April 27, 2024

‘වික‍්‍රමසිංහ නමැති පිළිකාව’ දේශපාලන පිටියෙන් කපා ඉවත් කිරීමට ජනපති ගත් එඩිතර තීන්දුවට විමල්ගෙන් තුති

November 06, 2018

රටම වෙළාගත් වික‍්‍රමසිංහ නැමැති මාරාන්තික පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන් සහ මුළුමහත් රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කිරීමට එඩිතර තීන්දුවක් ගත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ සුජාත  පුතුන් වෙනුවෙන් තුති පුදන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

 ඊයේ (05) පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘රට රකින ජන මහිමය’ මහා ජන රැලිය අමතමින් එ් මහතා මෙසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘ අද පාර්ලිමේන්තු වට රවුමට මේ ජන ගංගාව ආවේ මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා - මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු ‘මේ මහා ජන බලවේගයට’ බව ඔප්පු කරලා පෙන්වන්නයි. මේ රටේ මුළුමහත් රාජ්‍ය දේහය පිළිකාවකට ලක් වෙලයි තිබුණේ. එ්  පිළිකාව තමයි, රනිල් වික‍්‍රමසිංහ නමැති පිළිකාව. මේ රටේ සංස්කෘතිය, ඉතිහාසය නොදන්නා, මේ රටේ අනන්‍යතාවට ගරු නොකරන, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගැන නොසිතන, විජාතිකයන් පමණක් පිනවන එයා මාරාන්තික පිළිකාවක්.  එ් මාරාන්තික පිළිකාව කපා ඉවත් කරන්න හැමෝටම බැහැ. එ්කට විශේෂඥ වෛද්‍යවරයකු අවශ්‍ය වෙනවා. මහජනතාව නැමැති විශේෂඥ වෛද්‍යවරයාට අවස්ථාව එනකම් බලා සිටියහොත් මේ මව් පොළොව ඇතුළු රාජ්‍ය දේහයම ඊට කලින් මියැදෙනවා.

‘වික‍්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කිරීම’

මේ රටේ ආර්ථිකය විජාතිකකරණය වීම, රාජ්‍ය සම්පත් කුණු කොල්ලෙට විකුණන් කෑම, රුපියල දවසින් දවස කඩා වැටෙන යුගය නවත්තන්න සහ ජාතික ආර්ථික දේහය ශක්තිමත් කරන්න, බැංකු පොලී අනුපාතය පහළ දමා බදු සහන දෙන, මේ රටේ ජනතාවගේ අතමිට සරු කරන යුගයක් ඇති කරන්න එ් වික‍්‍රමසිංහ නමැති පිළිකාව කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මය කරන්නට  ඕනෙ.

 ‘එක රටක සතුටින් ජීවත් වෙන්න...’

එ් විතරක් නෙවෙයි බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමන යුගය, රණවිරුවන් දඩයම් කරන යුගය නතර කරන්න, හමුදාව දුර්වල කරන යුගය නවතා ජාතික ආරක්ෂාවට පණ දෙන්න, උතුර අස්ථාවර කිරීම නවත්තන්න, සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැමට එක රටක සතුටින් සමගියෙන් ජීවත් විය හැකි යුගයක් හදන්න මේ වික‍්‍රමසිංහ නමැති පිළිකාව නසන්න  ඕනේ. එ් වගේම අපේ තරුණ පරම්පරාව ශීඝ‍්‍රයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වන්න, පාතාල අපරාධ දිනෙන් දින වැඩිවීම නතර කරන්න, පුරාවිද්‍යා උරුමයන්, සංස්කෘතික උරුමයන් රකින්න මේ පිළිකාව නසන්න  ඕනෙ. ඒ විතරක් ද, ප‍්‍රජාතන්ත‍්‍ර වාදය ආරක්ෂාකර ගන්න, මැතිවරණ කල් දමලා මැතිවරණ සිතියම හකුළා තිබෙන තත්වය වෙනස්කර ගන්න වික‍්‍රමසිංහ නමැති පිළිකාව නසන්න  ඕනෙ. 

‘නල්ලමලේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කරුවන්’

ඔන්න මේ දවස්වල ‘නල්ලමලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කරුවන්’ ටිකක් එළියට බැහැලා. දැන් රතු අලි පැටියා කියනවා, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න එන්න’ කියලා. පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණ කල් දමන කොට රතු අලි පැටියා සහ මේ එන්.ජී. ඕ බත් බැලයන් කීවා ද,‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න නුගේගොඩට එන්න’ කියලා. මේ රතු අලි පැටියා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කියන්නේ රනිල්ට. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න එන්න’ කියන්නේ ‘රනිල් රකින්න එන්න’ කියන එකයි. අද මෙයාලා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කියන වචනය ගණිකා වෘත්තියේ යොදවනවා.

