May 07, 2024

කරළියෙන් එහා: ඒකාබද්ධය ඇතුළේ වලි පිට වලි! ජනපතිට එරෙහි වන ආණ්ඩුවේ ප්‍රබලයා කවුද?

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ ජනපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැනත් ඒ ඇතුළේ ජිවිත ඝාතනයට එහා ගිය ජනපති මෛත්‍රීව දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට කළ කසුකුසුවක් නිසාය. තවද ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම් උග්‍ර වෙමින් පවතින අතර එය වඩාත් උත්සන්න වූයේ ඒකාබද්ධයේ ප්‍රබලයෙකු වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමඟය. මේ කාරණාත් සමඟ දේශපාලනය උණුසුම් වෙද්දී අගමැතිවරයා ඉන්දීය සංචාරය ඇරඹීය. අගමැතිවරයා එහිදී දේශපාලන උප්පරවැට්ටයකට අතවනන බවට රජයේ ආරංචි මාර්ග වාර්තා කළේය. ඉන්දීය සංචාරයක නිරත වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අවස්ථාවක තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කළ බවට ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබිණි. එම වාර්තා කිරීම පිටුපස යම් හස්තයක් තිබෙන බවටත් වාර්තා පළවිය. ඒ කැබිට්ටුවේ සිටින එජාපයට සම්බන්ධ ප්‍රබලයෙකු ජනාධිපතිවරයා අපකීර්තියට පත්කිරීමට ප්‍රකාශ නොකල කාරණයක් ගැන උලුප්පා දක්වමින් ඉන්දීය මාධ්‍යයට කැබිනට් රහස් ලබා දීම හේතුවෙනි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, මත්තල ගුවන් තොටුපල, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සදහා එදින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වුවද ඊට ජනාධිපතිවරයා අකමැත්ත ප්‍රකාශ කර තිබේ. රටේ සම්පත් විකුණා දැමීමේ එජාපයේ ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා දිගින් දිගටම විරෝධය පළ කිරීමත් නිසා එම ජාතික සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙල හකුලා දැමීමට අගමැතිවරයාට සිදුවිය. මීට පෙරද ඉන්දීය නියෝජිතයින් පිරිසක් පැමිණ එම ව්‍යාපෘති ඉන්දියාවට ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවද වාර්තා වේ. එම සාකච්ඡාවේදීද එම ව්‍යාපෘති ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට විකුණා දැමීමට පිළිබඳ ජනාධිපතිවරයා තීරණයක් ලබා දී නොතිබූ අතර ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබිණි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පවතින ඉතා සුහදශීලි මිත්‍රත්වය පලුදු කිරීමට මේවන විට රජයේ ප්‍රබලයින් කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෛත්‍රීට එරෙහිව කුමන්ත්‍රණයක්?

විශේෂයෙන් අදාල ව්‍යාපෘති ඉන්දියාවට ලබා නොදීමට ක්‍රියාකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් තමා ඕනෑම අවස්ථාවක ඒ සඳහා මැදිහත්වී එම ව්‍යාපෘති ඉන්දියාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් එය නැවතී ඇත්තේ ජනාධිපතිවරයාගේ අකමැත්ත නිසා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පෙන්වා දීමේ සූදානමක් පවතින බව රජයේ විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. ද හින්දු පුවත්පතේ පළ වූයේ එහි කූටප්ප්‍රාත්තියද යන්න සැකසහිත බව රජයේ ප්‍රකාශකයෙකු පැවසී ය. ඒ අනුව එම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් අගමැතිවරයා එම වාසිය තමන් වෙත හරවාගෙන ජනපති මෛත්‍රී සහ මෝදි අතර විරසකයක් ඇති කර ඉන්දීයාවේ සෘජු සහාය ලබා ගැනීමට සදහා වන කුමන්ත්‍රණයක නිරත වන බව දේශපාලන විචාරකයින් සඳහන් කරති. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පවතින හොද හිත පළුදු කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් 2020 ජනාධිපතිවරණයට සිහින මවන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාත් රටත් පාවා දෙන මෙම මෙහෙයුම අරඹා ඇතැයි වාර්තාවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීතය ගත්තද ඔහු කටයුතු කර ඇත්තේ දේශපාලන උප්පරවැට්ටි සහ ගේම් ගසමින් සිය බලය තහවුරු කරගැනීමේ ක්‍රියාදාමයක බව එම විචාරකයින් පෙන්වා දෙති. ඊයේ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සිදු නොකල ප්‍රකාශයක් ඉන්දීය මාධ්‍ය සහ මෙරට මාධ්‍ය වෙත ලබා දී ජනාධිපතිවරයා සහ ඉන්දියා අතර විරසකයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක්ද යන්න මේවන විට සැකයට භාජනය වී තිබේ.

ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයක් කළා යැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව පසුගිය බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. මේ අතර ඊයේ කොළඹ නිපෝන් හෝටලයේදී ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක සහ නීතීඥ සරත් කෝන්ගහගේ මහත්වරුන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඊට ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනයක් වූ මීරා ශ‍්‍රීනිවාසන්ද සහභාගී වී සිටියාය. එහිදී ඇය අපූරු අනාවරණයක් කරමින් සඳහන් කළේ ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බවට තමාට එම තොරතුර දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරුන් බවයි. එම මාධ්‍ය හමුවේදී නිතීඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ “මේක රටේ රාජ්‍ය නායකයාගේ ජීවීතය පිළිබද ප්‍රශ්නයක්,ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ දිවි හිමියෙන් ආරක්ෂා කල යුතු දෙයක් තමයි බල දේශපාලනය සමග ඝාතන උත්සාහයන් නොතිබීම.අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඝාතන තැත පිළිබදව අපි සම්පූර්ණ විශ්වාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි තියෙනවා.මේ පරීක්ෂණ මෙහෙයවීමට වක්‍රව හෝ සෘජුව යටපත් කරන්නට දරන උත්සාහය අපි කියනවා දේශපාලනිකයි කියලා.“ නීතිඥ සරත් කොන්ගහගේ මහතා කියා සිටියේ එස්.ඩබ්ලිව් බණ්ඩාරනායක මැතිතුමා තමන්ගේ නිවස තුළදීම මරලා දානවා විශාල කුමන්ත්‍රණයකින්,1962 දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය අත්අඩංගුවට ගැනිමට සහ ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් ප්‍රධාන පෙලේ හමුදා නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් කරනු ලැබුවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1993 මරලා දැම්මා,තමන්ගේ ගෙදර හිටපු අයම පාවච්චි කරලා තමයි මිනීමරුවා ඔහු ළගට ආවේ.චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඝාතනය කරන්න උත්සාහයක් දැරුවා.05වෙනි අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිරයේදී නැත්තම් රජගෙදරදී ඝාතනය කරන්න ස්නයිපර් තුවක්කුකරුවෙකු පාවිච්චි කරලා තියෙනවා.ඇත්ත වශයෙන්ම ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක සෙවනැලි තියෙනවා.හිටපු ආරක්ෂ ලෙක්ම් ගෝඨාභය ඝාතනයට සෙවනැලි මේ පිටුපස තියෙන බව අපිට පැහැදිලි වෙනවා.“ යනුවෙනි.

