May 06, 2024

2020 ජනපති සටන ලප් තැනම ලොප්! යළිත් පොදු අපේක්ෂක ජනපති මෛත්‍රී

2020 ජනාධිපතිවරණය පිළිබඳ පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවූ අතර එය මේ වන විට යටපත් වෙමින් පවතින්නේ රටේ දේශපාලන බලපෙරළිය ඉතා පහසුවෙන් ජයගත හැකි තත්ත්වයක් නිර්මාණය වී නොතිබීම නිසා බව දේශපාලන විචාරකයින් පවසති.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන මේවන වට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් තවත් නම් යෝජනා වී තිබිණි. ඒ අතර බැසිල් රාජපක්ෂ මහතාටද ඒකාබද්ධ විපක්ෂය තුළින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ජනාධිපති විය යුත්තේ රාජපක්‍ෂලා පමණක් නොවන බවට මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශයක්ද කර තිබිනි. මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කරන්නට තමන් සූදානම් බවද නමුත් ඒ සදහා තමන් සූදානම් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත දුන්නොත් පමණක් යැයිද ඔහු සදහන් කර තිබිණි.

සිංහල බෞද්ධ ඡන්ද පමණක් ලබා ගනිමින් ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බව පසුගිය ජනාධිපතිවරණයේදී පෙනී ගිය අතර ඒ අනුව සියලු ජාතීන්ගේ සහය ලබා හැකි නායකයෙකු ඉදිරිපත් කර ජය ගැනීමට ඒකාබද්ධයට නොහැකි බව දේශපාලන විචාරකයින් පවසති.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත් වී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කළ නොහැකි බවට එජාපයේ ප්‍රබලයින් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් එජාපයට තනිව සියලු ජාතීන්ගේ සහය ලබා ගත හැකි නායකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ඉදිරිපත් විය යුතු බවට රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

පවතින දේශපාලන වාතාවරණය යටතේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට වැඩිම සුදුසුකම් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාටම බව දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවකදී කතාබහ වී ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇමති මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, ඇමති මංගල සමරවීර, ඇමති මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවයි.

සුළු ජාතික ඡන්ද ලබාගැනීම සඳහා එකම සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දෙපාර්ශ්වයේම අදහස වී තිබූ බවද එම ආරංචි මාර්ග පැවසී ය.

මීට අමතරව එක් පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමේ අසීරුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි කැමැත්තෙන් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද අනාවරණය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයට පසුගිය පළාත් පලාන මැතිවරණයේදී පැවැති ඡන්ද පදනම මේවන විට අඩුවී ඇති බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී ඇති අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවයකට පැමිණය යුතු බවට අදහසක් එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 10 October 2018 11:33