May 07, 2024

කරළියෙන් එහා: වෙල්ගමගේ යටි අරමුණ හෙළිවෙයි - අයවැය හදන්නේ මංගලගේ බොල්ගොඩ නිවසේ

දේශපාලන කරළිය තවදුරටත් උණුසුම්වීමට හේතු වී තිබෙන්නේ ආණ්ඩුවේ අර්බුදය උග්‍රවෙන අතට හැරීමත් සමඟය. ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාවලිය දෝෂදර්ෂණයට ලක් කරමින් කතාවක් සිදු කළේය. එම කතාව ජනාධිපතිවරයා සිදුකළේ පසුගියදා කොළඹ පැවැති සේනානායකවරුන්ගේ ගුණසමරු උත්සවයේ දී විය. ජනාධිපතිවරයා කළ කතාව පැරණි එජාප පාක්ෂිකයින්ගෙන් එකහෙලා අනුමත කර තිබුණද රනිල් හිතවාදීන් ඊට දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබිණි. මෙම ජනාධිපතිවරයාගේ එජාප විරෝධී කතාවට ප්‍රහාර එල්ල කරන්නට ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රතිචාර දැක්වීම අනවශ්‍ය දෙයක් බවය. එහෙත් ජනාධිපතිවරයාගේ එජාප විවේචනය මැති ඇමැතිවරුන් අතර තවමත් කතාබහට ලක්වෙමින් තිබේ. පසුගියදා ප්‍රබල එජාප ඇමැතිවරයෙක් අදහස් දක්වා තිබුණේ ‘ජනාධිපතිතුමා විටින් විට විවේචන ඉදිරිපත් කළා. එක එක ඇමැතිවරුන් විවේචනය කළා. මට මතකයි මහනුවර රැස්වීමක දී අගමැතිතුමා විවේචනය කරමින් කී කතාවක්. හැබැයි සමස්ත එජාපයම විවේචනය කරන්න හොඳ නැහැ’ මේ අතර මීට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළැයි කී ඉන්දියාවේ රෝ ඔත්තු සේවය පිළිබඳව ද තවමත් දේශපාලන කරළියේ යම් යම් අදහස් ප්‍රකාශ වෙමින් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරු ද රෝ කතාව සහ එම කතාව ප්‍රචාරය කළ බව කියන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ද යම් යම් කරුණු කාරණා හුවමාරු කර ගනිමින් සිටින බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ කෙසේ හෝ තවත් වසරක කාලයක් යහපාලන ආණ්ඩුව බලයේ රඳවාගෙන සිටීමය. මංගල සමරවීර ඇමැතිවරයා සඳහන් කරන්නේ ‘කවුරු මොනවා කිව්වත් අපි මේ ආණ්ඩුව 2025 දක්වා ගෙන යනවා. මේක ලේසියෙන් වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි’ යනුවෙනි.

අයවැය මංගලගේ බොල්ගොඩ නිවසේ

ආණ්ඩුව ඊලඟට කරන්න යන්නේ කුමක්ද? යන්න ජනතාව විමසිල්ලෙන් බලා සිටින අවදියක ඇමති මංගලගේ අරමුණ වී ඇත්තේ ජනතා සහන සහිත අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටය. එජාප ඇමැතිවරයෙක් සඳහන් කර තිබුණේ ‘ආණ්ඩුවට තව අවුරුද්දක කාලයයි තියෙන්නේ. රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. අපට මේ අය-වැයෙන් සහන දෙන්න බැරි නම් ඊළඟ ඡන්දෙට මුහුණ දෙන්න අමාරුයි. ඒ නිසා මේ පාර සහන අය-වැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා’ කියාය. ආරංචි මාර්ග සඳහන් කළේ අය-වැය ලේඛනය සකස් කිරීමේ කටයුතු සෑම සති අන්තයකම මංගල සමරවීර ඇමැතිවරයාගේ බොල්ගොඩ පිහිටි පෞද්ගලික නිවසේදී සිදුවන බවය. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ මංගල ඇමැතිවරයා දවස පුරා පෞද්ගලික නිවසට වී අය-වැය ලේඛනය සකස් කිරීමේ කටයුතුවල නිරත වන අතර ඇමැතිවරයා කියා ඇත්තේ ‘අපට මේක අමාත්‍යාංශයේ දී කරන්න අමාරුයි. දුරකතන ඇමතුම් එනවා. තවත් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිවලට එනවා. එක අරමුණකින් කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා ගෙදර ලේසියි. කිසිම බාධාවක් නැහැ’ කියාය.