කැබ්නට් මණ්ඩලේ දැඩි උණුසුමක්

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී දැඩි ප්‍රකාශ ආදිය කරමින් යම් යම් කරුණු කාරණා ඉස්මතු කරන්නට වූයේය. ඇතැම් කැබිනට් පත්‍රිකා දැඩි ලෙස විවේචනය කරන්නටත් ඒවා සම්මත කිරීම ප්‍රතික්‍ෂේප කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ අතර කොළඹ වරාය නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් එය වෙනත් රටක පාලනයට යටත් කිරීම අවාසි සහගත බවත් කියමින් ජනාධිපතිවරයා කරුණු කියන්නට වූයේය. නැගෙනහිර ජැටිය පිළිබඳ කතාවේදී ඇතැම් එජාප ඇමැතිවරුන් කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ අදහස් ප්‍රතික්‍ෂේප කිරීමට පටන් ගත්තද ජනාධිපතිවරයා ඊට ඉඩක් තැබුවේ නැත. මේ අතර ඉකුත් කාලයේ දේශපාලන කරළියේ උණුසුම් පුවත් මැවූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ කතාවද ජනාධිපතිවරයා මාතෘකාවක් කර ගත්තේය. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියැවෙන කතාවල ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයැයිද එය ඉතා ගැඹුරින් විමර්ශනය කළ යුත්තකැයිද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අඟහරුවාදා රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන්ට උණුසුම් පුවත් රැසක් දැනගන්නට ලැබුණේය. කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කළ කී දෑ මෙන්ම එහිදී මතු කෙරුණු විශේෂිත කාරණා ද ජනමාධ්‍යවේදීන්ට ප්‍රධාන පෙළේ උණුසුම් පුවත් බවට පත් විය. මේ අතර තමා ඝාතනය කිරීම සඳහා ඉන්දියානු ඔත්තු සේවාවක සාමාජිකයකු මෙරටට පැමිණ ඇති බවත් හා එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි කියන කතාවක්ද ජනමාධ්‍ය වෙත දැනගන්නට ලැබිණ. පසුදින ඇතැම් පුවත්පත් මෙන්ම ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන එම කතාව ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළකර තිබිණ. බදාදා පෙරවරුවේ එම පුවත්වලට තටු ලැබී තිබුණ ද කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එම උණුසුම් පුවත අඟහරුවාදා කැබිනට් රැස්වීම නිම වී මිනිත්තු දහයක් යන්නත් පෙර දැනගන්නට ලැබුණේය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කලබලයට පත්ව කරුණු කාරණාවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන්නට උත්සාහ ගත්තේය. මේ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන එම කතාව නවදිල්ලිනුවරටද වාර්තා වූයේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉන්දීය විදේශ අමාත්‍යාංශය කොළඹට කතාකර මහකොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු බදාදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල හමු වූයේය. කැබිනට් රැස්වීමේදී තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව පැතිර යන කතාව ගැන තමන් අදහස් දැක්වූ බව මහකොමසාරිස්වරයා හමුවේ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එහෙත් ජනාධිපතිවරයා කීවේ ඉන්දීය ඔත්තු සේවාවක් ගැන තමා අදහස් නොකී බවය. ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ සටහන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලැබුණ ද ඔහු ඉන් සෑහීමකට පත්වූයේ නැත. බදාදා රාත්‍රියේ අගමැති මෝදි ජනාධිපති මෛත්‍රීපාලට දුරකතනයෙන් කතා කළේය. එහිදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමා එවැන්නක් ප්‍රකාශ නොකළ බවත් ජනාමාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරන්නට වූයේය. ඉන්දීය අගමැතිවරයා සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතර සාකච්ඡාව විනාඩි විස්සක පමණ කාලයකට සීමා වූ බවද පසුව වාර්තා වූයේය.

සූජීවට අල්ලස් චෝදනා

මේ අතර බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව ඇදී ආවේය. එහිදී මාධ්‍යවේදීන් හමුවේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න කීවේ ජනාධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවය. එහෙත් ‘ද හින්දු’ පුවත්පතේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීනිය ඇමති රාජිතට පිළිතුරු දුන්නාය. “මම ළඟ කැබිනට් ඇමතිවරුන් හතර දෙනෙකුගේ වොයිස් කට් තිබෙනවා මට ඒක සනාථ කරන්න පුළුවන්. එහෙම නම් කැබිනට් ඇමැතිවරු ප්‍රකාශ කරන්න ඇත්තේ බොරුදැයි කියන්නට වූවාය. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන කතාව විදෙස් මාධ්‍යයට ලබාදී ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර බවට සැක කරන බවය.

ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් වෙනුවෙන් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ බවට එම සමාගමේ උසස් නිලධාරීහු පිරිසක් ඉකුත්දා ප්‍රසිද්ධියේ චෝදනා කළහ. එහෙත් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ අල්ලස් ඉල්ලූ සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත සමාගමේ මෙරට නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාකර ඇති බවය. තවත් ආරංචියකින් කියවුණේ එම නියෝජිතයන්ට අල්ලස් නඩුවක් ගොනුකරන ලෙස ඉහළම දේශපාලනඥයකු සහාය ලබාදී තිබෙන බවය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය එක්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවට බොහෝ ආරංචි පසුගිය සතිවල ආරංචි පැතිර ගියේය. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ම භාරකාර රජයක් පිහිටුවීම සඳහා සහාය පළ නොකරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින් සිටිති. කෙසේ වෙතත් ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ භාරකාර ආණ්ඩුවක් හැදීමේ කතාව ශ්‍රීලනිපයේ පහළොස් දෙනාගේ කණ්ඩායමේ වැඩක් බවය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ උනන්දුවක් නැති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙයි. “අපි භාරකාර ආණ්ඩුවක් හදන කතාව නතර කරන්නේ නැහැ. හැබැයි ඊට ජනාධිපතිවරයාගෙන් නිලවශයෙන් ආරාධනයක් එන්න ඕනෑ.” යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරු ප්‍රකාශ කරති. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයේම තවත් පිරිසකට ඇත්තේ වෙනත් අදහසකි. “කොහොම හරි ආණ්ඩුව පෙරළගන්න එක හොඳයි. ඇතැම් අය එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදය ප්‍රකාශ කරනවා. අපේම අය රනිල්ට කඬේ යන එක හොඳ නැහැ” යැයි එම පිරිස කියා තිබිණි.

පොලිස්පති ඉල්ලා අස්නොවන ලෙස එජාපයෙන් ඉල්ලීම්

“මේ පොලිස්පතිවරයා සාධාරණ නැහැ. ඔහු අපට තර්ජනයක්. ඔහු ඉවත් කරන්න ඕනේ. අනිත් අපට අපක්‍ෂපාතීව කටයුතු කරන අගවිනිසුරුවරයකු පත් කරන්න ඕනේ කියල අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෙක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේය. එම කතාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවටද තවත් ආරංචියක් මේ දිනවල පැතිර යමින් තිබේ. එසේ වුවද ඔහුට ඉල්ලා අස්නොවන ලෙස එජාපයේ සමහරු බලපෑම් කරන බවට ද තවත් කතාවක් පැතිරෙමින් පවතී.

මේ අතර කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් සැඟවී තිබූ ඒකාබද්ධ විපක්‍ෂයේ මත ගැටුම් හා විරසක දැන් දැන් කරළියට පැමිණෙන බවක් දක්නට තිබේ. ප්‍රධාන චරිතය බවට පත්ව ඇත්තේ කුමාර වෙල්ගමය. ඔහු ඉතා තදින් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂට ඒකාබද්ධයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදිය යුතු බවය. “ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහුට ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. මහින්ද රාජපක්ෂ හැර වෙනත් රාජපක්‍ෂ කෙනෙක් මම පිළිගන්නේ නැහැ” ආදී වශයෙන් කුමාර වෙල්ගම විවිධ කතා කියමින් සිටින්නේය. වෙල්ගමගේ මතවාදය ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරායාමකට බලපෑමකැයි කියමින් එම පක්ෂයේම ප්‍රබලයන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි ද දැනගන්නට තිබේ. “වෙල්ගම එක එක කතා කියනවා. මේක පාලනය කරගන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමාට අපි මේ ගැන කිව්වා” යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් මිතුරන් පිරිසක් හමුවේ කීවේය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම සමඟ සාකච්ඡා කර හෝ අවවාද කර හෝ නැති බවය. වෙල්ගමට අමතරව වාසුදේව නානායක්කාර ද ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති ධුරය ලබාදීමේ යෝජනාවට විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කරයි. වාසුදේවගේ අදහස මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ චමල් රාජපක්‍ෂ බවය. ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් එලෙස නිර්මාණය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂය හෝ ජනාධිපති අපේක්‍ෂකයකු ඉස්මතු කිරීමට එතරම් වෑයමක් දරන බවක් පෙනෙන්නට නැත.

