April 28, 2024

කරළියෙන් එහා: මෛත්‍රීගේ ආණ්ඩු පෙරළියේ රහස්! අරලියගහ මැදුරේ ‘යාග හෝම‘ කරන එජාප මන්ත්‍රීවරු

November 03, 2018

පසුගිය 26වෙනිදා සිදුවූයේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ දේශපාලන ආන්දෝලනයකි. මේ සිදුවීමත් සමඟම මුළු දේශපාලනයම කණපිට හැරවී තිබිණි. ලඟම සිටින පුද්ගලයින්ටද නොදැනුවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ පෙරළිය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද සසල වී ගොස් තිබිණ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ජනතාවද දින කිහිපයක් ගියද සිදුවූ බලපෙරළිය ගැන සිහිනයක්ද යන්න වටහා ගැනීමට නොහැකිව සිටිනි. කෙසේ වෙතත් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් වෙනස් වූ දේශපාලන බල පෙරළිය මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. මේ වන විට ආණ්ඩු පක්ෂය බවට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ බහුතරය පෙන්වීම සඳහා කටයුතු කරමින් සිටී. එක්සත් ජාතික පෙරමුණද සිය බහුතරය පෙන්වීම සඳහා දන්නා උප්පරවැට්ටි සියල්ලම දමමින් තිබුණද මේවන විට ඔවුන්ට බහුතර බලය පෙන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඒකාබද්ධ පිරිසට කියා තිබුණේ බහුතර බලය ගැන සැකයක් කිසිවිටකත් තබා නොගන්නා ලෙසත්, ලැබූ වෙනසත් සමඟ රට වෙනුවෙන් වැඩකරන ලෙසත්ය.

එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රිවරු දිනෙන් දිනම ඇමැතිකම් ලබාගනිමින් මෛත්‍රි සහ මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණ තිබේ. එහෙත් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි තත්ත්වය එසේ තිබියදී සිදුවූ දේශපාලන බල පෙරළිය ගැන කතා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය බදාදා ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවිය. කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්විණි. 'තමුන්නාන්සේලා කලබල වෙන්න ඇති මම මේ ගත්ත තීරණය ගැන. මට ආරංචි වුණා සමහරු තැන් තැන්වල මේ ගැන කතා කරලා තියෙනවා කියලා. මම ඒ ගැන කියන්න තමයි තමුන්නාන්සේලාට එන්න කිව්වේ. මම මේ තීරණය ගත්තෙ බොහොම ඉවසලා බැරිම තැන. ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වුණේ. 6 වැනිදා මට එජාපයේ කට්ටියගෙන් ලියුමක් එනවා ජනාධිපති ලෙස මාව පත් වුණාට පස්සෙ, පහුවදාම විධායක බලතල සියල්ල අගමැතිතුමාට පවරන්න කියලා. මම රතන හාමුදුරුවොයි, පාඨලී, රාජිතයි ගෙනැල්ලා මේ ගැන කිව්වා. පස්සෙ මම ලියුමක් යැව්වා එහෙම බලතල පැවැරීමක් කරන්න බෑ. මම රනිල් වික්‍රමසිංහව අගමැති කරනවා කියලා. ඒ වගේම මම ඉන්නකන් බලය බෙදා හැරීම කවදාවත් වෙන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තරය අල්ලාගෙන කුමන්ත්‍රණයකින් හරි ආයෙ අගමැති වුණොත් මම එක මොහොතක් මේ පුටුවෙ ඉන්නෙ නෑ. මම ජනතාව එක්ක පාරට බහිනවා.' යැයි මෛත්‍රි කීවේය.

මෛත්‍රීට හතර වටින් හොඳ කියයි

මේ අවස්ථාවේ සංවිධායකවරුන් බොහෝ දෙනකු ජනාධිපතිවරයා ගත් තීන්දුවට ස්තුති කළේය. ඒ අතරවාරයේ දයාසිරි ජයසේකර මහතා නැඟී සිටියේය. 'මේ තීරණය ගැන ඔබතුමාට ස්තුති කරන්න ඕනේ. නිවැරැදි දේ වුණා. මොකද අපේ බොහෝ සංවිධායකයො මේ ප්‍රශ්නය නිසා කකුල් දෙක දෙපැත්තක තියාගෙන හිටියේ යැයි ජයසේකර මන්ත්‍රිවරයා කියනවාත් සමඟ සංවිධායකවරුන් බොහෝ දෙනකු දයාසිරි සමඟ ඇවිළෙන්නට පටන් ගත්හ. 'අපි කවුරුත් නම් එහෙම හිටියේ නෑ. තමුන්නාන්සෙ තමයි කකුල් දෙක දෙපැත්තටම තියාගෙන හිටියේ' සංවිධායකවරුන් කිහිපදෙනෙක් විරෝධය දක්වමින් පැවැසූහ.
අනතුරුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය. 'දැන් යූඑන්පීය කියනවා කොළඹට සෙනඟ ගෙනැල්ලා ලොකු විරෝධයක් තිබුණා කියලා. ඒ විරෝධයට ඇවිල්ල තියෙන්නෙ විසිදාහයි. ඒකෙනුත් අරලියගහ මන්දිරය ළඟට ඇවිල්ලා තියෙන්නේ 700යි. සෙනඟ ගෙනැල්ලා මේවා කරන්න බෑ. අපිටත් පුළුවන් සෙනඟ පෙන්වන්න. මෛත්‍රී තරමක් කේන්තියෙන් කීවේය.

