හා මෛත්‍රී පැමිණියේ එකටය. ඔවුන් දෙදෙනා එකට වාහන පෙළකින් පැමිණි අතර ඇතැම් මැති ඇමැතිවරු වේදිකාවට පැමිණ සිටියේ නැත. දුමින්ද දිසානායක ඒ අතර කැපී පෙනුණේය. ප්‍රසන්නත් වේදිකාවට පැමිණ නොසිටි අතර ඔහු වේදිකාවේ නැති බව දුටු මහින්ද එතැන සිටි සිය ‍ලේකම් උදිත ලොකුබණ්ඩාරට කතා කළේය. “ප්‍රසන්න කොහේද කියලා බලන්න. එයාට ස්ටේජ් එකට එන්න කියන්න” මහින්ද උදිතට කීවේය. ඒ අනුව උදිත ප්‍රසන්නට පණිවුඩයක් දුන්නේය. “නෑ මල්ලි, මම මෙතැන ඉන්නම්” වේදිකාවෙන් පහළ සිටි ප්‍රසන්න කීවේය. එහෙත් මහින්ද නැවත වරක් ප්‍රසන්නට පණිවුඩයක් යැවූ අතර ප්‍රසන්න පැමිණියේ ඉන් පසුවය. ප්‍රසන්න පැමිණ ටික වේලාවකින් එතැනින් පිටත්ව ගියේ මහින්ද සහ මෛත්‍රී සමග සිනාසෙමිනි.

වේදිකාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට වැඩි ඉඩක් ලැබි තිබුණ අතර ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය සිටියේ එතරම් හිත හොඳකින් නොවේ. රැස්වීම ඇමතූ මෛත්‍රී කීවේ කරූට සහ සජිත්ට අගමැති ධුරය භාරගන්නා ලෙස තමා කීවත් ඔවුන් රනිල්ට බියවූ බවය. මේ අතර මෛත්‍රී රනිල් ගැන සැර කතාවක් කීවේය. එම කතාව කියන විට මහින්ද එක් අතකින් තමන්ගේ මුහුණ වසාගත්තේ මෛත්‍රී කියූ සමනල් කතාව සැර වැඩි බව ඇඟවීමටය. මේ කතාව ගැන ජී.එල්. පීරිස් මෙන්ම දයාසිරි ජයසේකරත් සිටියේ වැඩි කැමැත්තකින් නොවේ. “සර් මේ වගේ දේවල් නොකිව්වනම් තමයි හොඳ” ඔවුන් දෙදෙනාම මෛත්‍රීට කතාවේ දැඩි බව සිහිපත් කර තිබුණේය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට නම් මෙම කතාව ගැන සිටියේ දැඩි ප්‍රීතියකින් යුතුවය. “ජනාධිපතිතුමාගේ කතාව නම් රනිල්ට ඇනපු ටොක්කක් වගෙයි. මේ අවුරුදු තුනේදී රට විනාශ වුණේ කොහොමද කියලා එතුමා හොඳට පැහැදිලි කළො” රෝහිත කීවේය.

“රනිල්ට විතරක් නමෛයි, ඒ වටේ ඉන්න අයටත් හොඳ ටොක්කක් ඇන්නා. ඔය රනිල්ගේ වටේ ඉන්න අය තමයි මේ රට විනාශ වුණ එකට වගකියන්න ඕන” තිලංග කීවේය. “අද නම් මිනිස්සු මාර සතුටෙන් හිටියේ. මම මිනිස්සුත් එක්ක හිටිය නිසා හොඳට දැක්කා මහින්ද මහත්තයා අගමැති වීමේ සතුට මිනිස්සු සමරන හැටි. මම හිතන්නේ පසුගිය අවුරුදු තුනටම හරියන්න මේ අය හිනාවුණා” ප්‍රසන්න කීවේය.

රතන හිමි සන්ධාන රැස්වීමට 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය බදාදා සවස පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මහින්ද අගමැති වුවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු ඇමැති ධුරවල දිවුරුම් දුන්නත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට තිත තබා තිබුණේ නැත. “අපිට බහුතරයක් ගැන ගැටලුවක් නෑ. ඕන තරම් කට්ටිය අපේ පැත්තට එන්න ලෑස්තියි” රෝහිත පැවැසුවේය.

මේ අතර සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මෛත්‍රීගේ හා මහින්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ගිය අයත් මේ රැස්වීමටත් පැමිණ සිටියහ. එම රැස්වීමේ විශේෂත්වය වූයේ එජාප පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමිද ආණ්ඩුවට සහය පළ කරමින් පැමිණ සිටීමය.

“එක්සත් ජාතික පක්ෂයේ සමනල් රෑන නොයෙක් කට කතා පතුරනවා. ඒවාට අහුවෙන්න එපා. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා කියපු කතාවත් ඒ අය පතුරපු කතාවක්. එහෙම කිසිම අදහසක් අපිට නෑ. අපිට බහුතරය තියෙනවා. ඒක අවශ්‍ය වෙලාවට පෙන්වීමට සූදානම්. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවාහරින්නේ නෑ. නියමිත කාලය දක්වා පාර්ලිමේන්තුව පවතීවි” මෛත්‍රී කීවේය. “දැන් උත්සාහ කරන්නේ අපිව භේද බින්න කරන්නයි. ඒවාට අහුවෙන්න එපා. අපේ සමගිය තියෙන තාක් කල් අපිව වට්ටන්න බෑ. ඒ නිසා හැමෝම කල්පනාවෙන් වැඩ කරන්න. උගුල්වලට අහුවෙන්න එපා” මහින්ද අවවාද කළේය.