මේ අතර ආණ්ඩුවට තවත් අභියෝගයක් එල්ල වී තිබේ. ඒ දෙමළ ජාතික සන්ධානයෙනි. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් සඳහන් කර ඇත්තේ “අපි අයවැයට ඡන්දය දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගන්නවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා අපේ පැත්තෙ කරුණු කියනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය මත අයවැයට සහාය දෙනවාද නැද්ද කියන එක තීන්දු කරනවා” යැයි විපක්‍ෂ නායකවරයා කියන්නේය. පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දහසයකි. යම් හෙයකින් ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ හොත් ආණ්ඩුවේ ආරක්‍ෂාවට දෙමළ ජාතික සන්ධානය අවශ්‍ය වේ. මෙවර අයවැය ලේඛනය සම්මත කර ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයට තීරණාත්මක කාර්යභාරයක් හිමිවන බව දේශපාලන විචාරකයන්ගේ අදහස්ය. ඒ බව හොඳින්ම දන්නා දෙමළ ජාතික සන්ධාන නායකයා ආණ්ඩුවට කොන්දේසි දාන්නේ ඒ නිසා විය යුතුයි.

ජනපති පුටුවට ගෝඨා - බැසිල් සටනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ඉංජිනේරුවන්ගෙන් සමන්විත පෙරමුණක් ඉකුත් බදාදා පිහිටුවා ගත්තේය. “ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ” නමින් එය නම්කර තිබුණු අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පස්වරුවේ පැවැති උත්සවයකදී එම පෙරමුණ කළඑළි දුටුවේය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. විවිධ ක්‍ෂේත්‍රයන්හි සේවය කරන ඉංජිනේරුවෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් වූවෝය. ඉංජිනේරු පෙරමුණ පිහිටවූයේ බැසිල් රාජපක්‍ෂගේ අදහසකට අනුවය. ඉංජිනේරුවන්ට අමතරව විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ පිරිසක්ද එක්ව සිටියහ. ගෝඨාභය රාජපක්‍ෂ වියත්මඟ සංවිධානය පිහිටුවා විවිධ වෘත්තිකයන් සමඟ කතිකාවතක් ගොඩනගා ගත්තේය. ඔහුගේ අපේක්‍ෂාව වී ඇත්තේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා වීමය. බැසිල් රාජපක්‍ෂ ද අතහැර නැත. බැසිල් රාජපක්‍ෂ ඉංජිනේරු පෙරමුණ පිහිටුවා ගත්තේ ගෝඨාභයගේ වියත්මඟට විකල්පයක් ලෙස යැයි ඇතැම් දේශපාලනඥයෝ මත පළකරති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙහිදී පැවැත්විණ. එහිදී රටේ ආර්ථික තත්ත්වය හා ආරක්‍ෂක තත්ත්වය ගැන වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරුණ අතර මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළහ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. පැය කිහිපයක් පුරා සාකච්ඡාව පැවැති අතර එහිදී තීරණය කෙරුණේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමටය. කමිටුවේ ප්‍රධානියා ලෙස අජිත් නිවාඞ් කබ්රාල් පත් කෙරිණ. ඒ අනුව එම කමිටුව සති දෙකකින් පසුව හිටපු ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදීමට ද තීරණය කෙරිණ. කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙහි පැවැති එම පක්‍ෂ නායක රැස්වීමට කුමන හෝ හේතුවක් නිසා බැසිල් රාජපක්‍ෂ පැමිණ සිටියේ නැත. පළාත් සභා ඡන්දය ඉල්ලා කොළඹ දී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට එහිදී කතිකා කරගත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද එකඟ වූහ. එහිදී හිටපු ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ බැසිල් රාජපක්‍ෂ සමඟ එක්ව එම සංවිධාන කටයුතු සිදුකරන ලෙසය.