මේ අතර ජනාධිපතිවරයාගේ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්විය. එහිදීද ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය ගැනද කතාබහ කළේය. දැන් වුණත් යූඑන්පී එකෙන් එන්න ඕන තරම් ඉන්නවා. අපේ අය ඉවසනවානම්. ඒ අයට ඇමැතිකම් දෙන්න පුළුවන්. 'අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා ගත් මේ අභීත ක්‍රියාව ගැන' තිලංග කීවේය. 'ඔව්, ඒක ඇත්ත අපි මේ වෙලාවේ පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕන' සරත් ඒකනායක කීවේය. අනතුරුව තිබුණු තත්ත්වය ජනාධිපතිවරයා පොළොන්නරුව බලා පිටත්ව ගියේ විශේෂ ආගමික කටයුතු සහ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවේය.

මෛත්‍රී - මහින්ද තිස්ස විහාරයේ

තිස්ස මහ සෑ රදුන් අබියස පිහිටි සඳගිරිගොඩ වෙල්යායේ පැවැති ජාතික වප්මඟුල් උත්සවය පසුගිය සඳුදා පැවැත්වුණේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය වීරවිල ගුවන් හමුදා කඳවුරට ගොඩබස්වන ලද අතර, මෛත්‍රි සමඟ එම ගුවන්යානයේම කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරද පැමිණියේය. මෛත්‍රි පළමුව තිස්ස විහාරයට ගොස් ආගමික වතාවත්වල යෙදුණු අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්වී සිටීම විශේෂත්වයක් විය. ඉන් අනතුරුව මෛත්‍රි අසලට පැමිණි මහින්ද තමාට අගමැති තනතුරේ වැඩභාර ගැනීම සඳහා කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බැව් පවසමින් ඉන් නික්මුණේ ජනපති මෛත්‍රිගේද ආශීර්වාදය ලබාගනිමිනි. ඉන් අනතුරුව වප්මඟුල් උළෙලේ ආරම්භය සංකේවත් කරමින් ඒ සඳහා නිර්මාණය කළ විශේෂ ගොවි ඇඳුමක්ද ඇඳගත් මෛත්‍රි ඇතුළු පිරිස තිස්ස සෑ රදුන් අබියස වෙල්යායේ උත්සව භූමියට පැමිණියේ සුපුරුදු ගොවියන් ලෙසිනි. එහි සිටි පිරිස අතරින් මහ ඇමැති ෂාන් සුදු ඇඳුමකින් සැරසී සිටිනු දුටු මෛත්‍රි මහින්ද අමරවීරගෙන් විමසා සිටියේ මොකද මේ මහ ඇමැතිතුමාට විතරක් වෙන ඇඳුමක් කියායි. "නෑ සර්, මහ ඇමැතිතුමාට සරමක් විතරයි දුන්නේ ටී ෂර්ට් එකේ සයිස් එක හරියන් නෑ ඒකයි" අමරවීර කීවේ සිනාසෙමිනි. "හා, හා, හරි හරි, ෂාන්ට ඉතින් අපි වගේ ඕනම ඇඳුමක් ඇඟට හරියන්නේ නෑ නේද කියා අසමින් "කෝ අපේ දකුණේ මහ ගොවියා චමල්" ජනපති චමල් රාජපක්ෂ හෙව්වේ ඔහු කුඹුරේ නොසිටි නිසාවෙනි. ඒ වනවිටත් චමල් වේදිකාවට ගොස් සිටියේය.