හකීම් කැබිනට්ටුව රත් කරයි

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී නගර සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් දැඩි දෝස්මුරයක් දැම්මේය. හකීම් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණේ ජල ගාස්තු සියයට 65න් ඉහළ නැංවීමටය. එහෙත් ජල ගාස්තු ඉහළ දමා තවදුරටත් ජනතාව පීඩාවට පත් කළ නොහැකි බවට ඇමැතිවරු පිරිසක් කරුණු ඉදිරිපත් කළහ. “මම ජල ගාස්තු වැඩි කරන්න අවුරුදු තුනක ඉඳලා ඉල්ලනවා. ඒත් කර ගන්න බැරි වුණා. මොනවා හරි කියනවා. මැතිවරණය නිසා දැන් කරන්න බැහැ. අරකද මේකද කියනවා. ඒත් තියෙන මැතිවරණයකුත් නැහැ. මට ගාස්තු වැඩි කරන්න දෙන්නෙත් නැහැ’ යැයි හකීම් චෝදනාවක් එල්ල ක‍ළේය.

‘වතුර ලීටරයක් හදන්න යන මුදලට වඩා ඉතාම අඩු මුදලකට තමයි අපි ජනතාවට දෙන්නේ. මේ විදියට දුවන්න බැහැ’ යැයි හකීම් කී විට සරත් අරමුණුගම ඇමැතිවරයා ඊට විරෝධය දැක්වීය. ‘දැන් එන්නේ ඉලෙක්ෂන් කාලයක්. ජල ගාස්තු වැඩි කරන්න දෙන්න බැහැ. ජනතාවට ප්‍රශ්න වැඩිවෙනවා’ යැයි සරත් අමුණුගම කීවේය. “එහෙම නම් දෙකෙන් එකක් තෝරා ගන්න. එක්කො මට ජල ගාස්තු වැඩි කරන්න අවසර දෙන්න. නැති නම් මගේ ඇමැතිකම වෙන කාටහරි දෙන්න“ යැයි අවසානයේ රාවුෆ් හකීම් කීවේය. ඇමැති රිෂාඞ් බදියුදීන් ද එම වාදයට එක්වූවේය. ‘රවුෆ් හකීම් ඇමැතිවරයා ජල සම්පාදන මණ්ඩලයේ වෙනම මාධ්‍ය ඒකකයක් ක්‍රියාත්මක කරනවා. එතන විසි දෙනෙක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නයි තවත් විදයම් දරන්නෙත් මණ්ඩලය. මේ මාධ්‍ය කණ්ඩායම යොදවලා කරන්නේ සම්පූර්ණයෙන්ම මට මඩගහන එක. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ අය මට මඩ ගහනවා. මේක නතර කළොත් හකීම් ඇමැතිතුමාට ජල සම්පාදන මණ්ඩලයේ වියදම අඩුකර ගන්න පුළුවන්’ යැයි රිෂාඞ් බදියුදීන් කීවේය. එහෙත් ඊට ප්‍රතිඋත්තර දැක්වීමට හකීම් ඉදිරිපත් වූයේ නැත.

අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරතව සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමුණුපුර සම්බන්ධයෙන් ද අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා විය. එහිදී ජනාධිපතිවරයා ‘අපි බටහිර රටවල් කියන කියන දේවල් කරනවා. හැබැයි ඒ රටවල් ලංකාව ගැන ඒ තරම් සැලකිල්ලක් උනන්දුවක් නෑනෙ’ යැයි කීවේ ලුතිනන් කර්නල් කලන අමුණුපුර යළි මෙරටට ගෙන්වා ගැනීමේ තීන්දුව විවේචනය කරමිනි.