මෙම සාකච්ඡාවට එන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් කථානායක කරු ජයසූරිය හමුවී තිබුණහ. “අපි අද උදේ කථානායකතුමා හමුවුණා. එතුමා උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුව කැඳවන දවසට ඡන්දයක් තියන්න. හැබැයි එහෙම ප්‍රතිපාදන නෑ. අපි ඒක තේරුම් කළා. නිලධාරීන් පවා තත්ත්වය තේරුම් ගත්තා. කථානායකතුමාට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්” හිටපු නියෝජ්‍ය කථානායක තිලංග පැහැදිලි කළේය.

“මොකක්ද ඒ ප්‍රශ්නය” මෛත්‍රී ඇසුවේය. “කථානායකතුමා බලන්නේ මේ වෙලාවේ අල්ලාගෙන ඉඳලා කොහොම හරි පක්ෂයේ ස්ථාවරයක් හදාගන්න. ඒ බව අපිට පේනවා” තිලංග කීවේය. “කථානායකතුමාට ඕන දෙයක් කරගන්න කියමු. අපි දැන් අපේ රට හදන වැඩේට බහිමු” අනුර යාපා කීය. “ඒක ඇත්ත. එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්න දේවල්වලට අපි ඉඩ දෙන්න හොඳ නෑ” සුසිල් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි පෙන්වන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබියදී කරු නිල නොවන පක්ෂ නායක රැස්වීමක් කැඳවූවේය. එයට පක්ෂ නායක රැස්වීමට සාමාන්‍යයෙන් සහභාගී වන මැති ඇමැතිවරු මෙන්ම අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිපදෙනෙක් සහභාගී වී සිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ සිටියේ එකම මතයකය. ඒ පාර්ලිමේන්තුව කැඳවන දිනයේදී බහුතරයක් ඇති අගමැතිවරයා කවුරුන්දැයි සොයා බැලීමටය.

“එදාට ඡන්දයක් තියන්න ඕන නෑ. එහෙම ප්‍රතිපාදන නෑ” මහින්දගේ නියෝජිතයෝ පැවැසූහ. “ස්ථාවර නියෝග අත්හිටුවලා ඡන්දයකට යන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද කියලා බලාගන්න පුළුවන්” එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ පැවැසූහ. “මට කටයුතු කරන්න වෙලා තියෙන්නේ නීතිය හා සාධාරණත්වය අනුවයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන්නේ කාටද කියලා ඡන්දයකින් බලමු” කරුත් යෝජනා කළේය

“ඔබතුමා මේ ක්‍රියාත්මක කරන්නේ සිරිකොතේ තීන්දු. මේක පාර්ලිමේන්තුව.  එහෙම වැඩ කරන්න එපා” වාසු කීවේ ආවේගාත්මකවය. එවිට අනෙක් පාර්ශ්වයෙන්ද දැඩි වචන හුවමාරු  වූ අතර සාකච්ඡාව අවසන් වූයේ ඝෝෂාවකිනි.

විමල් - මහින්ද ගැටුමක

විමල් වීරවංශ මන්ත්‍රීවරයා නිවාස ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ සිකුරාදා උදෑසනය. දිවුරුම් දුන් ඔහු පැමිණියේ අගමැති ‍ලේකම් කාර්යාලයටය. ඒ වන විට මහින්ද සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡා කරමින්ය. “ඔන්න මම ඔබතුමා කිව්ව නිසා ඇමැති ධුරයේ දිවුරුම් දුන්නා” විමල් කීවේය.

“ඔයා ඉතිං මාත් එක්ක ඊයේත් රණ්ඩු වුණානේ. එහෙම රණ්ඩුවෙලා නේ ගිහින් මේ ඇමැතිකමේ දිවුරුම් දුන්නේ” මහින්ද කීවේ විමල් දෙස බලා සිනාසෙමිනි. “මොකද ඒ රණ්ඩුවුණේ” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙක් ඇසුවේය.

“දන්නේ නැද්ද. මෙයා මාත් එක්ක ‍පොඩි දේකට රණ්ඩුවුණා. ඒත් ඉතිං විමල් කරගෙන යන වැඩ ටික නතර කරන්නේ නැතිව කරගෙන යන්න ඕන” මහින්ද කියන විට විමල් සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නැත.

මේ අතර ඒකාබද්ධයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨයන් ඇමැති ධුර භාර ගත්තද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවේ තමාට රෙදි ඇඳගෙන මේ ආණ්ඩුවේ ඇමැති ධුර ලබාගත නොහැකි බවය. මහින්දට අගමැති ධුරය ලැබිම ගැන ඔහු සතුටු වුවද ඔහු පවසන්නේ ජනපතිවරයා ප්‍රධානත්වය දරන කිසිදු රැස්වීමකට තමා නොයන බවය. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පමණක් දැඩිව කරන ප්‍රකාශ ගැන ප්‍රතිචාර නොදක්වන ලෙස අගමැතිවරයා ‍පොහොට්ටුවේ මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබුණේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 November 2018 00:20