කුඹුරේ චාරිත්‍ර සියල්ල ඉටුකොට පිරිස නික්මුණේ උත්සව සභාව සූදානම් කර තිබූ විශේෂ පීඨිකාව වෙතයි. ජනපති මෛත්‍රි අසුන්ගත් ආසනය දෙපසින් චමල් රාජපක්ෂත් මහින්ද අමරවීරත් අසුන්ගත් අතර මහින්ද අරමවීරගේ අසුන අසලින් මහඇමැති ෂාන්ගේ ආසනය පනවා තිබිණි. උත්සවයේ පිළිගැනීමේ කතාව මහින්ද අමරවීර මහතා සිදුකළ අතර ඒ සඳහා ඔහුට ආරාධනා කර සිටියේ හිටපු කෘෂිකර්ම ඇමැති වශයෙනි. මහින්ද අමරවීර පිළිගැනීමේ කතාව කරන අතරතුර ජනපති මෛත්‍රි අතින් සංඥා කරමින් මහ ඇමැති ෂාන්ට තමන් අසලට එන ලෙස කීය. ක්ෂණයකින් ජනපති අසලට පැමිණි ෂාන්ගෙන් මෛත්‍රි විමසා සිටියේ "කොහොමද ෂාන් අලුත් දේශපාලන තත්ත්වය, මොනවද මිනිස්සු කියන්නේ?" කියාය. "සර් මෙහෙමයි? ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි පහුවෙලා හරි සිද්ද වුණේ. “මාත් එක්ක කතා කරපු හැම දෙනෙක්ම වගේ සර් ගත්ත ක්‍රියාමාර්ග අනුමත කරලා තමයි කතා කළේ සර්" කීවේය. මෙහෙමයි ෂාන් මට අවුරුදු ගාණක් බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන තමයි මේ තීරණය ගත්තේ. මගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් ගැන හිතලා අන්තිමටම මම හිතුවා මහින්දව අගමැති කරන්න" මෛත්‍රි කියූ විට ෂාන් කීවේ "සර් ඒක මේ වෙලාවේ කරපු හොඳම දේ. අනිත් එක තමයි සරත් ෆොන්සේකාට සර් වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න බැරි නම් කා එක්කද ඉන්න පුළුවන්" යැයි ෂාන් කීවේය. ඊට මෛත්‍රි හිනාවුණා මිස කිසිවක් කීවේ නැත. අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමැතීය. "උත්සව සභාවේ නිවේදකයා අපේ මහින්ද අමරවීර මහත්තයාව හැඳින්වූයේ හිටපු කෘෂිකර්ම ඇමැති වශයෙන් නමුත් ඔහු ඉදිරියටත් කෘෂිකර්ම ඇමැති තමයි" මෛත්‍රි කීවේය. නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟින් කෘෂිකර්මාන්තයේ දියුණුව පිණිස රටේ විප්ලවීය වෙනසක් සිදුකරන බව මෙහිදී ප්‍රකාශ කළ මෛත්‍රි උත්සව සභාව අවසානයේ ගෙවිලියන්ගේ ඇඹුල භුක්ති විඳිමින් කොළඹ බලා පිටත් විය.

ජනපතිගේ පෙරළියෙන් සහන මල්ලක්

මුදල් අමාත්‍යවරයා ලෙස බදාදා වැඩ භාරගත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා වන විට ඉන්ධන මිල සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ බැස්සවූ අතර බදු සංශෝධනයක්ද කළේ රටේ ජනතාවට මහත් බරක්ව පැවැති ඉන්ධන මිල රුපියල් 10කින් අඩුකරමින් වීම එහිදී කැපි පෙනුණි. ඊට අමතරව ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන බදු කිහිපයක්ම අඩු කළේය. ඒ විතරක් නොව පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රයද අහෝසි කළේය. මේ අතර නව අගමැතිවරයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හමුවූයේ අගමැති කාර්යාලයේදීය. එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආර්ථිකය ජයගත හැකිද යන්න අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. "මාස හයක් වගේ කෙටි කාලයකින් සහන දීල මැජික් පෙන්වන්න මම ගෝගියා පාෂා නොවෙයි. නමුත් මට යම් දුරකට ඒ චරිතය ක්‍රියාත්මක කරන්නත් වේවි. විශාල සහනයක් දෙන්න බැරි වුණත් ජනතාවට සහන දෙනවා. ඉතා පැහැදිලිවම විදේශීයකරණ වැඩපිළිවෙළින් රට මුදා ගන්නවා" අගමැතිවරයා කීවේය.
කථානායකවරයාගේ වත්මන් භූමිකාව ගැනද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහින්දගෙන් විමසීය. “මට පේන විදියට කථානායකතුමා තමන්ට ලැබුණු බලය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒක ඔහුට හා තනතුරට හොඳ නෑ. මේ වෙනකම් සිදුවූ සියලුම දේවල් සිදු වුණෙත් නීත්‍යනුකූලවයි. මේ දක්වා නීතියට පිටින් කිසිම දෙයක් වෙලා නෑ." මහින්ද කීවේය. මේ අතර නව අගමැතිවරයා සිකුරාදා පෙරවරුවේ කතරගම කිරිවෙහෙර වැඳපුදා ගැනීම සඳහා පිටත්ව ගියේය. අනතුරුව කතරගම මහා දේවාලයේ විශේෂ ආශීර්වාද පූජාවකටද අගමතිවරයා එක්විය.

රනිල් ගෝඨා හමුවෙයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පසුගිය බ්‍රහස්පතින්දා ගියේය. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙසය. වික්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කර ඇති බවට පළවන වැරැදි ප්‍රචාර ගැන මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විමසා තිබේ. ඊට අමතරව ඔහුගේ ආරක්‍ෂාව සහ අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වූ ආරක්‍ෂක පියවරයන් ගැනද ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ඔහු හමුවීමට ගොස් තිබේ.

ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු අගමැති ධුරයේ දිවුරුම්දීමට සැලැස්වීම මීට පෙර කිසිදු ආණ්ඩුවක් යටතේ සිදූ නොවූවකි. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ විරුද්ධවාදියා වූ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදීමත් සමඟ දේශපාලන අර්බුදයක් පැන නැගෙමින් තිබුණි. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේද විශේෂ අවධානයක් යොමු විය. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් දේශපාලන මණ්ඩලයේ සියලූ සාමාජිකයින් වෙත හදිසි දැනුම්දීමක් සිදුකළේය. සිදුවූ ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් සහ රටේ ඇතිවිය හැකි දේශපාලන අර්බුදයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට සෙනසුරාදා (27) පෙරවරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබිණි.
එම දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදීය. කලින් යොදාගෙන තිබූ සියලූ වැඩ අවලංගු කර ජවිපෙ නායකයෝ ප‍්‍රධාන කාර්යාලයට රැුස් වූහ. ”මේ සිදුවෙලා තියෙන්නේ දේශපාලන ඉතිහාසයේ බරපතළ සදාචාර විරෝධී ක‍්‍රියාවක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩක්. මේ දෙගොල්ල එකම කණ්ඩයමේ කොටස් දෙකක් තමයි. නමුත් මේක රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවෙන මරු පහරක්. ඒ නිසාම අපි මේකට මැදිහත්වෙලා කටයුතු කිරීම කළ යුතුයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවත් කල් තබා තියෙනවා. වීරයා වගේ තීරණ අරගෙන දැන් පූස පැටවෙක් වගේ දොර මුල්ලේ හැංගෙනවා. පාර්ලිමේන්තුව කල් තියන්නේ මොකටද බහුතරය තමන්ට තිබෙනවනම්. අත්තනෝමතිකව තීරණ අරගෙන ජනතා නියෝජිතයින් ලෙස අපිට අදහස් දක්වන්න තිබෙන පාර්ලිමේන්තුවේ දොර වහනවා.” අනුර දිසානායක කියා සිටියේය.


”කොහොම වුනත් අපි මේ එක පැත්තකටවත් සහය පළකිරීමෙන් වැළකී ඉන්න ඕනෑ. මේ බල සූදුව ඒ ගොල්ලන්ගේ ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩු පෙරළියෙන් ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. රනිල් අගමැති වෙලා හිටියත්, රනිල්ගේ අගමැතිකම මහින්දට ලැබුණත් රටේ ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට, සමාජීය අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. බඩු මිල, තෙල් මිල අඩුවෙන්නේ නැහැ.” ලාල්කාන්ත කියා සිටියේය. ”මේක රනිල්, මෛත‍්‍රී, මහින්දගේ බල සූදුවක්. රනිල් මෛත‍්‍රී එකතු වෙලා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළා. රනිල් හිතුවේ මෛත‍්‍රී මහින්ද බෙදලා තියාගෙන තමන්ගේ බලය වැඩිකරගන්න. මෛත‍්‍රී හිතුවේ පරණ හොරුන්ගේ, අලූත් හොරුන්ගෙ ෆයිල් ටික අතේ තියාගෙන තමන්ගෙ බලය වැඩි කරගන්න. මහින්දලා හිතුවේ කොහොම හරි තමන්ගේ වංචා දූෂණ, ඝාතන යටගහ ගන්න ක‍්‍රමයක්. මේ කවුරුවත් රට ගැනවත් ජනතාවගේ ප‍්‍රශ්න ගැනවත් හිතපු අය නෙවෙයි.” විජිත හේරත් කියා සිටියේය. ”දැන් වැදගත් වෙන්නේ ලක්ෂ 62ක් ඡුන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් ගැනයි. ඒක රනිල් මෛත‍්‍රී නියෝජනය කළේ නැහැ. දැන් මෛත‍්‍රී ලක්ෂ 62 පාවාදුන්නා. ඒ ජනතාව නියෝජනය කරන්න පුළුවන් ජවිපෙට පමණයි. එනිසා අපි ක‍්‍රියාමාර්ග ගත යුත්තේ මේ බල සූදූවට එරෙහිව ගොඩනගන ජනතා බලවේගයක් දෙසටයි.” අනුර දිසානායක යෝජනා කළේය. පසුව ජවිපෙ දේශපාලන මණ්ඩලය දිස්ත‍්‍රික් සංවිධායකවරුන් කැඳවා විශේෂ සාකච්ඡුාවක් ඉරිදා දිනයේදී (28) පැවැත්වීය.
එම දිස්ත‍්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නත් සියලූ ප‍්‍රගතිශීලි බලවේග එක් තැනකට රැස්කිරීමේ පියවරයක් ලෙසත් කොළඹදී ජනතා රැලියක් පැවැත්වීමට තීරණය විය. ඒ සඳහා එකතු කළ හැකි සියලූ සිවිල් සංවිධාන, සිවිල් බුද්ධමතුන්, කලාකරුවන් සියලූ දෙනාට ආරාධනා කිරීමටද තීරණය විය. ඒ අනුව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලය ගොඩනගමු‘ යන තේමාව යටතේ නුගේගොඩදී 01වැනිදා පස්වරුවේ රැලියක් පැවැත්වීමට තීරණය විය.