ජනපති සටනට ඒකාබද්ධයේ ගැටුම්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින මත ගැටුම් නතර කර ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබුණ ද එය නතර කළ බවක් පෙනෙන්නට නැත. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා දැඩි දොස් නගමින් විවේචන ඉදිරිපත් කරමින් ඒකාබද්ධයේ අනෙක් මන්ත්‍රීවරුන් විවේචනය කරන්නට පටන් ගෙන ඇත. කුමාර වෙල්ගමගේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත නොහැකි නම් එම ධුරය රාජපක්ෂ පවුලෙන් පිට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුට ලබාදීම වඩාත් සුදුසු බවය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද මීළඟ ජනාධිපති අපේක්ෂකකම ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය. එම උත්සාහය අසාර්ථක වුවහොත් මීළඟ අගමැතිවරයා වීමේ අපේක්ෂාවක් ද කුමාර වෙල්ගමට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කරති. කෙසේ වෙතත් ආරංචිමාර්ග සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය තුළ කුමාර වෙල්ගම විරෝධය දැඩි ලෙස ඉස්මතු වී තිබෙන බවය. මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ෂෙහාන් සේමසිංහ, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේය. වෙල්ගම මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට නුසුදුසු බවය. ‘මෙහෙම ගියොත් වෙල්ගම තනි වෙනවා. එයාට ඒකාබද්ධය තුළ කොන් වෙන්න වෙනවා. එහෙම වෙලා කොහොමද ඔහු දේශපාලනය කරන්නේ’ යැයි ශ්‍රීලනිපයේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය.

නාමල් වෙනුවෙන් මෛත්‍රී පෙනී සිටියි

එක්සත් ජාතික නිදහස් පෙරමුණට පසුගිය සතිය තරමක දේශපාලන වශයෙන් කාර්ය බහුල සතියක් බවට පත් වූ අතර එහි නායක මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය සතියේ වැඩි දින ගණනක් දකුණු පළාතේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වෙන් කර තබන්නට කටයුතු කළේය. මෙහිදී තවත් වැදගත්ම සිදුවීමක් බවට පත් වූයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඉමදූව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇන්ඩිගොඩගමගේ අරුණ මහතාට එම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් හා සභාපතිවරයා විසින් පහර දී තිබීමයි. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා ඒ සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත්තේය. අදාළ සිදු වීමෙන් පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා රෝහල් ගත කල අතර ඔහුගේ සුවදුක් විමසා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන්ට උපදෙස් දෙන ලදී. මීට අමතරව පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු කරගෙන යාම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමටත් පළාත් නවය සඳහා පළාත් නායකයින් නව දෙනෙකු පත් කිරීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට ඇති බවද වාර්තා වෙයි.

මීට අමතරව තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහර දීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක් තම පක්ෂයේ නියෝජනය සහිත සියළු පළාත් පාලන ආයතන වල සභා වාරය සඳහා ඉදිරිපත් කිරීමටත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතිය තුල දී තීරණය කර තිබේ. පසුගිය දා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ජාතික සංවිධායක විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් ඇතුළු නායකයින් පිරිසක් නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක් යොදාගෙන තිබුණද එම සංචාරය අවලංගු කිරීමට පසුව පියවර ගෙන තිබුණා. ඒ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කටයුතු කළේය“ යන නඩුවේ ප්‍රධාන වග උත්තර කරුවා වන දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටීම වැනි ඉතා වැදගත් නඩු කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීමට මෛත්‍රී ගුණරත්න මහතාට පැවරී තිබුණු හෙයිනි.