වෙල්ගමට බැන්න අයට මහින්දගෙන් දොස්

මේ අතර අඟහරුවාදා රාත්‍රියේ තවත් යමක් සිදුවූයේය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කුමාර වෙල්ගමට සහ ඔහුට එරෙහිව සිටින මහින්දානන්ද අලුත්ගමගේ පාර්ශ්වයට දැඩි අවවාදයක් කළේය. “අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක මම හොඳ වෙලාවට කියන්නම්. කරුණාකර තම තමන්ගේ පෞද්ගලික මතවාද කියන්න යන්න එපා. ඒක විශාල හානියක්” යැයි මහින්ද රාජපක්‍ෂ කීවේය. එහෙත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊට එතරම් එකඟතාවයක් දැක්වූයේ නැත. “මහනුවරදී මට මහින්දානන්දලා හොඳටම ගැහුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වේදිකාවේ තියාගෙන තමයි ඒ අය මට දොස් කිව්වේ. මට මතකයි මීට පෙර නාමල් රාජපක්‍ෂ ළඟ තියාගෙනත් මේ උදවිය මට චෝදනා කළා. හැබැයි මම නිශ්ශබ්ද වෙන්නේ මේවාට පිළිතුරු දීලයි” යැයි වෙල්ගම කීවේය. කුමාර වෙල්ගම ඊට පසුවදාම මහින්දානන්ද අලුත්ගමගේට පිළිතුරු දෙමින් පැවසුවේ ඔහු ආණ්ඩුවට බියෙන් මුල් කාලයේදී නුගේගොඩ සහ මහනුවර වේදිකාවලට නොපැමිණි බවය. “නුගේගොඩ මහින්ද සුළඟ වේදිකාවට මෙයා ආවේ නැහැ එදා බයෙන් හිටියා” යැයි ආදී බොහෝ නෝක්කාඩු කියමින් වෙල්ගම ඔහුට එරෙහි පිරිසට පිළිතුරු ලබා දී තිබිණ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එන්නේ මර්දනයටයි

වත්මන් ආණ්ඩුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගන්ති කිහිපයක් වෙනස් කොට නව පනතක් ලෙස නැවත වටයකින් ගෙන ඒමට යෝජනා කර තිබේ. මේ වනවිට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේද අවධානය යොමු විය. ”ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්මඉදිරිපත් වෙන්නේ 1978දී. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. මොකද ඒ වෙලාවෙත් මේක ගේන්නේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මර්දනය කරන්න උපායක් විදියට. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ පනතට විරුද්ධව පාරට බැස්සා. අදත් ආණ්ඩුව මේ පනත ගේන්නේ හොඳ අරමුණකින් නොවන බව විශ්වාවසයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට ආණ්ඩුව පොරොන්දුවක් වුණා මේක අහෝසි කරනවා කියලා. විශේෂයෙන් 2015 මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් විදියට මේක තිබුණා. එක්සත් ජාතීන්ගේ බලපෑමට දැන් ආණ්ඩුව කරන්න යන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනතේ වගන්ති ටිකක් එහෙ මෙහෙ කරලා ඒ පනතම වෙන විදියකට ගේන්න.” විජිත හේරත් කියා සිටියේය. ”එක්සත් ජීතන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කියනකල් ඉන්න ඕනද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න. මේ ආණ්ඩුව 2015 ඉඳලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් එකක්වත් ගේන්න කටයුතු කළේ නැහැ. ඒවා මඟහැරියා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උතුරේත් මර්දනය ගෙනාවා, දකුණෙත් මර්දනය ගෙනාවා. ඒ නිසා මේ පනත අහෝසි කරන්න ඕනෑ එකක්. අපි මේකට විරුද්ධය පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන්න ඕනෑ. සමහරු මේක ත‍්‍රස්තවාදී අර්ථයෙන් විග‍්‍රහ කරනවා. නමුත් ඇත්ත කතාව නම් මේක මර්දන පනතක් කියන එකයි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