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්

ඇතිවූ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට කල් තැබූ පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කතානායකවරයාට ලිපියක් මගින් ඉල්ලීමට ජවිපෙ තීරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06දෙනාගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය 29වෙනි සඳුදා කතානායකවරයාට බාරදෙන ලදී. එමෙන්ම පසුගිය 30වෙනිදා පැවැති පක්ෂ නායක රැුස්වීමේදීද ජවිපෙ නායකයා විසින් අවධාරණය කරන ලද්දේ මෙය පාර්ලිමේන්තුවේදී විසඳාගත යුතු ගැටලූවක් බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. ඒ අනුව කතානායකවරයා පොරොන්දුවී තිබුණේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාක් පවත්වා පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ජවිපෙ විසින් කතානායකවරයාට යවන ලද ලිපියේ මෙසේ සඳහන්ය.
මේ වන විට රට තුළ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය මෙරට ජරාජීර්ණ දේශපාලන තත්වයේම දිගුවක් ලෙසත් පොදු ජනතාව මුහුණ දෙමින් සිටින පොදු අර්බුදයේම කොටසක් ලෙසත් හඳුනා ගන්නා අපි පවත්නා බල පොරය මගින් එම ගැටලූවලට කිසිදු විසඳුමක් නොලැබෙන බව පැහැදිලිව දනිමු.
කෙසේ වුවද දැන් ඇතිවී තිබෙන අර්බුදයේ ප‍්‍රධාන ද්විත්ව පාර්ශ්වය බල පොරය වෙනුවෙන් සටන් වදිමින් සිටින අතර රටේ සාමාන්‍ය ජනතාව ඊට සම්බන්ධ කරගැනීමටද ඔවුන් එහි පාර්ශ්වකරුවන් කරගනිමින් එකිනෙකාට එරෙහිව උසිගැන්වීමටද උත්සාහ කරමින් තිබේ. ඊයේ (28) දින තෙල් සංස්ථා පරිශ‍්‍රයේදී අවාසනාවන්ත ලෙස ජීවිතයක් අහිමි වන්නේද මෙම තත්වය තුළය.
රට තුළ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය කිසිසේත්ම රටටත් රටේ ජනතාවටත් හිතකර වන්නේ නැත. විශේෂයෙන්ම රටට එරෙහි විදේශීය බලවේගයන්ටද ඇති වෙමින් තිබෙන්නා වූ තත්වය අනියමින් වාසි සලසන බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.
මේ පිළිබඳව ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කළ යුතු ප‍්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කඩිනමින් සාකච්ඡුා විය යුතුව ඇත. නමුත් මෙවැනි තීරණාත්මක වාතාවරණයක් තුළ සැසිවාර අවසන් කිරීමක් මගින් පාර්ලිමේන්තුව මෙම සංවාදයෙන් බැහැර කොට තැබීම කිසිසේම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර තත්වයක් නොවේ.
එබැවින් මෙම තත්වය තුළ පාර්ලිමේන්තුව වහා කැඳවීමට පියවර ගන්නා මෙන් පහත අත්සන් තබන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් වන අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