‘රනිල් හාමු රකින සටන’

අරලියගහ මන්දිරයේ ලැගගෙන ඉන්න රනිල් වික‍්‍රමසිංහ කියනවා, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින සටන ජවිපෙ නුගේගොඩින් පටන් ගත්තා’ කියලා. ඔන්න දැන් ඉතාම පැහැදිලියි, මේ ජවිපෙ බත්බැලයන් සහ එන්.ජී. ඕ පප්පලා නුගේගොඩින් ඇරඹුවේ ‘රනිල් හාමු රකින සටන’ කියලා. (ජනතාවගේ හූ හඬ* මේ විපත්තිදායක ගමන නවත්තන්න නම් වික‍්‍රමසිංහ නැමැති පිළිකාව ශල්‍යකර්මයක් කරලා ඉවත් කළ යුතුවම තිබුණා. ජන්දය එන තෙක් එ් ශල්‍යකර්මය අපට, ඔබලාට කරන්න බැහැ. එ් ශල්‍යකර්මය කළ හැකි එකම විශේෂඥ වෛද්‍යවරයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා බාරගත්තා ඒ ශල්‍යකර්මය සිදු කරන්න. පසුගිය 26 වැනිදා සවස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එ් මාරාන්තික පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන්, රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කර දමනු ලැබුවා. (ජනතාවගේ අත්පොළසන්* විදේශ බලවතුන් පිනවූ, මේ රටට රැුහැනි පිළිකාවයි එසේ ව්‍යවස්ථානුකූලව කපා ඉවත් කරනු ලැබුවේ.

‘කථානායක කරු - කම් කරු’

අපි පාර්ලිමේන්තු වටරවුමට එනකොට කථානායක කරු ජයසූරිය මහත්තයා එයාගේ බංගලාව දාලා ගිහිල්ලා. දැන් එයා කියනවා, ‘113 පෙන්වන තෙක් මට පිළිගැනීමට වන්නේ පැවති තත්වයයි’ කියලා. ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ, අගමැති පත් කිරීමේදී කතානායකට 113 පෙන්විය යුතුයි කියලා. රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව ක‍්‍රියාකර තිබෙනවා නම් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ ? එක් නීතීඥවරයකු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසන් කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. දැන් එහි තීන්දුව ලැබී තිබෙනවා. එමගින් කියැවෙන්නේ ‘පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් කිසිවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නැත’ කියලයි. එ් නිසා ‘කථානායක කරුට’ තිබෙන්නේ ‘විල්සන් කරු’ වෙලා අන්තිමේදී ‘කම්-කරු’ නොවී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අහන්නයි ‘ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි ද? නැද්ද?’ කියලා. එ්ක නොකර දැන් මේ කථානායක කරු හදන්නේ ‘රෝස වසන්තයකට’ මග පාදන්න.

‘රනිල් ගල් යුගය අවසන් වෙනවාට බයයි’

කථානායකවරයකු ස්වාධීන විය යුතුයි. මීට ඉහත දී කතා කළ විජමු ලොකුබණ්ඩාර හිටපු කථානායකතුමන් එදා පාර්ලිමේන්තුව තුළ මොනතරම් ගැටුම් පැනනැගුනත් ස්වාධීනව කටයුතු කළ ආකාරය අපට මතකයි. නමුත් මේ කරුට උවමනා විල්සන් කරු වෙලා හරි රනිල් වික‍්‍රමසිංහට අගමැති පට්ටම බේරලා දෙන්න. රනිල් වික‍්‍රමසිංහ මේ පට්ටම දාලා යන්න සූදානම් නැහැ. සමනල පැටව් ටිකත්  වටකරගෙන පුටුවේ ඉන්නම තමයි හදන්නේ. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ එ් ‘ගල් යුගය’ අවසන් වෙනවාට බයයි.

‘මේ දේශපාලන කුපාඩිකමට ඉඩ දෙන්නේ නැහැ’