ඌව වෙල්ලස්ස කැරැල්ලට වන්දිගත යුතු යැයි සමන්තගෙන් යෝජනාවක්

2018 වර්ෂය වනවිට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙයි. අධිරාජ්‍යවාදීන් කළ එම විපතට වන්දි ලබාගත යුතු යැයි ජවිපෙ මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න විසින් ඌව පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ”2018 වෙනකොට ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වසර 200න් වසර 70ක් අයිති මේ පාලකයින්ට. මේ වෙනකොටත් රටේ දුප්පත්ම පළාත ඌව පළාත. දුප්පත්ම දිස්ත‍්‍රික්කය ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කය. හිතාගන්න පුළුවන් අධිරාජ්‍යවාදීන් මේ පළාතට කරපු විනාශය කොයිතරම්ද කියලා. ඒ වගේම පහුගිය වසර 70ටම අපේ රටේ පාලකයින්ට මේ පළාත දියුණු කරන්න බැරි වුණා. වසර 30ක් අනවරත යුද්ධයක් පැවති උතුර නැගෙනහිර පළාතටත් වඩා අපේ පළාත දුප්පත් වෙලා. ඒකට හේතුව මේ පාලකයෝ. ඒ විතරක් නෙවෙයි මේ පාලකයෝ ඌව වෙල්ලස්ස ඉඩම් අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වලට ලියලා දුන්නා. කිරිඳි ඔය, මැණික් ගඟ දෙපැත්තේ ඉඩම් අයිති අපේ රටේ ජනතාවට නෙමෙයි. ඒවා අයිති ඩෝල් සමාගමට, නෙල්නා සමාගමට, බූගටේට් සමාගමට. එහෙම තියෙද්දී වර්තමාන ආණ්ඩුවත් ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර 62,500ක් සිංගප්පූරු ගැසල්වෙන්චර්ස් සමාගමට දෙන්න යනවා. සුද්දා මිනිස් ජීවිත නැතිකළා. මේ රටේ පාලකයොත් මිනිස්සුන්ගේ ඉඩම් ටික අහිමිකරලා බඩගින්නේ මරන්න හදනවා.” සමන්ත විද්‍යාරත්න යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. ”ඔව්, අපි බි‍්‍රතාන්‍යයෙන් වන්දි ගන්න ජිනීවා යන්න ඕනෑ.” ඌව පළාත් සභා මහ ඇමති යෝජනා කළේය. ”ජිනීවා යන්න කලින් මේ රටේ පාලකයෝ ඌව වෙල්ලස්ස ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි මහ ඇමතිවරයත් ජනතාවට වන්දි ගෙවන්න ඕනෑ. සුද්දා හදපු කෝච්චියේ වඬේ විකුණපු කෙනා අද පළාතේ මහ කෝටිපතියෙක් වුණේ කොහොමද? ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් ආපු සල්ලි තමන්ගේ ගිණුම්වලට දාගෙන කෝටිපතියන් වුණු සෑම දේශපාලකයෙක්ම ජනතාවට වුණු විපතට වන්දි ගෙවන්න ඕනෑ. අපි ජිනීවා යන්නත් ඕනෑ ඊට කලින් මෙහෙ පාලකයින්ගෙන් වන්දි ගන්න ජනතාව පෙළගැහෙන්න ඕනෑ.” සමන්ත විද්‍යාරත්න කියා සිටියේය. මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත විය.