රට ගිහින් එනකොට ඇමැති මන්ත්‍රී වුණ හැටි

විදේශගතව සිටි ප්‍රසන්න නැවත දිවයිනට පැමිණියේ සෙනසුරාදා අලුයමය. ප්‍රසන්න පිළිගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ජනකායක් සමඟ ඉන්දික සහ රණවීර ගුවන්තොට වෙත පැමිණ සිටියහ. රණවීර සහ ඉන්දික දෙදෙනා ප්‍රසන්නට වාතාවරණය පැහැදිලි කරන්නට තැත් කළද ප්‍රසන්න කීවේ තමන් සියල්ල දැන සිටි බවය. මහින්ද මෙන්ම බැසිල්ද වරින් වර දුරකථනයෙන් තමා ඇමැතූ බව ප්‍රසන්න ඔවුන්ට කීවේය. "අපි මුල ඉඳලම හිටියේ මහින්ද මහත්තයා අගමැති කරවන සටනේ. අද ඒ සටන ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක කොහොම වුණාද කියන එක දැන් ගැටලුවක් නෙවෙයි. පසුගිය අවුරුදු තුනේම රට අගාධයට යමින් තිබුණා. දැන් තියෙන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ මේ රට ගොඩනැඟීමයි. අපි සියලු දෙනාම එකතු වෙලා ඒකට සහයෝගය දෙමු" ප්‍රසන්න පැවැසීය.
ප්‍රසන්න තවදුරටත් ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රැඳී සිටියේ සිය බිරිය එනතුරුය. ඒ අතරතුර එහි ආවේ රවුෆ් හකීම්ය. "මොකක්ද මේ වෙන්නේ? මම යනකොට ඇමැති එනකොට මන්ත්‍රි" හකීම් කීවේය. "වෙන්න තිබ්බ හොඳම දේ තමයි වෙන්නේ" ප්‍රසන්න පැවැසීය. "ඔයාට නම් ඉතින් ලොකු ඇමැතිකමක් හම්බ වෙයි. මේ සටනේ මුල ඉඳන් හිටපු කෙනා ඔයානේ" හකීම් කීවේය. "අපි ඒවා ගැන බලාපොරොත්තුවක් නැහැ. අපි ඇමැතිකම් තියාගෙන ඉන්නේ ඔයාලට දෙන්නයි" ප්‍රසන්න පැවැසීය. "අපිත් මේ පාර ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ"කී හකීම් පිටත්ව ගියේය.
ප්‍රසන්නට උදෑසනම මහින්දත් බැසිලුත් කතා කළේ ලංකාවට ආවේදැයි බලන්නටය. අනතුරුව ඔවුන් දෙදෙනාම කීවේ එදින උදෑසන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙසය. ඒ අනුව ප්‍රසන්න එදින උදෑසන එම සාකච්ඡාවට ගියේය. එතැනදී මහින්ද මන්ත්‍රිවරුන්ට අගමැති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. "අපිට සරල බහුතරයක් ඉක්මවලා මන්ත්‍රිවරුන් ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා" මහින්ද කීවේය. ඒ අතරතුර දැනගන්නට ලැබුණේ රනිල් අරලියගහ මන්දිරයෙන් පිටත්ව යෑමට සූදානමක් නැති බවය. "එදා ජනාධිපතිවරණය පැරදුණාම සර් හිනාවෙවී අරලිගහ මන්දිරයෙන් එළියට යනකොට මිනිස්සු ඇඬුවා. අද රනිල් අරලිගහ මන්දිරයට වෙලා අඬ අඬා ඉන්නකොට මිනිස්සු හිනාවෙවී ඉන්නවා. ඔන්න ඕක තමයි සර් වෙනස" ප්‍රසන්න මහින්දට පැවැසීය. සඳුදා උදෑසන නව අගමැතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වන්නට ප්‍රසන්න ගියේය. එතැනදී ප්‍රසන්නත් තිලංගත් ලන්සාත් අගමැතිවරයා මුණගැසුණේ වැඩ භාර ගැනීමට පෙරය. මහින්ද ඔවුන්ට කීවේ තමන්ට සහාය පළ කළ සුරේෂ් වඩිවෙල් හට ගැටලුවක් පැන නැඟී ඇති බැවින් වහාම ගොස් එය විසඳන ලෙසය. උත්සවය පසෙක තබා ප්‍රසන්නලා වහා වඩිවෙල් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළහ. එදින උදෑසන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් වඩිවෙල් අරලියගහ මන්දිරයට කැඳවාගෙන ගොස් තිබුණේ බලහත්කාරයෙනි. ප්‍රසන්නලා වඩිවෙල් හමුවී තත්ත්වය සමනය කළ වහාම නැවත වරක් බැසිල්ගෙන් දැන ගන්නට ලැබුණේ වසන්ත සේනානායක හටද ගැටලුවක් ඇති බවය. ඒ අනුව වසන්ත බේරා ගැනිමේ මෙහෙයුමද ආරම්භ කෙරිණි. එතැනදී සිදුව තිබුණේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිවකු වසන්තට අමතා නොතිබීම නිසා ඔහු දෙගිඩියාවකින් සිටීමය. වහා වසන්තගේ නිවෙසට ගිය ප්‍රසන්න, තිලංග සහ ලන්සා කරුණු සාකච්ඡා කළහ. ප්‍රසන්න සිය දුරකථනයෙන් මහින්ද, බැසිල් මෙන්ම ගෝඨාභයද අමතා වසන්තට කතා කරන්නට සලස්වා ගැටලුව හමාර කළහ. මෙහෙයුම නිමාවී ඔවුන් එනවිට අගමැතිවරයාගේ උත්සවයද අවසන් වී තිබුණේය.