එදා මන්ත‍්‍රී ධුර 42ක් තිබුණු රනිල් වික‍්‍රමසිංහව අගමැති පුටුවට පත් කරනකොට කරු කොහෙද හිටියේ ? මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 09 වැනිදා රනිල් අගමැති කළේ දි. මු. ජයරත්න මැතිතුමා අගමැති පුටුවේ සිටියදීමයි. එදා මේ කරු විතරක් නෙවෙයි, ජවිපෙ රතු අලි පැටියා, එන්.ජී. ඕ පප්පලා, බටහිර තානාපති කාර්යාල නිහඬයි. එදා එ්ක නීත්‍යනුකූලයි. අද මේක ව්‍යවස්ථා විරෝධීයි. මේ හදන්නේ නීතිය කඩලා ගැටුමක් හදන්න. නමුත් හොඳට මතක තියාගන්න, එ් දේශපාලන කුපාඩිකම කරන්න මේ රටේ ජනතාව ඉඩ නොදෙන බව. තානාපති කාර්යාලවලට මේ රටේ ඉරණම තීරණය කරන්න බැහැ. මේ රටේ ඉරණම තීරණය කරන්නේ පරමාධිපත්‍ය බලය හිමි මේ රටේ ජනතාවයි. එ් නිසා මේ ගත්තු ජයග‍්‍රාහී තීරණය ඉදිරියේ විජයග‍්‍රහණයකින් කෙළවර වන බව ඉතා පැහැදිලියි. හෙට වන විට අපේ පිල 108 පනිනවා. අනිද්දා වන විට 113 පනිනවා. අවසානයේදී මේක 120 - 125 වෙලයි නතර වෙන්නේ. එතකොට ඉතින් කරු, කම්කරු වෙලා තියේවි.

‘තීන්දුවට පණ ලැබුණු හැටි’

අපි කරු ජයසූරිය කථානායකවරයාට කියනවා, ‘මේ රටේ මූලික නීතියට පිටුපා කටයුතුකර  රාජ්‍යතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයක කොටස්කරුවකු වෙන්න එපාෟ. කියලා. මේ ජනාධිපතිවරයා ගත්තු එඩිතර තීන්දුවට පණ ලැබුණේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ බලය එයට තිබෙන නිසයි. බටහිර තානාපති කාර්යාල කිහිිපයක සහාය නැති වුණාට අපට ලක්ෂ සංඛ්‍යාත බහුතර ජනතාවගේ සහයෝගය තිබෙන බව කිසිවකුත් කිසිවිටකත් අමතක නොකළ යුතුයි.

‘ස්වදේශික ජනයාට යළි හිමි තැන’

කරු ජයසූරිය - සිරිකොතේ කතානායක, අපේ අගමැති මහින්ද රාජපක්ෂයන් පිළිනොගත්තාට, මේ රටේ මහා නායක ස්වාමින්වහන්සේලා, කාදිනල්තුමන්, අන්‍යාගමික පූජකතුමන්ලා, දසලක්ෂ සංඛ්‍යාත ජනතාව ‘අපේ අගමැති - රටේ අගමැති’ ලෙස පිළිගන්නවා. එ් නිසා අපට ඉතා පැහැදිලියි, මේ රටේ දේශපාලන පරිවර්තනයකට මුලපුරා ඇති බව. තමන්ට අහිමි වෙමින් තිබූ ජාතික රාජ්‍යය, නැවත ස්වදේශික ජනතාව සතුකර දීමේ ගමනයි මේ ඇරඹෙන්නේ්. ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයා, අද මේ රටේ මුදල් ඇමතිවරයා වෙලා ඉන්නවා. ජනපති - අගමැති එකමුතුවෙන් මේ රටේ ජාතික ආර්ථිකයට යළි පණ එනවා. අසීමිත බදු බර ඉවත් වෙනවා. දේශීය නිෂ්පාදකයාට තැනක් ලැබෙනවා. ස්වදේශික ජනයාට මේ රට තුළ අහිමි කරන ලද ස්ථානය යළි ලබා දෙන කාලය එළඹෙනවා.

‘නොගැලපෙන කසාදය’

මට පුදුම හිතෙනවා, ‘මේ කුරුඳුවත්තේ ලන්සි පැපොල් ගෙඩිය එක්ක ජනාධිපතිතුමා අවුරුදු තුනහමාරක් කොහොම හිටියා ද?’ කියලා. අපි දැනගෙන හිටියා මේ කසාදය වැඩි කලක් තියෙන එකක් නොවෙයි කියලා. මේක හරියට ’පොලොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමා, කුරුඳුවත්තෙන් කසාදයක් කර ගත්තා’ වගේ දෙයක්. එවැනි කසාද වැඩිකල් තියෙන්නේ නැහැ. එ් නිසා ඉවත්වීමේ තීන්දුව ගන්න අවස්ථාව ආවා. අපි සුබ පතනවා, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට අවුරුදු තුනහමාරකට පසුව හරි මේ එඩිතර තිීන්දුව ගත්තු එක ගැන. දැන් බලයි මේ එකමුතුව කඩන්න. නමුත් එ්ක ලේසි වෙන්නේ නැහැ. අපි දැන් අමාරුම පිම්ම පැනලා ඉවරයි. දැන් තිබෙන්නේ ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත් විය හැකියි යුගය අරඹන එක. එ් සඳහා රොද බැඳ ගනිමු.

Rate this item
(0 votes)