අපහාස කළැයි මෛත‍්‍රී ගුණරත්නට එරෙහිව නලින්දගෙන් නඩුවක්

මහ බැංකු බැදුම්කර ගනුදෙනුකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මුදල් ලබාගත්තා යැයි ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තියක් පසුගිය කාලයේ මාධ්‍යවල නිතර ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. ඒ මොහොතේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇති බවත් ප‍්‍රකාශ විය. නමුත් එම නම් ලැයිස්තුව කිසිම මොහොතක ප‍්‍රසිද්ධියට පත් නොවුණි. එම මොහොතේ නීතිඥ මෛත‍්‍රී ගුණරත්න විසින් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සද පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබාගත්තා යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශයක් කළේය. එම ප‍්‍රකාශයත් සමඟ ජවිපෙ නීතිඥයින් මාර්ගයෙන් මෛත‍්‍රී ගුණරත්නට එරෙහිව එන්තරවාසියක් යවන ලදී. එමෙන්ම එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි ජවිපෙ විසින් ඔහුට අභියෝග කරන ලදී. නමුත් මේ වනතෙක් මෛත‍්‍රී ගුණරත්න විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැත. කෙසේ වෙතත් එම මොහොතේත් ජවිපෙ නායකයින් කියා සිටියේ හඩ මේ මෛත‍්‍රීගේ වුවද අත අනෙක් මෛතී‍්‍රගේ කියාය. මන්ද මෛත‍්‍රී ගුණරත්න මේ වනවිට සේවය කරන්නේ කාටදැයි මුළු රටම දන්නා කරුණක් නිසාය. මේ හේතුව නිසා තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් අධිකරණයේදී රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩුවක් ගොණු කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබේ. එය නඩුකර දෙකක් වශයෙන් ලබන සඳුදා දිනයේදී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජොන්ස්ටන් බේරුණේ ආණ්ඩුවේ සහයෙන්

සතොස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව ගොණු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් නීතිඥයින් අතර කතාබහක් ඇතිව තිබේ. මේ කතාබහ ඇතිවූ අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල මන්ත‍්‍රීවරයාද එම ස්ථානයේ සිටියේය. ”ජොන්ස්ටන් නිදහස් වුනා තමයි නමුත් හොරකම් කළේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? නිකන්ම නිකන් මිනිහෙකුට විරුද්ධව නඩු දාන්නේ නැහැනේ. නඩුව දාන විදියේ දුර්වල කමක් නිසා නිදහස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මිනී මරපු අයත් නිදහස් වෙනවා සාක්ෂි පරස්පර වුනාම. එහෙම වුනා කියලා මිනීමැරුම සිදුවෙලා නැහැ කියලා කාටහරි කියන්න පුළුවන්ද?” නීතිඥයින් විවිධ කතා කියමින් සිදුවීම ගැන විග‍්‍රහ කිරීමට ඉදිරිපත් විය. ”මෙතන බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා පැමිණිල්ල පැත්තෙන්. විත්තියේ සාක්ෂි විමසන්නේ නැතුවම චූදිතයා නිදහස් කරනවා කියන්නේ පැමිණිල්ලේ සාක්ෂි ප‍්‍රබල නැති නිසා. ආණ්ඩුවේ නීතිපතිවරයා පෙනී ඉන්න නඩුවක් මේක. ආණ්ඩුව පැත්තෙන් හරියට පැමිණිල්ල ගොනු කරන්නේ නැහැ කියන්නේ එතන මොකක් හරි ඞීල් එකක් තියෙනවා කියන එක. එහෙම නැතුව නිකන් මේ නඩුවලින් හොරු නිදහස් වෙන්නේ කොහොමද? දැන් ජොන්ස්ටන් විතරක් නෙවෙයි අනෙක් අයත් කියනවා එයාලට එරෙහිව තියෙන්නේ බොරු නඩු කියලා. ඒ කියන්නේ මේ රටේ හොරකම් වෙලා නැහැ කියලද?” සුනිල් වටගල කියා සිටියේය. ”කොහොම වුනත් දැන් උසාවි වලින් දෙන නඩු තීන්දු ගැන ජනතාව හොඳ අවබෝදයකින් ඉන්නේ. ජනතාව දන්නවා දැන් නඩුවලට මොකද වෙන්නේ කියලා” තවත් නීතිඥයෙක් කතාවට එක්වෙමින් කීවේය.

Rate this item
(0 votes)