අගමැතිකම නැති‍වෙන කොට රනිල් හිටියෙ ගාල්ලේ

පසුගිය 26 වැනි සිකුරාදා හිටපු අගමැති රනිල් ගාල්ල බලා ගියේ ඇමැති වජිරගේ ආරාධනයෙනි. දිස්ත්‍රික්කය තුළ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඇතුළු නව ගොඩනැඟිලි 4ක් එදින විවෘත විය. එදින රාත්‍රියේ ගාල්ලේ ගතකොට පසුදාට තිබූ තවත් නිල උත්සව කිහිපයකට එක්වීම හිටපු අගමැතිවරයාගේ අරමුණ විය. එහෙත් සවස්වන විට තමා අගමැති ධුරයෙන් ඉවත් කළ බවත් නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බවටත් පණිවුඩ ලැබුණේ එජාප හිතවතුන්ගෙනි. වහාම කොළඹට පැමිණීමට තීන්දු කළද ඒ වන විට රෑ බෝ වීම හා අධික වැසි නිසා හෙලිකොප්ටරය වෙනුවට බිමින් කොළඹ පැමිණීමට අගමැතිවරයා තීන්දු කළේය. වාහනයේ එන අතරමඟදී ජනපති ලේකම් කාර්යාලයට කතා කොට අදාළ පුවත ගැන නිල දැනුවත් වීමක් ලැබූ වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට කතා කොට අරලියගහ මැඳුරට එන ලෙස දැන්වීය. ඔහු එන විට හිටපු මැති ඇමැතිවරු හා එජාප හිතවතුන් 1,000කට ආසන්න පිරිසකගෙන් අරලියගහ මැඳුර පිරී තිබිණි. කිරිඇල්ල, කබීර්, රවි, හරීන්, වජිර, ගයන්ත, දයා ගමගේ ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ රනිල් වහාම ජනමාධ්‍ය හරහා රටට ප්‍රකාශයක් ලබා දීමට තම ජනමාධ්‍ය ඒකක ප්‍රධානි සමන් අතාවුද ගැන විමසීය.
ඔහුගේ දුරකථනයෙන් ආවේ විදේශ රටක ඔහු සිටින බවය. එම රට කුමක්ද හෝ එහි ගියේ කුමන කටයුත්තකටද යන්න මාධ්‍ය අංශයේ කිසිවකු දැන සිටියේ නැත. පසුව හිටපු මැති ඇමැතිවරු විවිධ ජන මාධ්‍යවලට කතාකොට අගමැතිවරයාගේ ප්‍රකාශයට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය.

අරලියගහ මන්දිරයේ ගුරුකම්

මේ දිනවල අරලියගහ මන්දිරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇත. එහි සනීපාරක්ෂක කටයුතු, නඩත්තු කටයුතු කරන සියලු සේවකයන් වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත. රනිල් වික්‍රමසිංහ තවමත් අගමැතිවරයා ලෙස පවසමින් එජාපෙ පාක්ෂිකයන් මේ දිනවල අරලියගහ මන්දිරයේ අඛණ්ඩව රැඳී සිටී. ඔවුන් රැය පහන් කරන්නේද අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේය. මේ වන විට එම පරිශ්‍රය කැළි කසළවලින් පිරී ගොස්ය. තැන තැන ඉඳුල් දමා ඇති නිසා දැඩි දුර්ගන්ධයක්ද තිබේ. මේ අතර නීත්‍යානුකූලව එම මන්දිරයේ භාරකරයා වන්නේ අගමැති ලේකම්වරයාය. ඔහු එම පරිශ්‍රය ගැන සොයා බැලීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පිටත් කර හැරියේය. සිදු වූයේ අරුම පුදුම දෙයකි. ඔත්තු බැලීමට මහින්ද එවා ඇතැයි පවසමින් අරලියගහ මන්දිරයේ සිටි පිරිස් හොඳටම එම නිලධාරීන් දෙදෙනාට පහරදී තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පැවැසුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විරුද්ධව යාග හෝම පවත්වන බවය.

තත්ත්වය එසේ තිබියදී බදාදා දිනයේ එජාපයට හිතවත් වෛද්‍යවරයකු පැමිණ එහි රැඳී සිටින මැති ඇමැතිවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කෙළේය. ඔහු පළමුව කළේ වික්‍රමසිංහ මහතාගේ සහ මන්ත්‍රි පිරිසගේ ප්‍රෙෂර් චෙක් කිරීමය. පළමුව එම පරීක්ෂණයට භාජනය වූයේ හිටපු අගමැති ලේකම් සමන් ඒකනායකය. ඔහුගේ ප්‍රෙෂර් මට්ටම 110-160 ත් අතර ප්‍රමාණයේ පසුවිය. සිඩ්නි ජයරත්න මන්ත්‍රිවරයාගේ ප්‍රෙෂර් මට්ටම 120-170 ප්‍රමාණයක තිබීම නිසා වෛද්‍යවරයාද කලබලයට පත්විය. අශෝක් අබේසිංහගේ ප්‍රෙෂර් මට්ටම 170-120 අතර ප්‍රමාණයේ විය. රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රෙෂර් මට්ටම බලාගත්තේය. එය 80-120 ලෙස සටහන් විය. 'අනෙක් ඔක්කොටම වඩා ඔබතුමාගේ නෝමල්නෙ' වෛද්‍යවරයා විමසීය. 'ඔව්... මම ඕව ඔච්චර ගනන් ගන්නේ නෑ.' රනිල් සිනාසෙමින් කීවේය. මේ සටහන තබන විටත් වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටී.

රනිල්ට නායකත්වයත් නැතිවෙයි?