එජාපයෙන් සුජීව කොන්වෙයි

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි. රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ එහිදී පක්ෂයට දෝෂාරෝපණයක් එල්ල කළේය. ‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එදා මම දැඩි විවේචන එල්ල කළා. මම විතරයි කෙලින්ම ගැහුවේ. දැන් ඒ අය අවස්ථාව අරගෙන මට ගහනවා. මම කොමිස් ඉල්ලුවාය කියලා මඩ ප්‍රචාර ගෙනයනවා. හැබැයි මේ ගහන්නේ මට විතරක් නෙමෙයි. මුළු එජාපයටම මේ අය ගහනවා. ඒත් මම වෙනුවෙන් පක්ෂයේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වෙලාවේ පක්ෂය විදියට ඉදිරිපත් වෙන්න ඕනේ කියන එකයි’ සුජීව සේනසිංහ කීවේය. ඔහු නැවතත් කීවේ තරුණ මන්ත්‍රීවරුන් හැටියට තමාගේ උදව්වට පැමිණියේ ශෙරීන් සහ නලින් බණ්ඩාර පමණක් බවය. සුජීව සේනසිංහ කබීර් හලීම්ට ද දොස් නගන්නට වූයේය. ‘ඔබතුමා අපේ පක්ෂයේ සභාපති. මේ වගේ වේලාවක පක්ෂය ඉදිරිපත් වෙන්න ඕනේ’ සුජීව සේනසිංහ කීවේය. සුජීවගේ සහායට එජාපයේ තවත් තරුණ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉදිරිපත් වූහ. ඒ නාලක කොළොන්නේ, සන්දිත් සමරසිංහ සහ බන්දුලාල් බණ්ඩාරීගොඩ ය. ‘බය වෙන්න එපා. අපි ඔබතුමත් එක්ක ඉන්නවා’ ඔවුහු කීහ.

විග්නේෂ්වරන් TNA හැරයයි

උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. උතුරු පළාත් සභාවේ නිල කාලයත් සමඟම මහ ඇමැති විග්නේෂ්වරන් ද දෙමළ ජාතික සන්ධානය සමග පැවැත්වූ දේශපාලන සම්බන්ධතාවය අහවර විය. “මම කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. මම මහ ඇමැති ධුරයට තරග කළේ පොදු අපේක්ෂකයකු විදියට. දෙමළ ජාතික සන්ධානයේ නායකයින් දකුණේ මහ ආණ්ඩුව සමඟ එක්වෙලා වරප්‍රසාද භුක්ති විඳිනවා. දෙමළ ජනතාවට සහනයක් නැහැ. ඒගොල්ලෝ උතුරට එක මූණකුත් දකුණට තව මූණකුත් පෙන්වනවා. ඒ නිසා මම අලුත් පක්ෂයක් හදනවා’ යැයි විග්නේෂ්වරන් බදාදා පෙරවරුවේ යාපනයේ නල්ලූර්හි පිහිටි නවරාජා පරමේශ්වරී ශාලාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කීවේය. විග්නේශ්වරන්ට මහ ඇමැති ධුර අපේක්ෂකත්වය ලබා දී ඔහු ජයග්‍රහණය කරවීමට දෙමළ ජාතික සන්ධානය ක්‍රියා කළේය. එහෙත් වසරක පමණ කාලයක් යන විට විග්නේෂ්වරන් සහ දෙමළ සන්ධාන නායකයන් අතර බරපතළ මත ගැටුම් ඇති වන්නට පටන් ගත්තේය. දෙපාර්ශ්වය ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර ගත්තේය. කෙසේ වෙතත් විග්නේෂ්වරන් මේ වනවිට ‘තමිල් මක්කල් කූට්ටනි’ හෙවත් ටී.එම්.කේ. නමින් නව පක්ෂය නිර්මාණය කර තිබේ. උතුරේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනුයේ විග්නේෂ්වරන්ගේ නව පක්ෂය වටා උතුරේ තවත් පක්ෂ හා බලවේග එක්වීමේ ප්‍රවණතාවයක් පවතින බවය. එසේ වුවහොත් විග්නේෂ්වරන් ඉදිරියේ දී සම්පන්දන්ට ප්‍රබල දේශපාලන අභියෝගයක් වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

Rate this item
(1 Vote)