ඔහු ඉන් පිට නොවීමට දේශපාලන කරුණු කිහිපයක් බලපා තිබේ. ඔහු නීතිය නොදන්නා කෙනකු නොවේ. මෙයින් ඉවත් වී ගිය පසු ඔහු වටා තිබෙන පක්ෂයේ බලය ගිලිහී යන බවට දැනටමත් සලකුණු පහළවෙමින් තිබේ. රනිල් 5 වැනි පටුමඟේ පිහිටි සිය පෞද්ගලික නිල නිවෙසට ගිය පසු අද අරලියගහ මන්දිරයට එන පිරිස එහි එන්නේ නැත. තත්ත්වය එසේ තිබියදී දැන් නැවතත් එජාප නායකත්වය වෙනස් විය යුතු බවද පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනකු කෑ මොර දෙමින් තිබේ. සජිත් ප්‍රේමදාස නැවතත් කරළියට පැමිණ ඇත. එම නිසා වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළද යළි කැරැල්ලක් නිර්මාණය කිරීමට ඉඩ තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වූ බවද දැන් කරුණු වාර්තා වී තිබේ. එම නිසා එජාපයට ඍජුවම සම්බන්ධ නාළිකාවකින් මේ දිනවල සජිත් ප්‍රේමදාස මහතාට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඇත. මෙම තත්ත්වය හමුවේ සජිත්ගේ භූමිකාව ගැනද එජාප පාක්ෂිකයෝ දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටී.

ආණ්ඩු පෙරළියේදී කරූ කලබල වෙයි

හදිසියේම ඇති වූ බල පරිවර්තනය කථානායක කරු ජයසූරිය දැනගත්තේ ජනමාධ්‍ය මඟිනි. සවස් කාලයේ යොදාගෙන තිබූ කටයුතු රැසක් අවලංගු කළ හෙතෙම පැනනැඟුණු තත්ත්වය පිළිබඳව දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීමෙහි සහ නීති උපදෙස් ලබා ගැනීමෙහි නිරත විය. කථානායකවරයා වඩාත් සැලකිලිමත් වූයේ හදිසි දේශපාලන වෙනස්කම නිසා ජනතාව අතර, යම් කැලඹීමක් ඇති වීම වළක්වා ගැනීමට උපරිමයෙන් මැදිහත් වීම කෙරෙහිය. වහාම නිවේදනයක් නිකුත් කළ ඔහු ආයාචනා කළේ පැනනැඟී ඇති දේශපාලන ව්‍යාකූලභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන් ගරු කරමින් ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට ශිෂ්ටසම්පන්න සමාජයක් ලෙස හැකියාව ඇති බැවින්, සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙසය.
එමෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්ද ඇමැතූ කථානායකවරයා නීතියට අනුකූලව අපක්‍ෂපාතීව ප්‍රශස්ත අන්දමින් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ රාජකාරි ඉටු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඇමැති වසන්තගේ නිවසට ගිය එජාප මන්ත්‍රීවරුගෙන් තර්ජනයක්

මේවන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තුළ බහුතරය ලබා ගැනීමට නොහැකිව ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගොස් බැගෑපත් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස ඉල්ලා තිබෙන අතර මේවන විට ඇතැම් මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ලංසු තබා එජපායට බිලි බා ගැනීමට කටයුතු කළද ඒ කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට කැමැත්ත පළ කර නොමැත. මේ අතර එජාපයේ අසරණ භාවය කොතෙක්ද යන්න තේරුම් යන්නේ දැන් ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ඇමැතිවරුන්ද සොයායාමට සිදුව තිබීමයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානයක, රාජිත සේනාරත්න, අකිල විරාජ්, ජෝන් අමරතුංග සහ ස්වාමිනාදන් යන ප්‍රබලයින් පිරිසක් සංචාරක හා තිරසර සංවර්ධන වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ නිවසේදී ඇමැතිවරයා හමුවූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත යොමු කර තිබිණි. මෙහිදී පැමිණි පිරිස වසන්ත සේනානායක මහතාට බැගෑපත්ව පවසා ඇත්තේ මේ අවස්ථාවේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ශක්තිමත් කිරීමට සහය ලබාදෙන ලෙසයි. එහිදී අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වයට විරුද්ධව තමා ඇරඹූ අරගලය එජාපයට නව නායකත්වයක් ලැබෙනතුරු සිදුකරන බවත් එජාපය නව නායකත්වයකින් වැඩකටයුතු ආරම්භ කරන දවසට තමා කොන්දේසි විරහිතව එජාපයේ නව නායකත්වයට සහය ලබාදෙන බවත්ය. බොරු පොරොන්දුවලට කිහිපවතාවක් රැවටුනු තමා ආයෙත් රනිල්ට රැවටෙන්නේ නැති බව වසන්ත සේනානායක මහතා දැඩිව ප්‍රකාශ කර තිබේ. බහුතරය ලබා ගැනීමට නොහැකිව කුපිත වී සිටින මෙම එජාප නඩය පසුව වසන්ත සේනානායක ඇමැතිවරයා තර්ජනය කරමින් එජාපයේ මන්ත්‍රීවරයෙක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට අනිවාර්යයෙන් සහය දිය යුතු බව ප්‍රකාශ කර තිබේ. නමුත් අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

Rate this item
(2 votes)